” අනීශා ඔයා මගේ ෂර්ට් එක අයන් කළේ නැද්ද ? “
පොඩි වෙච්ච කමිසයක් අරගෙන සුදේව කුස්සියට ආවේ කෝපයෙන්.ලහිලහියේ එහාට මෙහාට දුවමින් කෑම පිළියෙල කරන අනීශාට සුදේව කියපු දේ ඇහුණෙ නැහැ
” කන ඇහෙන්නේ නැද්ද ඕයි ? “
සුදේව ගේ කෝපාන්විත උස් හඬට අනීෂා ගැස්සුනා
” මොකක්ද සුදේව ඇහුවේ ? අනේ මම වෙන කල්පනාවක හිටියේ “
” තමුසේ කොයි වෙලේද ඉතින් මේ ලෝකේ හිටියේ ? අඩුම ගානේ මට ඇඳගෙන යන්න ෂර්ට් එක වත් අයන් කරලා නැහැ “
” බබා පාන්දර 3 වෙනකම් ම ඇහැරලා හිටියා. යන්තම් නින්ද යාගෙන එනකොට හතරට එලාම් එක වැදුනා. එවලේ නැගිට්ට වෙලාව ඉඳන් මං මේ වැඩ සුදේව.ආයේ බබා ඇහැරෙන්න කලින් මේ ටික ඉවර කරේ නැත්තං මට මේ ටික කරගන්න වෙන්නේ නැහැ ඔයා ගියාට පස්සේ “
” ළමයගේ පිටින් දාලා නිදහසට කරුණු කියන්න නම් දන්නවා “
සුදේව කෝපයෙන් මුමුණමින් කාමරයට ගිහින් කමිසය මදින්න පටන් ගත්තා. මාස 4ක් වයසැති කුඩා පුතු ඇහැරිලා අඬන්න පටන් ගත්තෙ සුදේව හිතේ තිබුණු කෝපයට අල්මාරියේ දොර වේගයෙන් වහපු හඬට
” හරි හරි මගේ පුතා නිදාගන්න “
කලබලයෙන් කාමරයට ආපු අනීෂා පුතාව නලවන්න පටන් ගත්තේ පපුවට තුරුළු කරගෙන.
” කෝ මගේ කෑම එක ? “
සූදානම් වෙලා අවසන් වුන සුදේව ආයෙමත් ගෝරනාඩුව පටන් ගත්තා
” අනේ මේ බබා පොඩ්ඩක් අර ගන්නවද සුදේව, මම ටක් ගාලා ඔතලා දෙන්නම් “
” ඔයා ඔය ළමයව අතට පුරුදු කරගෙන ඉන්න නිසා තමයි කිසි වැඩක් හරියට කරගන්න බැරි.දැන් මම මෙයාව අතට අරගෙන මගේ ඇඳුම තෙමුවොත් එහෙම මම කොහොමද වෙලාවට ඔෆිස් යන්නෙ ? “
” එහෙනම් මම බබාව ඇඳෙන් තියන්නං ඔයා ටිකක් බලනවද ?”
” අනේ මේ මට කෑම ඕනෙ නැහැ .ඕක ඔතන්න තව වරුවක් යයි ඔයාට. මම කඩෙන් කන්නං “
එහෙම කියපු සුදේව වාහනයේ යතුරත් අරගෙන කාමරෙන් එළියට ආවා.උදේ පාන්දර ඇහැරලා කඩිමුඩියේ කෑම උයපු අනීෂාගේ මහන්සිය වතුරේ ගියේ ඒ විදිහට
” මොකද බං මළ පැනලා වගේ ? “
සුදේව ගේ කෝපය හඳුනාගත්න කාර්යාලයේ මිතුරා වුන ආකාශ්ට ඒ තරම් වෙලාවක් ගියේ නැහැ
” මට දැන් මේ ඔක්කොම එපා එපාවෙලා තියෙන්නේ බං . අනීෂා කොයි වෙලාවෙත් ළමයව බදා ගත්ත ගමන්මයි. ගෙදර වැඩක් පිළිවෙලට කරගන්නත් එයාට බැහැ. දවසම ගෙදරට වෙලා මොනවා කරනවද මන්දා . ගේ නිකන් අපායක් වගේ “
” බබාට දැන් මාස කීපයක් වුණා නේද ? “
” දැන් මාස 4යි “
” නරකද ගෙදර වැඩට ගෑනු කෙනෙක්ව වත් ගත්තොත් ?”
” ඊට පස්සේ එයාලට ගෙවන්නත් එපැයි ආකාශ් “
ප්‍රශ්න වලට විසඳුමක් පේන තෙක් මානයකවත් නෑ කියලා හිතපු සුදේව දවස තිස්සේම කල්පනා කරා. කාර්යාලයේ වැඩත් අතපසු කරගෙන ඔහු මතක් කළේම පහුගිය කාලය පුරාවටම අනීෂා ගේ අතින් සිදුවුණ අතපසුවීම් ගැනයි
” අයියෝ මේ කාමරේ ගඳේ බෑ අනීෂා. ජනේලේ ඇරියේ නැද්ද ? “
හවස සුදේව කාමරයට ඇතුල් උනේ කෝපයෙන් කෑගසමින්
” ජනේල ඇරපු ගමන් මදුරුවො එනවා සුදේව.ඊයෙත් බබාගේ ඇඟේ තැන් දෙක තුනක රතු පාට ලප දාලා තිබුණා .මදුරුවෝ කෑවම එයා එකදිගටම අඬනවා.එතකොට නලව ගන්න අමාරුයි “
” අයියෝ නවත්ත ගන්නවා තමුසෙගෙ ඇඬියාව. තමුසෙ නිකන් හැසිරෙන්නේ ලෝකෙ පලවෙනි ළමයා හම්බුන අම්මා වගේ නේ. හැම අම්මටම ඔය වගේ ප්‍රශ්න තියෙනවා.ඒ ඔක්කොම ඔය වගේ නහයෙන් අඬන්නේ නෑ “
තුවාය අරගත්ත සුදේව නාන කාමරයට ගියේ අනීශාගේ මුහුණ දිහාවත් නොබලාමයි. දෑස් වලට නැගුණු කඳුළු පිහිදාගත්ත අනීෂා ,සුදේවට තේ එකක් හදන්න කුස්සියට ආවා
” බබාගේ වැඩවලට මට මයන්ත හරියට උදව් කරා අනීෂා. මම ගොඩගහලා තියෙන බබාගේ ඇදුම් මයන්ත office ගිහින් හවසට ඇවිත් හෝදලා දුන්නා “
අනීෂා ඊළඟ දවසේ , වසරකට විතර කලින් මව් පදවිය ලබපු තමන්ගේ හොඳම මිතුරියක්වුන කෝසලා ට කතා කළේ කාලය සහ වැඩ කළමණාකාරණය කරගන්න විදිය අහගන්නයි
” මටත් ඔයාට වගේම අම්මලා තාත්තලා ළඟක හිටියේ නැහැනේ.අනිත් එක පළවෙනි බබා නිසා මුල් කාලේ හරිම අමාරුයි ඕවට හැඩ ගැහෙන්න. බබා පාන්දර වෙනකන් ඇහැරලා ඉන්න සමහර දවස් වලට මට උදේ වෙනකන් නිදාගන්න දීලා මයන්ත තමයි කෑම හැදුවේ “
කෝසලා එහෙම කියාගෙන යද්දි කවදාවත් සුදේවගෙන් ඒ වගේ සහයෝගයක් බලාපොරොත්තු වෙන්න බැහැ කියලා අනීෂාට හිතුනා
අනීෂා හිටියටත් වඩා කාර්යබහුල උනේ පුංචි පුතා කෑම කන්න පටන් ගත්තට පස්සේ. සමහර වෙලාවට පුතාගේ කෑම වේල වෙනුවෙන් පැයකටත් වඩා කාලයක් ගත වෙන නිසා බොහෝ ආහාර වේල් මගහැර ගත්ත අනීෂා එන්න එන්නම දුර්වල වුණා
” මොකක්ද අනීෂා ඔයාට වෙලා තියෙන්නේ ? බලන්නකෝ ඔයාගේ හැටි ? හිටියයින් බාගයයිනේ ?දකින මිනිස්සු හිතයි මම ඔයාට කන්න බොන්න දෙන්නේ නැහැ කියලා “
කුඩා පුතු නින්දට ගියාට පස්සෙ කන්නාඩි මේසෙ ඉස්සරහට වෙලා කොන්ඩෙ පීරන අනීෂා දිහා බලාගෙන සුදේව එහෙම කියද්දී අනීෂාගේ පිළිතුර වුණේ මද හිනාවක් විතරයි.
නිවසේ වගකීම් ඉටු කරන අතරේ දරුවාගේ කටයුතුත් නොපිරිහෙලා ඉටුකරන අනීෂා ට සුදේවගෙන් කිසිම සහයෝගයක් නොලැබුණත් ඇගෙන් වෙන අඩුපාඩු ගැන ඕනෑවටත් වඩා කතා කරන්න සුදේව අමතක කළේ නැහැ
” සුදේව. අපේ අම්මාට පපුවේ කැක්කුම ටිකක් වැඩිවෙලා කොළඹ ගෙනැල්ලා.ඔයා ටිකක් කලින් එනවනං අපිට අම්මව බලන්න යන්න පුළුවන් “
දවසක් සුදේව කාර්යාලයට ගිහින් පැය කීපයක් ගතවෙද්දී අනීෂාගෙන් ඇමතුමක් ආවා
” ඔය ඉස්පිරිතාල ගානෙ යන්න මම ආස නෑ කියලා ඔයා දන්නවනේ අනීෂා. අනික බබාව අරගෙන ඕවායේ යන්න හොඳ නැහැ නේ . මම ගෙදර ඇවිල්ල බබා එක්ක ඉන්නම් ඔයා ගිහිල්ලා එන්න “
එහෙම කියපු සුදේව කාර්යාලයේන් නිවාඩු දාලා ආවේ වෙන කරන්න දෙයක් නැතිම තැන
” බබාගේ කෑම හදලා තියෙන්නේ .දැන් ටිකකට කලින් කිරි බිව්ව නිසා දෙක හමාරට විතර කැව්වාම ඇති.මතක ඇතුව වතුර හොදට පොවන්න. උණු කරල නිවපු වතුර එයාගෙ බෝතලයට දාල තියෙන්නෙ “
දරුවාට අවශ්‍ය හැම දෙයක්ම සූදානම් කරල මේසය උඩින් තියපු අනීෂා, හදිසියේම අසනීප වුන අම්මව බලන්න යන්න පිටත් වුණා.
දරුවාට කෑම කැවීම , වතුර පෙවීම සහ ඇඳුම් මාරු කිරීම හිතන තරම් ලෙහෙසි පහසු දෙයක් නොවන බව සුදේවට වැටහෙන්න ගත්තේ අනීෂා ගෙදරින් පිටවෙලා පැය දෙක තුනක් ගත වෙනකොටමයි.කුඩා පුතු එක දිගට හඬා වැටෙන්නේ ඇයි කියලා තේරුම්ගන්න අපොහොසත් වුන සුදේව ඔහුව පාලනය කරගන්න හැකි හැම වෙහෙසක් ම දැරුවා.සෑහෙන වෙලාවකට පස්සෙ පුතුව නිදි කරවා ගන්න සමත් වුන සුදේව ඇඳෙන් හාන්සි වුනේ හොඳටම හෙම්බත් වෙලා
” මට තිබුණෙ ළමයට කවන්න පොවන්න විතරයි. ඒ ටිකත් එක්ක මේ ගෙදර අනිත් හැම වැඩක්ම කරන්න අනීෂා මොන තරම් මහන්සි වෙනව ඇද්ද “
සුදේවට එහෙම හිතුණේ නින්දත් නොනින්දත් අතරේ ඉන්නකොට. සුදේව ආපහු අවදි වුනේ ගෙදර දොරේ සීනුව නාද වෙන හඬින්. මොනතරම් මහන්සි වුණත් අනීෂා පුරුදු හිනාවෙන් මුහුණ සරසාගෙන දොර ඉස්සරහ හිටියා .
” මම ඔයාට තේ එකක් හදන්න ද අනීෂා ? ඔයා ගිහින් වොෂ් එකක් දාගෙන එන්න “
” බබා ඔයාට කරදර කලාද සුදේව ? “
අනීෂා ඇහුවෙ වරදකාරී හැඟීමකින්
” ඔයා ගිහින් මම කිව්ව දේ කරන්නකෝ අනේ. බාත් රූම් එකේ බබාගෙ ඇඳුම් වගයක් පෙඟෙන්න දාලා තියෙනවා.ඒ ටික තියන්න මම තව ටිකකින් හෝදන්නම්. දැන් ඔයා මහන්සි වෙලා ඇවිල්ලා රෑට කෑම උයන්න කරදර වෙන්න එපා .අපි අද එළියෙන් කමු “
සුදේව එහෙම කියලා කුස්සිය පැත්තට යනකොට අනීෂා ඔහු දිහා බලාගෙන හිටියේ හිතාගන්න බැරි තරමේ පුදුමයකින්