චාමිකා ඇඳෙන් නැගිටින්නේ නැතුව එහෙටමෙහෙට පෙරළෙමින් හිටියේ කම්මැලිකමින්.මුළුතැන්ගේ පැත්තෙන් හොඳ සුවඳක් එන්නේ ඔෂාන්ගේ ඉවීමේ හැකියාව නිසා කියලා චාමිකා නොදන්නවා නෙවෙයි.නිවසේ අත් උදව් කාරියක් හිටියත් ඔෂාන් මේ දවස්වල ඔහුගේ අතින්ම හදපු කෑම චාමිකාට දෙන්න තමයි කැමති.
“අපි බාලදක්ෂයෝ කාලෙත් කෑම්ප්වලදි රසට ඉව්ව කොල්ලො..”
එහෙම කියලා නිවාඩු දවසට කුස්සිය අනිත් පැත්ත පෙරළන එක ඔෂාන්ගේ සාමාන්‍ය සිරිත.ඒත් දැන් ඒ සිරිත පුරුද්දක් වෙලා.චාමිකාට මොන වෙලාවේ මොන සුවඳක් අප්පිරියා වෙයිද කියන්න නොදන්න නිසා චාමිකා කුස්සිය පළාතට නොඑනවානම් ඔෂාන් කැමතියි.
නිවාඩු දවසක් නිසා වගේම පුංචි චාරිකාවකට ඊයේ මහන්සි වුණ නිසා චාමිකාට ඇඳෙන් බහින්න කම්මැලියි.ඒ නිසාම ආයේ ඇස් පියා ගන්න ඇයට හිතුණා.දුරකථනය නාද වුණේ ඒ මොහොතේ.
“සරනි!” ඔෂාන්ගේ එකම මල්ලි වුණු විශාන්ගේ පෙම්වතිය තමයි ඇය.ඊයේ ගිය පුංචි චාරිකාව ඇයත් හරිම සතුටින් විඳ ගත්තු බව චාමිකාට විශ්වාසයි.මේ ඒ ගැන වැඩිපුර කතා කරන්න වෙන්න ඇති කියලා චාමිකා හිතුවේ තනියම හිනා වෙන ගමන්.එක වගේ හිතන සහෝදර සහෝදරියන් ලැබීම ගැන ඇයට ඇත්තටම දැනෙන්නේ සතුටක්.
“අක්කා ෆේස්බුක් ගියාද?”
සරනි අහන්නේ එතරම් හොඳ හඬකින් නෙවේ.චාමිකාට ඊයේ ගෙදර එනකොට හොඳටම මහන්සි.අනිත් කාරණය ඇය ෆේස්බුක් යන්න ඒ තරම් ඇබ්බැහියක් නෑ.ඉඳහිට කාන්තා සමූහයකින් අවශ්‍ය දෙයක් දැනගන්න,යාළුවෙක් එක්ක පොඩි චැට් එකක් දාන්න එහෙම තමයි ඇයට ෆේස්බුක් වැදගත්.
“ඒකට ගිහින් බලන්නකො අක්කේ වෙලා තියෙන විනාසෙ..”
සරනි කියන්නේ කැඩුණු ස්වරකින්.සය මසකුත් ඉක්ම යන කුස නිසා පිහිනුම් තටාකයට එහෙම බහින්න චාමිකා මැලි වුණාට සරනි හැඩ පිහිනුම් ඇඳුමකුත් ඇඳගෙන තටාකය පුරා පිහිනපු හැටි චාමිකා සිහි කළා.ඒ ඡායාරූප වත් අවභාවිතා වෙලාද?
චාමිකා ෆේස්බුක් වෙත ගියේ දෙගිඩියාවෙන්.නමුත් හැමතැනටම ටැග් වෙලා බවට සඳහන් වෙන්නේ ඇය.චාමිකා ඒ එක් තැනකට ගියේ කලබලය රැඳුණු හිතකින්.
“ජීවිතය විඳින මිනිස්සු”
අනවසර ඡායාරූපයක්! ඒ ඡායාරූපයේ ඉන්නේ චාමිකා සහ ඇගේ මස්සිනා වුණු විශාන්.
“අනේ ඒ ආදරේ..” ඒ තව තැනක්.තමන්ගේ අයියාගේ දරුවා කුස දරාගෙන ඉන්න චාමිකාව විශාන්ගේ වසර ගණනාවක ආදරය බවට ෆේස්බුක් වදන් ලියන පේජ් ඇඩ්මින්ලා මොර ගහනවා.
ගමන ගිහින් එනකොට මාවත අයිනේ කුඩා කඩයකින් රොටී කන්න දොළදුක ආපු තමන්ට ඒ වෙනුවෙන් ඉඩ ලැබුණු හැටි චාමිකා සිහි කළා.රොටියක් කමින් ඉන්න චාමිකාට එබිලා “අක්කට තව ලුණු මිරිස් ඕනද” ඇහුවේ සරනි.ඒ ප්‍රශ්නෙට පිළිතුර ඔව් වීම නිසා කඩේ ඇතුළට ගිහින් ලුණු මිරිස් භාජනය ගෙනාවේ විශාන්.කොහොමටත් දැන් අවුරුදු හත අටක් තිස්සේ චාමිකා තමන්ගෙම අක්කා වීම නිසා අක්කාට අවශ්‍ය දෙයක් හොයා බලන එක විශාන්ට මැජික් එකක් නෙවෙයි.බාප්පා සහ පුංචි පදවිය අම්මා තාත්තාකමටත් ඉහළයි කියලා සරනිත් විශානුත් සිතීම නිසා චාමිකා කොහොමටත් ජීවත් වෙන්නෙ ආදරය ඉතිරී ගලන ලෝකයක.
“ගැබිණියක් වුණු බිරිඳට ලොකු ලොකු කඩවලින් පීට්සා අරන් දෙන්න සල්ලි නැති නිසා රොටී අරන් දුන්නු සැමියෙක් ගැන” තවත් තැනක කවි ලියැවිලා.තමන්ගේ පවුලේ ව්‍යාපාරයක් ඉතා ඉහළින් කරගෙන යන අයියා මලෝ කවුරුත්ම අඟහිඟකම ගැන අහලවත් නැති බව චාමිකා හිතුවේ හිනාවකින්.
“කාටත් ලැබෙන්න ඕන මෙහෙම මහත්තයෙක්.”
ඊළඟට එහෙම කතාවක්.කාටත් ඒ වගේ සහෝදරයෙක්නම් ලැබිය යුතු බව ලියන්න චාමිකාට හිතෙනවා.
“මේ ෆොටෝ එක කවුද ගන්නේ ඇත්තේ?”
ඇය ඒ ප්‍රශ්නය ඇහුවේ ඇගේ හඬ ගෑමට කාමරයට ආපු ඔෂන්ගෙන්.ඔෂාන් ටිකක් වෙලා කල්පනා කරා.
“ඔයාට මතකද අපි කෑම කනකොට එතනට අවුරුදු විස්සෙ විසි එකේ ළමයි ගොඩක් ආවා.ෂුවර් එකට ඉන් කවුරුහරි තමා..”
ඔෂාන් කියන්නේ කල්පනාකාරීව.
“දවසක හරියන්න ඕන ජීවිත!!”
තමන්ගේ වාහනේ පැත්ත බලාගෙන ඔෂාන් ඒ තුළින් යමක් ගෙනෙන තුරු විමසිලිමත් වෙන චාමිකාටත් විශාන්ටත් එහෙම කතාවකුත් ලියැවිලා.
පොඩි කඩේක බංකුවේ වාඩි වෙලා රොටී කන මේ ජෝඩුවට ඉක්මනින්ම ඒ වගේ කාර් එකක් ලැබෙන්න බොහෝ දෙනෙක් සුබ පතලා.
“මේකට අපි හිනා වුණාට මේක හරි කැත වැඩක්නෙ ඔෂාන්.දුප්පත් මිනිස්සු කීවට කමක් නෑ.සල්ලි කියන්නෙම සාපේක්ෂ දෙයක්නෙ.ඒත් මං මගේම මල්ලිගෙ වයිෆ් කියන එක.ඒක අපි දන්න මිනිස්සු කොහොම ගනීද?”
චාමිකා කිව්වේ කලකිරීමෙන්.
“මොකුත් හිතන්න එපා අක්කි.මගෙ සමහර යාලුවො මැසේජ් කරනවා විශ් ඔයා එක්ක කොහෙද ගියේ අහල.සමහර උන් අහනව කියන්නකො එයා ඔයා දිහා එච්චර ආදරෙන් බලන්නේ ඇයි කියලත්..”
සරනිගේ ඇඬුම්බර ස්වරය ආයෙම ඇමතුමකින් ඇහෙනකොට මේ සුළුකොට තකන්න පුලුවන් විහිලුවක් නොවන බව චාමිකාට හිතුණා.අනුන්ගේ ඡායාරූප හිතුමතේ හොරෙන් අරගෙන ඒවාට විවිධ අර්ථකතන දෙමින් කතා ලියන මිනිස්සු මේවා නවත්වන දවස ඉක්මනින්ම පැමිණිය යුතු බව ඇය හිතුවා.
“හැම ෆොටෝ එකකටම කතාවක් තියෙන්න පුලුවන්.ඒත් මිනිස්සුන්ට නොදන්වා අනවසර ඡායාරූප ගැනීම උසාවියෙන් නවත්තන්න ඕනෑ ක්‍රියාවක්.මේ ඡායාරූප ඇතුළේ ආදරය තියෙනව තමයි.ඒත් ඒ මගේ මල්ලි මට දෙන ආදරය මිසක් වෙන ආදරයක් නෙවෙයි.අපි බලාගෙන ඉන්නේ අපේ වාහනේ ඇතුළේ ඉන්න අපේම කෙනෙක් දිහා.ඒ වගේම ඔය ෆොටෝ එකේ ඉන්නේ යසවර්ධන හෝල්ඩින්ස් එකේ අයිතිකාරයෙක්.අලුත් කතා හදන පුංචි නංගිලා මල්ලිලා නොදන්න කතාවක් කිව්වේ..”
ඊළඟ පැය කිහිපය ගත වුණේ අර ඡායාරූප සහ මැවූ කතන්දර වලට ඉහළින් චාමිකා පැවසූ සත්‍යය ජනප්‍රිය වෙන්න.වදන් ලියූ අයට හිනා වෙන මිනිස්සු දිහා බලාගෙන ඉන්න ගමන් චාමිකාට හිතුණේ එක දෙයක් විතරයි.
“අනුන්ගේ පෞද්ගලිකත්වයට අත පොවන්නේ නැති මිනිස්සු ඉන්න රටක් මගේ දරුවටවත් ලැබෙන්න ඕන..”