“මේ බලන්න අංජලී..මට නම් කේන්තිත් යනවා.”
කලනි එහෙම කිව්වේ අංජලීට ජංගම දුරකථනය දිගු කරන ගමන්.කරවටක් වැඩ ගොඩක ගිලිලා හිටපු අංජලී ඒ දිහා බැලුවේ පුරුදු මඳහසකින්.
“මේ කෙලි පොඩ්ඩ බෝනික්කෙක් වගේ.”
ඒ තමන් අපේක්ෂා කරපු පිලිතුර නොවීම කලනිට ගෙනාවේ කේන්තියක්.ඇය අංජලී දිහා බලලා ඇස් පුංචි කරගෙන තව තව ඡායාරූප හොයන්න ගත්තේ ඒ නිසා.
“මං නම් හරිම කැමති අංජු ලක්ෂාන්ට දුවෙක් ලැබුණට.ඔහොම වංචාකාර පිරිමින්ට කවදහරි දවසක තමන්ගේ දුව රැවටෙනකොට තමයි තමන් කරපු දේවල් ගැන තේරෙන්න පටන් ගන්නේ..”
කලනි තනි වුණේ නැති බව තහවුරු කරමින් සමාධිත් ඒ කතාවට ආවා.අංජලී හිනා වෙනගමන්ම පරිගණකය දිහා බලාගෙන තමන්ගේ රාජකාරිය කළේ මේ කතාව මෙතැනි එහා යන්න ඕනෑ නෑ කියන්න වගේ.ඒත් ඕපාදූපයක් අත් අරින්න හිත හදා ගන්න කලනිටයි සමාධිටයි හිතක් නෑ.
“ලක්ෂානුයි ගීතිකායි මේ ලංකාවේ ඉපදුණු පළවෙනි ළමයා වගේ උදේ ඉඳන් රෑ වෙනකන් ෆොටෝ අප්ලෝඩ් කරනව.වීඩියෝ අප්ලෝඩ් කරනවා.අර මෙලෝ රහක් නැතුව වේලි වේලි තිබ්බ ගීතිකාගෙ ෆුඩ් ව්ලොග් එක දැන් බේබි ව්ලොග් එකක් වෙලා.අක්කිට බුදු සරණයි ගගා මෝඩ කෙල්ලො දාන කමෙන්ට්ස් වලට මට අංජුගෙයි ලක්ෂාන්ගෙයි වෙඩින් ෆොටෝ එකක් කමෙන්ට් කරන්න හිතෙනවා.”
කලනි එහෙම කියනකොට පරිගණකයෙන් ඇස් උස්සලා අංජලී කලනි දිහා බැලුවේ තද බැල්මකින්.
“ලක්ෂාන්ගේ ෆැමිලි ෆොටෝස් අස්සට එයාගෙයි මගෙයි ෆොටෝ දැමිල්ල නිසා මමත් අපහසුතාවයට ලක් වෙයි කියල හිතෙන් නැද්ද?”
අංජලී එහෙම ඇහුවට කලනිට මතක් වෙන්නෙම දික්කසාදය අංජලීට මොනතරම් පීඩාවක් ගෙනාවද කියන කාරණාව විතරමයි.
“ඔයා ඩිවෝස් වෙන්නෙපා.ඔය ගීතිකා කියන එකීට රිද්දන්න පුලුවන් එහෙම විතරයි.”
ඒ දවස්වල කාර්යාලීය මිතුරියන් එක හඬින් කිව්වත් අංජලී කිසිම කතාවක් නැතුව ලක්ෂාන්ට දික්කසාදය ලබා දුන්නා.වෙනත් පෙම්වතියකට ආදරේ කරන සැමියෙක් තමන්ට මොනවා කරන්නද? ඇය හිතුවේ එහෙමයි. කිව්වෙත් එච්චරයි.ඒත් ලක්ෂාන් ට රිදවන්න තියෙන හොඳම මාර්ගය ඔහුට දික්කසාදය නොදී ඉන්න කියලා මිතුරියන් රෑන අදටත් හිතෙනවා.
“ඔයා ඩිවෝස් එක දීපු ගමන් මේ මිනිහා ගිහිල්ලා ගීතිකාව බැඳගත්තා.අවුරුද්දක් යන්න කලින් ළමයෙකුත් හැදුවා ඔයා තාමත් එකතැන හිරවෙලා බලාගෙන ඉන්නවා.”
කාලෙදිත් සැරෙන් එහෙම කියද්දී කියද්දී අංජලී හිනාවකින් කලණි දිහා බලාගෙන හිටියා.
“මම අලුත් බිස්නස් එකක් පටන් අරන් ඒක සෑහෙන දුරකට අරන් ආවා.අලුත් ඩිග්‍රි එකක් පටන් ගත්තා.ෆස්ට් ඉයර් එකේ වැඩිම රිසල්ට්ස් ගත්තා.ප්‍රමෝෂන් එකකුත් අත ළඟ කියලා ඔයාලත් දන්නවනෙ.මට ජීවත් වෙන්න ගේකුත් මම අරගත්ත.ඉක්මනින්ම් මේ ටැක්සි කාරයෝ පෝසත් නොකර වාහනයක් ගන්නත් මට පුලුවන්.ඉතින් මම එක තැනක කියලා කියන්නෙ කොහොමද?”
අංජලී එහෙම අහනකොට සමාධි ඇය දිහා බලා හිටියේ කාරුණික ඇස් දෙකකින්.
“ඒ භෞතික දේවල්නෙ ළමයො.ඔයාට දැන් පවුලක් නෑ.ආදරේ කරන්න කෙනෙක් නෑ ඔයා බබාලට කොච්චර ආසයිද?”
අංජලිගෙ හිත රිදුනොත් කමක් නෑ ඇත්ත කියන්න ඕනේ කියලා සමාධි හිතා ගත්තා.
“මට පවුලක් තියනවනෙ.අම්මා තාත්තා,මල්ලියි කෞෂි නංගියි එයාලගෙ බබයි,අපේ ටිමියි ඒ තමයි මගේ පවුල.චැරිටි සර්විස් එකෙන් මම ඩොනේෂන් යවන බබාලා මට අම්මා කියලා ලියුම් එවනවා.බර්ත්ඩේ කාඩ්ස් එවනවා.ඉතින් මට ඒ පවුලත් තියනවා..”
අංජලී කතා කරලා දිනන උත්සාහයක් ගත්තත් ගීතිකා ඇගේ හැම දෙයක්ම උදුරා ගත්තා කියන කතාව අමතක කරන්න කලනිටවත් සමාධිටවත් බෑ.ගීතිකාත් ලක්ෂානුත් දෙන්නා උතුරා යන සන්තෝසයක් එක්ක සමාජ ජාලා වල පළ කරන හැමදේම අංජලීගේ හිත රිදවන්න කරන දේවල් නෙවෙයිද?
“ඔයා මේවා බලන්න එපා අංජු.මුන් මේ සේරම කරනව ඇත්තෙ ඔයාට පේන්න..”
සමාජ ජාලා වල Influencer කෙනෙක් වීම ගීතිකාගේ තෝරා ගැනීමක් බවත් එයට උදව් කිරීම ලක්ෂාන්ගේ වගකීමක් බවත් හිතන අංජලීට ඒ ඔවුන්ගේ ඉපයීම් මාර්ගයක් කියල මිසක තමන්ට රිදවීමේ මාර්ගයක් කියලා නොහිතෙන තරම්.අනිත් කාරණාව ජීවිතේ එක කාලයකදී තමන් ළඟ හිටපු ලක්ෂාන් කොතැනක හෝ සතුටින් හිඳීමත් ඇයට මහා වේදනාවක් නෙවෙයි.ඒත් ඇගේ මිතුරියන් ඒ ගැන තේරුම් නොගැනීමම අංජලිට ගැටලුවක්.
“අංජු, ඔයා ඉක්මනින් මැරි කරන්න..”
කලනිගෙන් එහෙම යෝජනාවක් ආවේ එක පාරටම.අංජලි හිතවත් ස්වරයකින් තමන්ට ආයෙම විවාහයක් අනවශ්‍ය බව කිව්වත් කලනි එයට සාධාරණ හේතු ඉදිරිපත් කරන්න ගත්තා.
“ලක්ෂාන්ට පේන්නයි ගීතිකාට රිදෙන්නයි ඔයා ලස්සන ෆැමිලි ලයිෆ් එකක් හදා ගන්න ඕන..”
සමාධි එහෙම කියනකොට අංජලී ඇගෙන් බොහොම සාධාරණ ප්‍රශ්නයක් අහන්න හිතුව.
“මම ආයෙ මැරි කරනවා කියමුකෝ. ඊළඟට ලක්ෂාන් වගේම රැවටිලි කාරයෙක් වුණොත්,රිදෙන්න ගීතිකාටවත් ලක්ෂාන්ටවත් නෙමෙයි මටමයි නේද?
රැවටීමට ලක්වීම නිසා අන්ජලී ඉන්නේ හැම පිරිමියෙක්ම ගැන සැකයෙන් කියලා සමාධි බොහොම කාරුණිකව ඇයට පහදා දුන්නා.
“මට සැකයක් නෑ සමාධි.ඒත් ආදරේ හින්ද රැවටීමට ලක් වෙන හැම කෙල්ලෙකුටම ආපහු සතුට හොයල දෙන්න පුළුවන් කොල්ලෙකුමයි කියන කතාව පිළිගන්නත් මම එච්චර ලෑස්ති නෑ.ලක්ෂාන් හින්දා මඟෑරුණු ජීවිතේ ඇයි මට තනියම හොයාගන්න බැරි? මට පුළුවන් තනියම මගේ සතුට හොයාගන්න.මගේ අරමුණු වලට යන්න.මං එයාලා හින්ද රිදවා ගන්න වත් එයාලා මට ඉරිසියා කරන්නවත් ඕනි නැහැ.අපි දැන් ආගන්තුකයෝ.ඒ ආගන්තුකම ජීවිතේ ඉතුරු කාලේම මෙහෙමම තිබුනාවෙ..”
සමාධි කලනි දිහා බැලුවේ ඒ කතාව ඇත්ත නේද කියලා හිතන ගමන්.පුංචි කාලේ ඉගෙන ගත්තු සුරංගනා කතාවල කරදරයට පත් වුණු කුමාරිකාවෝ බේරා ගන්න හැම මොහොතකම කුමාරයෙක් අස්සයා පිටේ ආවා තමයි.ඒත් ඒ ආපු කුමාරයා ඉන්පස්සේ මොනවගේ කෙනෙක් වුණාද කියලා අපි කවදාවත්ම දැන ගත්තේ නෑ.
“හැබැයි රිදුණු තැලුණු හිතත් අරගෙන තමන්ගෙම කියලා සුරංගනා කතාවක් තනියම ලියා ගත්තු හයිය හිත් තියන සුරංගනාවියෝ ගැන කතන්දර අපි ඉස්සරහට ලියලා තියන එක නරකත් නෑ..”