මතක දිගහැරුම 107 – අප්සාරි සිංහබාහු තිලකරත්න

එකසිය හත්වන දිගහැරුම ,

අම්මාගේ වියෝව තාත්තා දරා ගත් ආකාරය පුදුම සහගතය.වයස අවුරුදු හැට දෙකේදී ජීවිතයෙන් නික්ම ගිය අම්මාගේ අඩුව වචනයෙන් විස්තර කළ නොහැකි තරමේ එකක් විය.කෙසේ නමුත් අම්මාට අසීමිතව ආදරය කළ නංගී සහ මම දරා ගත නොහැකි ශෝකයෙන් හඬා වැටෙද්දී තාත්තා ඔහුගේ කඳුලු සඟවා ගත්තේ ඔහු දුක් වනු දැකීමෙන් අපගේ දුක ද වැඩි විය හැකි නිසා යැයි මා සිතමි.අම්මා අවසන් හුස්ම හෙලූ පුවත ලද අවස්ථාවේදී හැඬූ තාත්තා ඉන්පසුව එකඳු කඳුළක් හෝ නොහෙලන්නට ඇත්තේ ඒ නිසා විය යුතුය.අම්මාව රෝහලට ගෙන ගිය අවස්ථාවේ සිට ඇයව හරි ආකාරයෙන් පරීක්ෂා කර ඇයට අවශ්‍ය ප්‍රතිකාර කඩිනමින් සිදු කළා නම් ඇය ජීවත් වන්නට තිබුණා යැයි මා හට දහස් වර සිතුනි.රෝහලේ සේවකයන් විසින් මගේ අම්මාට හරිහැටි ප්‍රතිකාර කිරීම ආරම්භ කළේ ඇය කාගේ කවුරුන්ද යන වග දැනගන්නට ලැබුනායින් පසුවය.සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින මෙවන් අඩුපාඩු නිසා සමහර විටෙක තවත් බොහෝ දෙනකුගේ ජීවිත අවධානමට ලක් වනු ඇතැයිද මා හට සිතේ.

අම්මා අසනීප වූ දින උදෑසන අපගේ ළඟම හිතවතෙකු වූ ක්‍රිකට් විනිසුරුවරයෙකු ලෙස සේවය කළ මෙන්ඩිස් මහතා අප නිවසට පැමිණ ඇත.ඔහු බොහෝ වේලා අම්මා සහ තාත්තා සමඟ ඉත සතුටින් කතා බහ කර තිබුණි.ඔහු පැමිණීමට පෙර අම්මා එක වරක් ඇගේ පපුවේ වේදනාවක් දැනෙන බව තාත්තා සමග පවසා තිබුණි.නමුත් ඇය ඒ බව අපගේ පවුලට ළඟම හිතවතෙකු වූ මෙන්ඩිස් මහතා සමඟ වත් පවසා නැත .

” මට කිව්වා නම් මම හරි ඒ වෙලාව එක්කගෙන යනවා හොස්පිට්ල් එකට.මම දන්නවා නේ දන්නවනේ ඔයාලා යන්නේ ලංකා හොස්පිට්ල් එකට කියලා. මම දන්නවා නං යන්න දෙන්නෙ නෑ අර වගේ හොස්පිට්ල් එකකට “

අම්මාගේ මරණයෙන් පසුව මෙන්ඩිස් මහතා එසේ කියමින් බොහෝ සේ දුක් විය.නමුත් අම්මා විසින් ඇගේ පපුවේ වේදනාවක් දැනෙන බව තාත්තාට කියූ අවස්ථාවේ රෝහල වෙත යාමට තාත්තා යෝජනා කර තිබුණි.

” නෑ නෑ මට ඉන්න පුළුවන්.ලොක්කා එනකන් ඉමු “

අම්මා එසේ පවසා ඇත .අප පවුලේ බොහෝ දේවල් වලදී මූලිකත්වය ගෙන ,සෑම වගකීමක්ම උර මතට ගෙන කටයුතු කළේ මා නිසා ඒ අවස්ථාවේදී ද මා එන තුරු අම්මා බලා සිට ඇත.මා දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීම සඳහා ඔවුන් කිහිප වරක්ම උත්සාහ කර ඇති නමුත් මම කතරගම නවාතැනට ගොස් සිටි නිසාත් ,එම ප්‍රදේශයට දුරකථන සංඥා නොතිබීම නිසාත් එම උත්සාහය සාර්ථක වී නොතිබුණි.ඒ වගේම ජීවිතයේ කිසිම දිනක නොගිය රෝහලකට යාමට ඇයට සිත් වීමත් , එම රෝහලේ දී පවා ඇයට ජීවිතය බේරා ගැනීම සඳහා කිසිදු ආධාරයක් නොලැබීමත් පුදුම සහගතය.අප විසින් කරන ලද කුසල් සහ අකුසල් අනුව සෑම සිදුවීමක්ම සිදු වන නිසා එදින උදෑසන සිට සිදුවූ සෑම සිදුවීමක්ම ඇගේ මරණයට හේතු සකස් වීමක් යැයි මා හට අවසානයේදි සිතුනි.

අම්මාගෙ දේහය රැගෙන ආවේ පිළියන්දල පිහිටි අපගේ නිවස වෙතය.එකළ හෂාන් දේශපාලනයේ නිරත වී සිටි නිසා ඔහුගේ ආසනයේ බොහෝ දෙනා ද , දේශපාලන කටයුතු සඳහා සහයෝගය දැක්වූ බොහෝ දෙනා ද , පක්ශ බේදයකින් තොරව අප රටේ සිටි ප්‍රසිද්ධ දේශපාලඥයන් ද ,නෑදෑ හිත මිතුරන් ඇතුළු විශාල පිරිසක්ද අම්මාට අවසන් ගෞරව දැක්වීම සඳහා අප නිවස වෙත පැමිණියහ.හෂාන්ගේ අම්මා සහ තාත්තා ජීවත් වූයේ අපගේ නිවසට අල්ලපු නිවසේ නිසා එහි අප වෙනමම කෝකියන් යොදවා පැමිණෙන පිරිස් වෙනුවෙන් ආහාර පාන සූදානම් කළෙමු.රැය පහන් වනතුරු අපගේ නිවසේ බොහෝ දෙනා රැඳී සිටි අතර අවසන් කටයුතු වෙනුවෙන් අවශ්‍ය කොඩි දැමීමේ සිට සැරසිලි කිරීමට පවා බොහෝ දෙනා විය.මරණයෙන් පසුව වුවද එතරම් විශාල පිරිසකගේ අවසන් ගරු බුහුමන් ලැබීමට තරම් එක් අතකින් අම්මා මොන තරම් වාසනාවන්ත දැයි මට වරෙක සිතුනි.

අම්මාගේ අවසන් කටයුතු වලට පෙර දිනයක අලුයම 2ට පමණ මා මදක් විවේක ගැනීම සඳහා මාගේ කාමරය වෙත ගියෙමි.ඒ මොහොතේ සාලයේ එතරම් පිරිසක් සිටියේ නැති අතර බොහෝ දෙනා සිටියේ මිදුලේය.මාගේ කාමරයේ ජනේලයට අපගේ සාලය හොඳින් දර්ශනය වේ.කාමරයට පැමිනි මා නැවත ජනේලය අසලට ගොස් අම්මා ගේ දේහය දෙස බැලුවෙමි.එවිට මගේ තාත්තා, අම්මාගෙ දේහය වටා බොහෝ වාරයක් ඇවිදින ආකාරය මා හට දැක ගත හැකි විය.ඉන්පසුව තාත්තා අම්මාගේ දේහය හතර පැත්තෙන්ම නැවතෙමින් ඇයට වඳින්නට විය.අම්මා ජීවත්ව සිටි කාලයේ තාත්තාට අසීමිත ලෙස ආදරය සහ ගෞරවය දැක්වූ අතර තාත්තාගේ සෑම ආහාර වේලක්ම නිවසේ ම සකස් කර දෙන්නට අම්මා උනන්දු වූවාය.එපමණක් නොව ඇය අසනීප වූ දින වලදී පවා එක් ව්‍යංජනයක් සමඟ හෝ ආහාර සූදානම් කර දුන්නාය.අම්මා එසේ සෑම යුතුකමක්ම තාත්තා වෙනුවෙන් ඉටු කරද්දී ඔහුද ඇයට හැකි උපරිමයෙන් සහයෝගය දැක්වූයේ ය.කෙසේ හෝ බිරිඳකගේ වගකීම් නොපිරිහෙළා ජීවිත කාලය පුරාවටම ඉටුකළ අම්මා ගැන මෙනෙහි කරමින් තාත්තා එසේ ඇයට අවසන් ගෞරවය පුද කරන්නට ඇත.එම සිදුවීම දුටු මා හට හැඬුම් නවතා ගත නොහැකි විය.මා ඒ පිළිබඳව පසුව හෂාන් සමග ද කීවෙ මහත් වූ සංවේගයෙන් යුතුවය.

මතු සම්බන්ධයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here