මේනකගේ මෝටර් රථය වේගයෙන් ඇවිත් මිදුලේ නතර වෙන හඬ ගේ ඇතුලෙ හිටපු සෝමසිරිට පැහැදිලිවම ඇහුණා.ලොකු පුතා හදිසියේම ගෙදර එන කාරණය හොඳින්ම දැනගෙන හිටපු සෝමසිරි ඒ තරම් කලබලයක් පෙන්නුවෙ නැහැ
” මොකක්ද තාත්තෙ මේ කරන්න යන වැඩේ තේරුම ? “
මේනක ගෙට ගොඩ වුණේම එහෙම අහගෙන
” මම තාත්තාට කලින්ම කිව්වනේ දේපල බෙදනකොය මට පොල් වත්තේ ඉඩම ඕනෙ කියලා. තාත්තා මේ ඒක මල්ලි නිසා විකුණලා මට නිකන් හිස් ඉඩමක් දෙන්න හදනවා “
කේන්තියෙන් කතා කරමින් මේනක සෝමසිරිට අනෙක් පසින් තිබුනු පුටුවේ අසුන් ගත්තා
” ඔයාට වඩා මේ වෙලාවේ සල්ලි උවමනා කරන්නේ මල්ලිට. ඔයාගේ කටයුතු සේරම ඉවරයිනෙ ළමයෝ “
” එයාට මගුල් කන්න තාත්තා මේ ඉඩම් විකුණන්නෙ මොකටද ? එයා එක එක බිස්නස් කර කර ඒවායින් පාඩු කියලා අපි පලිද ? හරි හමන් රස්සාවක් කරානම් එයාටත් කීයක් හරි ඉතුරු කරගෙන wedding එක ගන්න තිබුනනෙ “
” කොහොමත් ඉතින් මේ මහා ගේ හරි පවුලේ බාලයාට ලියන්න එපැයි මේනක. එහෙම වුනොත් මම නැති දවසක අම්මට ඉන්න හිටින්න තැනක් නැති වෙයි කියලයි මම ඔය පොල් වත්ත ඉඩම හරි විකුණලා මල්ලිට සල්ලි දෙන්න හිතුවේ . එයත් ඒකට කැමති උනා. එයා කිව්වා එයාට වෙන මුකුත් එපා කියලා .ඒ සල්ලි වලින් එයා එයාගෙ කටයුතු ටික කර ගනියි “
” ඔව් ඉතින් එයා අකමැති වෙන්නෙ මොකටද ? ඔය පොල් ගස් ටිකත් එක්ක ඒ ඉඩම විකිණූවම සෑහෙන ගානක් එනව නේ . ඒ උනාට මම ඒක ඉල්ලලා තියෙද්දිත් තාත්තා ඒක විකුණන්න හදන එක වැරදියි. අර හිස් ඉඩමක් අරගෙන මම මොනව කරන්නද? “
” ඔයා කසාද බඳින වෙලාවේ ඔයාට හොඳ ගේකුත් අරගෙන දීලා මම ඉඩමකුත් ලියලා දෙන්න හදන එකට ඔයා හරිනම් සතුටු වෙන්න ඕනේ මේනක “
සෝමසිරි සන්සුන් හඬකින් එහෙම කියනකොට මේනක නිහඬ වුණා. කොහොම වුණත් සහෝදරයන් දෙන්නාව විරසක කරවන්න සෝමසිරිට ඕන වුණේ නැහැ.මේනකගේ බාල සහෝදරයා වන සුදේශ්ගේ විවාහය මේනකගේ විවාහය තරම්ම ලස්සනට කරලා දෙන්නයි සෝමසිරිට ඕන වුණේ. ඉස්සර තරම් අතමිට මුදල් ගැවසෙන්නේ නැති නිසා තමන් සතුව තියෙන පොල් වත්තක් සහිත ඉඩම සෑහෙන ගානකට විකුණලා ඒ මුදල් සුදේශ්ගේ අතට දෙන්නයි සෝමසිරි සැලසුම් කළේ
” ඔයා හරි නම් මේ වෙලාවේ කරන්න ඕනේ මල්ලිට උදව් කරන එක මිසක් මේ විදිහට රණ්ඩු කරන එක නෙමෙයි “
ගේ ඇතුලේ ඉඳලා ආව රමණි කිව්වෙ එහෙම. ඒ වෙලාවේ සුදේශ් ගෙදර නොහිටපු එක ගැන රමණි හිත යටින් සතුටු වුණා
” අම්මා වත් තාත්තට කියන්නේ නැද්ද මේ විකාර වැඩේ නවත්වන්න කියලා ? “
මේනක ඊළඟට හැරුණේ රමණි දිහාවට
” අපි ඉතින් කොහොමත් ඔයාගේ කටයුත්ත කරලා දුන්නා වගේ ලස්සනට මල්ලිගේ කටයුත්තත් කරලා දෙන්න ඕනේ නේ ලොකු පුතේ. අනිත් එක ඔය ඉඩම් වලට මොකට තණ්හා වෙනවද ? “
” හහ්. බලමුකෝ එයා ලක්ෂ ගණන් වියදම් කරලා wedding ගන්න හැටි .අතේ සත පහක් නැති වුනාට මොකද උජාරුවෙන් wedding ගන්න නම් ලෑස්ති වෙනවා “
සමච්චල් සහගත විදියට හිනා වුන මේනක සෝමසිරිට වත් රමණිට වත් කියන්නෙම නැතුව ගෙදරින් එළියට බැහැලා ගියා. ආවා වගේම වේගයෙන් ඉගිලිලා යන ලොකු පුතා දිහා බලලා සෝමසිරි සුසුමක් හෙළුවා
” පොඩි එකා අත ගහපු ගහපු බිස්නස් පාඩු වුන බව ඇත්ත. ඒ උනාට ඒකගේ හිත හොඳයි මූට වඩා “
සෝමසිරි ඒ වචන ටික කිව්වෙ කලකිරීමෙන්. හවස් වෙලා ගෙදර ආව සුදේශ් එහාට මෙහාට යමින් ඇමතුම් කිහිපයක් ගන්න හැටි සෝමසිරි වගේම රමණිත් දැක්කා
” තාත්තේ. අර පොල් වත්ත ඉඩම විකුනන්න ඕනේ නැහැ. අයියා ඒක ඉල්ලනවා නම් එයාට ඒක දෙන්න “
” එතකොට පුතා ඔයාගෙ කටයුත්තට සල්ලි ? “
” මම ඒක කොහොම හරි කර ගන්නම් තාත්තෙ. ඒ ගැන හිතන්න එපා”
” ඒ උනාට ළමයෝ අපේ අතිනුත් මොනවා හරි දෙයක් වෙන්න එපැයි. මට ඉතින් දැන් ඉතුරු වෙලා තියෙන්නෙ ඔය ඉඩම් දෙකයි මේ මහගේ විතරයි.කරන දෙයක් කරන්න වෙන්නේ ඒවයින් “
” ඕක මට දුන්නොත් ආයේ දෙකක් නෑ තාත්තත් එක්ක අයියා තරහා වෙනවා. ඔච්චරටම ඔය ඉඩමට නහින එකේ ඕක එයාටම දෙන්න.යාළුවෙක් මට ලෝන් එකක් අරන් දෙනවා කිව්වා. ඒ වැඩේ හරි යයි “
එකකුස උපන් සහෝදරයා ට වඩා තමන්ගේ මිතුරන් තමන්ට සහයෝගය දීම ගැන සුදේශ් හදවතින්ම සතුටු වුණා
” මගේ අතේ ඉතුරු කරගත්ත සල්ලි ටිකක් කියනවා පුතේ. මම ඒ ටික ඔයාට දෙන්නම්. ඒත් ඔය ගන්න ලෝන් එක ඔයාට ගෙවන්න පුළුවන් එකක්ද ? “
” ඒ ගැන බය වෙන්න එපා තාත්තේ. හෙට අනිද්දට මට රස්සාවකුත් හරි යනවා. බිස්නස් වලට ආසාව තිබුනට මට ඒවා හරි යන්නෙ නැතුව ඇති “
තවත් දුරකථන ඇමතුමක් ආව නිසා සුදේශ් ඔහුගේ කාමරයට ගියා.ඒ එක්කම කුස්සියේ කෑම පිසිමින් හිටපු රමණි ව හොයාගෙන සෝමසිරි කුස්සිය පැත්තට ගියා
” මොනවා උනත් සුදේශ්ගේ හිතේ උත්සාහය නම් අඩුවක් නැතුව තියෙනවා රමණි. මට හිතෙන්නේ මේනක මොනවහරි හිත රිදෙන්න කියලා තියනවා “
ටිකකට කලින් සුදේශ් එක්ක වුන සංවාදය සෝමසිරි රමණි එක්ක කිව්වා.සෝමසිරි ඉතුරු කරපු මුදල් ප්‍රමාණයක් විතරක් අරගත්ත සුදේෂ් මිතුරා හරහා ලබා ගත්ත ණය මුදලෙන් තමන්ගේ විවාහ උත්සවය ඉතාම චාම් අයුරින් සැලසුම් කළා. ඒ අතරතුර ඔහුගේ අධ්‍යාපන සුදුසුකම් වලට සරිලන , සැලකිය යුතු වැටුපක් එක්ක රැකියාවකුත් ඔහුට ලැබුනා.
” අයියා මම ගන්න කෝල් වලට ආන්සර් කරන්නේ නැහැ අම්මේ .පුලුවන්නං අක්කත් එක්ක වෙඩින් එකට එන්න කියන්න “
විවාහයට දවස් කීපයක් තිබියදි සුදේශ් ඒ විදිහට රමණිට කිව්වම රමණිට මේනක ගැන ඇති උනේ කලකිරීමක්.මේනකගේ විවාහය වෙනුවෙන් සුදේශ් දිවා රෑ නොබලා වෙහෙස උන හැටි වගේම , මේනක අලුත් නිවසේ පදිංචියට යනකොට සුදේශ් කාටත් හොරෙන් කඳුලු හංගපු හැටිත් රමණිට මතක් උනා
හිතුවටත් වැඩිය ඉතා සුන්දර අයුරින් සුදේශ් ඔහුගේ විවාහය සැලසුම් කරලා තිබුන බව විවාහය දවසේ කාටත් දැක ගන්න ලැබුණා.හිතට බරක් වෙමින් තිබුණ සුදේශ් ගේ අනාගතය හොඳ විදිහට විසදෙන්න පටන් අරන් තියෙන එක ගැන සෝමසිරි වගේම රමණීත් හදවතින්ම සතුටු වුණා
රමණිගේ සහ සෝමසිරි ගේ ඉල්ලීම ඉවත දාන්න බැරිම තැන මේනක පමණක් සුදේශ් ගේ විවාහ උත්සවයට සහභාගී වුණා.උත්සව ශාලාවට ඇතුළු වෙනකොටම මේනකට තමන්ගේ දෑස් අදහාගන්න බැරි වුණා .කවදාවත් සුදේශ්ට කරගන්න බැරි වෙයි කියල හිතපු දේවල් ඔහු ක්‍රියාවෙන්ම ඔප්පු කරල පෙන්වන කොට මේනකට දැනුනේ තරමක ලැජ්ජාවක්
” ඔයාගේ වෙඩින් එකට දුවල පැනල හැමදේම හොයලා බලලා කරපු මල්ලිගේ wedding එකට ඔයා සත පහකින්වත් උදව් කරේ නැති එක ගැන ඔයා හරි නම් ලැජ්ජ වෙන්න ඕන ලොකු පුතා “
ශාලාවේ කොණක අසුන්ගෙන ඉන්න මේනක ළඟට ආව සෝමසිරි එහෙම කිව්වේ හීන් හඩින්.
” එයා අන්තිම මොහොතෙත් අම්මගෙන් ඇහුවා ඔයා එයිද කියලා.ඔයා මෙහෙම හරි ආපු එක ගැන නම් මට සතුටුයි. ඒත් සහෝදරයා හැටියට ඔයා පහුගිය දවස් ටිකේ හැසිරුන විදිය හරිද කියලා ඔයා ටිකක් හිතලා බලන්න “
” දැන් ඉතින් මම ආවා නේ තාත්තේ .අපි නැතුවට මොකද එයා ඔය සේරම කරගෙන තියෙන්නේ “
” හැමදේම කරගත්ත එයාගේ හිතේ උත්සාහය තියෙන නිසා. ඒත් එයා මොනවා වෙලාවෙදිවත් සහෝදරකම් අමතක කළේ නැහැ “
සෝමසිරි එහෙම කිව්වම මේනක නිහඬ වුණා
” දැන් ලොකු පුතා මට මේක කියන්න.මම ඔයාට අර ඉඩම ලිව්වොත් ඔයාට හිතේ සැනසීමෙන් ඒක බාර ගන්න පුළුවන්ද ? “
සෝමසිරි එක එල්ලේම මේනක දිහා බලාගෙන අහපු ප්‍රශ්නයට උත්තර දීගන්න බැරුව මේනක නිරුත්තර වුණා