රශිනි ආරාධනා පත්‍ර ගොන්නක් ගෙනත් මේසය උඩින් තියලා එකින් එක කා අතරත් බෙදුවා.පලවෙනි විවාහ සංවත්සරය මහ ඉහලින් සමරන්නයි ඇය ලෑස්ති උනේ
” කෝසලා ඔයා අනිවාර්යයෙන්ම එන්න ඕනේ ඔන්න.ඔයා නැත්තම් තිළිණයි මායි සෙට් වෙන්නෙත් නෑනේ “
කෝසලා ආරාධනා පත්‍රය දිගහැරියේ සතුටින්. තමන් නිසා අහඹු ලෙස මුණගැහුණු යාලුවෝ දෙන්නා පලවෙනි විවාහ සංවත්සරය සමරන එක මොන තරම් සතුටක්ද කියලා කෝසලා ට හිතුනා
” Sunset villa “
උත්සවය පැවැත්වෙන ස්ථානය දැක්කම කෝසලාගේ හදවත මොහොතකට නතර වුණා. නගරයේ බොහෝ සාද පැවැත්වෙන අවන්හලක් ලෙස ජනප්‍රිය sunset villa හි රශිනි ඇගේ විවාහ සංවත්සරය සමරන්න තෝරාගෙන තිබුණා.
” රශිනි . ඔයා තරහ වෙන්නේ නැත්නම් පාටි එකට මම නෑවිත් ඉන්න ද ? “
සෑහෙන වෙලාවක් කල්පනා කරල බැරිම තැන කෝසලා රශිනි ගෙන් ඇහුවා
” what ? නෑවිත් ඉන්න ? ඔයා නැතුව කොහොමද අනේ අපි ඇනිවසරි එක සමරන්නේ ? අපේ අම්මලා තාත්තලා ආවෙ නැතත් ඔයා මේකට එන්නම ඕනෙ නේ අනේ “
” හරි හරි මම එන්නම්කෝ “
කෝසලා එහෙම කිව්වේ බැරිම තැන.මතක රාශියක් ම තමන්ට එකතු කරල දීපු තැනකට ආපහු යන්න හිත හදා ගන්නෙ කොහොමද කියලා කෝසලා කල්පනා කරා
” ඔයාගේ ප්‍රශ්නේ මොකද්ද කෝසලා ? “
කෝසලා ඉන්නේ වෙනමම කල්පනාවක කියලා තේරුණ නිසා රශිනි එහෙම ඇහුවේ කාර්යාලයේ වැඩ අවසන් වෙන්න ඔන්න මෙන්න තියලා
” අපි හවසට coffee එකක් බොන්න යමුද ? “
කෝසලා එහෙම යෝජනාවක් කළේ ඇයට කියන්න දේවල් හුගක් තියෙනවා කියලා හිතපු නිසා රශිනි එක පයින්ම ඒ යෝජනාව පිළිගත්තා
” sunset villa කියන්නේ මට මගේ ජීවිතේ කවදාවත් අමතක වෙන්නේ නැති තැනක් රශිනි “
කෝසලා කතා කළේ කෝපි ඇනවුම් කරන අතරේ
” මීට අවුරුදු එකහමාරකට දෙකකට කලින් මම යන්න කැමතිම තැන තමයි ඒක “
කෝසලා දිගු කතාවකට ආරම්භය ගත්තේ එහෙම
” මමයි සුභාශුයි මුලින්ම හම්බුනේ sunset villa එකේ තිබුන යාළුවෙකුගේ බර්ත්ඩේ පාටි එකකදී “
” අනේ මම ඒක දැනගෙන හිටියෙ නැහැ කෝසලා. ඔයාගේ එෆෙයාර් එක break up වෙලා කියලා මම දන්නවා. ඒ කාලෙම වගේනේ මම ඔෆිස් එකට ආවේ. ඒත් ලොකු විස්තරයක් මම දැනගෙන හිටියේ නැහැ “
රශිනි කතා කළේ පසුතැවීමෙන්.
” එතනදි හම්බ උන අපි දෙන්නා හැම birthday එකක්ම හැම ඇනිවසරි එකක්ම සැමරුවේත් එතනමයි. සුභාශ්ට එයාගේ බර්ත්ඩේ එකට කවුරුත් සප්‍රයිස් පාර්ටි එකක් දීලා තිබුණෙ නැහැ. අපි දෙන්න හම්බුන තැන එතන නිසා මම එයාගෙ බර්ත්ඩේ එකට සප්‍රයිස් එකකුත් ඔතන ලෑස්ති කලා. ඒ විදියට birthday තුනක්ම ඇනිවසරි තුනක්ම අපි පහු කරා රශිනි “
කෝසලා කතාව ඉවර කරලා කෝපි උගුරක රස බැලුවේ අවන්හලේ වීදුරුවෙන් පෙනෙන මහ මුහුද දිහා බලාගෙන
” මම තිළිණ එක්ක කතා කරල ලොකේෂන් එක වෙනස් කර ගන්නම් කෝසලා “
” අනේ එහෙම ඕනෙ නැහැ .දැන් invitation ගහලත් ඉවරයි නේ “
” ඕක මොකද්ද අනේ. ඔයා වෙනුවෙන් එහෙම දෙයක් කරන්න බැරිනම් වැඩක් තියෙනවද ? “
කෝසලා නිහඬ වෙද්දි රශිනි මොහොතක් කල්පනා කළා
” ඔයාට මොනවා හරි අහන්න තියෙනව නම් ඕනම දෙයක් අහන්න රශිනි “
කෝසලා එහෙම කිව්වේ හිස් හඬකින්
” ඇයි ඔයාලා දෙන්න වෙන් වුනේ ? “
” අපි දෙන්න ගැලපෙන්නෙ නැති නිසා “
” ගැලපෙන්නෙ නෑ කියන්නේ ?
” අපි දෙන්නා හරිම සතුටින් හිටියා.අපි දෙන්නාට විශේෂ හැම දවසක්ම සැමරුවා. එත් අපි දෙන්නගෙ සමහර දේවල් ගැලපෙන්නෙ නෑ කියලාත් ඒවා ගලපගන්න බෑ කියලාත් අපි දෙන්නටම තේරුනා “
කෝසලා පිටකරන සුසුම් මොන තරම් බර ද කියලා රශිනිට තේරුම් ගන්න අපහසු වුණේ නැහැ
” ගලපගන්න බෑ කියලා දෙයක් නැහැ කෝසලා .ඔය දෙන්නට තව ඉවසන්න තිබුණා කියලයි මට හිතෙන්නේ “
” අපි දෙන්නා ගැලපුනත් අපේ පවුල් දෙක ගලපගන්න පුළුවන් ද ? මගේ අම්මයි තාත්තයි රජයේ සේවකයෝ වෙලා එයාගේ අම්මයි තාත්තයි ලොකු බිස්නස් කාරයෝ වෙන එක ගලපගන්න පුළුවන් ද? “
කෝසලා එහෙම අහනකොට රශිනි නිහඬ වුණා
” අපි අලුත් අවුරුද්ද ගෙදරට වෙලා චාරිත්‍ර කරලා සමරන කොට , එයාලා කරන්නේ අලුත් අවුරුද්දට කොහේ හරි ට්‍රිප් එකක් යන එක “
” අම්මලා තාත්තලා කොහොම වුණත් කසාද බැඳලා ජීවත් වෙන්නේ ඔය දෙන්නා නම් ඔය දෙන්නා ගැලපුනා ම ඇති නේද කෝසලා ? “
” මුලදි අපිත් එහෙම හිතුව රශිනි. ඒත් අපි ගැන ගෙවල් වලට කිව්වමයි අපිට ඒ හැම නොගැලපීමක් ගැනම තේරුණේ “
ආදරය යනු නොගැලපීම් ගළපා ගෙන යා යුතු ගමනක් බව රශිනි ආයෙමත් වතාවක් කෝසලාට මතක් කලා.
” එයාගේ අම්මයි තාත්තයි මාව ප්‍රතික්ෂේප කරා. මොන තරම් හොඳට ඉගෙන ගත්තත් , මොනතරම් හොඳ රස්සාවක් කරත් එයාලට ඕන වුණේ බිස්නස් කරන පවුලකින්ම එයාලගේ පුතාට කසාදයක් කරල දෙන්න. ඉතිං එහෙම අම්මෙකුගේ තාත්තෙකුගේ සිතුවිලි මට වෙනස් කරන්න පුලුවන්ද?”
තමන්ට ඉතා හොද සහකරුවෙක් හොයාගන්න හේතුවක් උන මිතුරියගේ අතීතය රශිනිගේ හිතට එකතු කළේ තදබල වේදනාවක්
” ඉතින් දැන් සුභාෂ් කෝ ? “
” එයා එයාගේ අම්මලා බලාපොරොත්තු වුණ විදිහෙම කෙනෙක් කසාද බඳින්න ලෑස්ති වෙනවා “
කෝසලාගෙන් ඒ වචන පිට වෙනකොට කටහඬ බොද වෙලා යනවා කියලා රශිනිට දැනුනා
” එයා මහ පුදුම මනුස්සයෙක්නේ ? “
” අපි දෙන්නට එකතු වෙන්න බැරි වුණා කියලා එයා එතනම නතර වෙලා ඉන්න ඕනෙද රශිනි ? මට දුකක් උනත් වුණත් එයා ඒ ගත්ත තීරණය වැරදි නෑ “
” එහෙනම් ඔයා තාමත් එතනම නතර වෙලා ඉන්නෙ ඇයි කෝසලා ? “
රශිනිගේ ප්‍රශ්නයට දෙන්න පිළිතුරක් කෝසලා ගාව තිබුණේ නැහැ.
” ජීවිතයේ අපි නතර වෙන්න ඕනේ තැන් තියෙනවා .ඒ වගේ ම නතර නොවෙන්න ඔය තැනුත් තියෙනවා කෝසලා. අතීතය කියන්නෙත් එහෙම තැනක්.ඔයාගේ ජීවිතේ මේ ගෙවෙන්නේ හොඳම කාලේ. ඔයාට පස්සේ හිතෙයි මේ ගෙවුන කාලේ අපරාදේ කියලා “
එක හුස්මට කියාගෙන ගිය රශිනි මොහොතකට කතාව නතර කළේ කෝසලාගේ කම්මුල් දිගේ ගිලිහෙන කඳුළු බිංදු දැකලා
” මම හිතන්නෙ ඔයා ඒ ප්‍රශ්නෙන් පැනලා ගිහින් මිසක් ඒ ප්‍රශ්නේ විසඳගෙන නැහැ. ඒ නිසා ඔයා කරන්න ඕනේ මොන තරම් හරි අඬලා හිත හදාගෙන ඉස්සරහට යන එක “
රශිනි මේ ආදරෙන් පැහැදිලි කරන්නේ තමන් තේරුම් නොගත්ත ඇත්ත කියලා කෝසලා තේරුම් ගත්තා
” මගේ අතීතයේත් තියෙනවා ගොඩක් දුක හිතෙන තැන් . ඒව හැමදේම අමතක කරගෙන ඉන්න කාලෙක තමයි මට ඔයා නිසා තිළිණව හම්බ උනේ. මම ඒ අතීතයම මතක තියාගෙන තිළිණව මඟ ඇර ගත්තා නම් මොකද වෙන්නේ ? අද මට මෙහෙම සතුටින් ඉන්න පුලුවන්ද? ඉතිං ඔයා තීරණය කරන්න ඔයා අතීතයේ ම නතර වෙලා ඉන්නවද , එහෙම නැත්තං වර්තමානයේ ලස්සන කරගෙන අනාගතයට යනවද කියලා “
එහෙම කියපු රශිනි , මේසය මත තිබුණ කෝසලාගේ සීතල දෑත් අල්ල ගත්තේ ඇගේ ජීවිතයේ ගෙවන කටුක කාලයේදී ඇයත් එක්ක ඉන්න බව හඟවන්නයි. කෝසලාගේ මුහුණේ යන්තමින් හිනාවක් මතු වෙන හැටි දැක්කම රශිනිට දැනුනෙ අප්‍රමාණ සතුටක්
ඔබේ අතීතයේ ඕනෑ තරම් කඳුළු කතා තියෙන්නට පුලුවන්. ඒත් කිසිම දවසක ඒ කඳුළු කතා වලට ඔබේ අනාගතය තීරණය කරන්නට නොදී ඔබේ අනාගතය ලස්සනම සිනහවකින් සරසා ගන්න වර්තමානයේදි උත්සහ කරන එකයි ඔබ කරන්නට ඕනෑ !