නොකියූ ප්‍රේමය.

“මෙයා මොකෝ මේ කණ්නාඩිය අයිති කරන් ඉන්නේ..”

කන්නාඩි මේසය ළඟට වෙලා සෑහෙන වෙලාවක් හැඩවෙන සෙනුරි දිහා බලාගෙන හිමසරා එහෙම ඇහුවා.පැත්තකට වෙලා කොන්ඩය පීරන ගමන් හිටිය නෙතාරා මහ හයියෙන් හිනා වෙන්න ගත්තේ ඒ ප්‍රශ්නෙටද තමන්ටද කියලා සෙනුරිට සැකයි.

“මෙයා මේ ලස්සන වෙන්නේ ට්‍රේන් එකේදි අපිත් එක්ක කතා කරන චාමරට පේන්න නේද?”

නෙතාරා එහෙම අහනකොට සෙනුරිගේ කම්මුල් රත් පැහැ වෙන්න ගත්තා.

“නෑ අනේ..මං මේ ලෑස්ති වෙන්න කවදත් ගන්න වෙලාවනෙ.ඔයාලට පිස්සු..”

මිතුරියන් ට එහෙම කිව්වත් චාමර මොකුත්ම කතා නොකරත් හිනා වෙලා බලන හැටි සෙනුරිට මතක් උනා.

“චාමර වැඩි කතාවක් බහක් නැති මනුස්සයෙක් නේද?”

තොල් ආලේපනය ගල්වන ගමන් හිමසරා අහනකොට නිහඬ කොල්ලෙක් තමයි තමන්ගේ සිහින කුමාරයා කියන්න සෙනුරිට හිතෙනවා.

“කමක් නෑ අනේ..අපිට කතා කර කර ඉන්න වෙන් නෑනෙ..”

යාලුවෝ දෙන්නා ඇනෙක්ස් එකේ දොරෙන් බලෙන් වගේ එළියට ගන්න ගමන් නෙතාරා කියන්නේ හිනා වෙවී.නෙතාරාටත් හිමසරාටත් විහිලුවක් වගේ පෙනුණත් මේ දුටුමතින් බැඳි ආදරය ගැන සෙනුරිට දැනෙන්නේ නොතේරෙන හැඟීමක්.ඇත්තටම පාටක්වත් හැඩයක්වත් හිතා ගන්න බැරි හැඟීමක හිර වෙලා ඉන්න එකත් ලේසි නෑ කියලා සෙනුරි හිතුවා.

“ඔයා එයාට කැමතිද?”

චාමරව විහිළුවට ගන්න හිමසරාව මඟ හැරලා නෙතාරා එහෙම අහනකොට ඔළුව වැනුණු එක ගැන සෙනුරිට ලැජ්ජයි.මොනවා කරන්නද? “කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නෑ” කියලා කතාවක් තිබ්බට අද නම් වුණේ වචනවලටත් කලින් ඇස් කතා කරපු එක කියලා සෙනුරි හිතුවේ ලැජ්ජාවෙන්.

“අපි එයාට කියමුද?”

නෙතාරා අහනකොට සෙනුරි ගැස්සුණා.

“අනේ එපා.එහෙම අහන එක හරි නෑනෙ.කැමැත්ත අහන්න ඕන ගෑනු ළමයා නෙවෙයිනෙ.කොල්ලා.මම ඉස්සර වුණොත් මම මහ නරක කෙල්ලක් කියලා චාමර හිතයි..”

නෙතාරා ඇස් ලොකු කරගෙන සෙනුරි දිහා බැලුවේ ඒ කතාවට එකඟ වෙන්න අමාරුයි කියන්න වගේ.

“ආදරේ හංගාගෙන ඉන්න එක මිසක් ආදරේ ප්‍රකාශ කරන එක වැරදි වෙන්නේ කොහොමද? ඉස්සරලම ආදරේ කියන්න ඕනෑ පිරිමියා කියලා නීතියක් කොහෙවත් නෑනෙ.ආදරේ නම් ඒක බය නැතුව කියන්න.මිනිස්සු වුණාම හැඟීම් හංගාගෙන ජීවත් වෙන්න ඕන නෑ.”

නෙතාරා එහෙම කිව්වත් පණ්ඩිතකම් කරන්න සෙනුරිට හිතක් තිබුණේ නෑ.මගේ ආදරේ ඇත්තක් නම් ඒක මට ලැබෙයි.සෙනුරි එහෙම හිතමින් කාලය ගෙවා දැම්මා.

“අද ඔයාලා ඔෆිස් යන් නැද්ද?”

එක දවසක් උදේ සෙනුරි ඇහුවේ නෙතාරත් හිමසරාත් තාම නිදි නිසා.අමාරුවෙන් ඇස් ඇරලා බලපු හිමසරා අද නිවාඩුවක් කියලා ආයෙමත් නිදා ගන්න ලෑස්ති වුණා.

“මට අසයිමන්ට් එකක් සබ්මිට් කරන්න තියනවා සෙනූ..අනේ මේක මේ වීකෙන්ඩ් දෙන්නම ඕන..”

නෙතාරා එහෙම කියනකොට සෙනුරි මුහුණ නරක් කරගත්තෙ පැමිණිල්ලක් කරන්න වගේ

“ඔයාලා කලින් කියන්න එපැයි අනේ.මට බස් එකට පරක්කුයි දැන්.සල්ලි බලන් නැතුව ටැක්සියක් දාගන්නවා..”

කෝච්චියෙන් නොයා ටැක්සි හොයන්න හේතුව චාමරට තනියම මුහුණ දෙන්න තියන ලැජ්ජාව කියලා සෙනුරි කියද්දි නින්දෙන් ඒක අහගෙන හිටිය හිමසරා නම් හොඳටම හිනා වෙන්න පටන් ගත්තා.

“මේ..චාන්ස් එක මිස් කරගන්නෙපා.අද කතා කරොත් කතා කරන්න හරිද?”

සෙනුරිව පිටත් කරන්න කලින් නෙතාරා මඟින් මඟට එහෙම කිව්වේ ඒකපාර්ශවික ප්‍රේමයකින් වේදනා විඳින මිතුරියට ඉක්මනින් ඒ ආදරය ලැබේවා කියලා හිතමින්.මොකද වුණේ කියලා මැසේජස් දාහක් විතර යැව්වත් සෙනුරිගේ උත්තරේ වුණේ “හවසට කියන්නං” කියලා විතරයි.

“මොකද වුණේ?”

හවස සෙනුරි දැක්ක ගමන් නෙතාරත් හිමසරාත් ඇහුවේ පුදුම උනන්දුවකින්.

“මොකුත් නෑ අනේ.ෆෝන් නම්බර් එක ඉල්ල ගත්තා.”

ඒ කියන්නේ සෙනුරිගේ හීනේ හැබෑ වෙලා කියලා මිතුරියන්ට අප්‍රමාණ සතුටක් දැනෙන්න පටන් ගත්තා.චාමරගේ ඇමතුම එනකන් බලාගෙන වැඩ පාඩු කරගත්තත් අද සමරන්න ඕන දවසක් කියලයි නෙතාරානම් කිව්වේ

අන්තිමට ඒ ඇමතුම ආවා.ඇමතුම බොහොම ඉක්මනින් අවසන් කරලා සෙනුරි කාමරයට ආවේ ඇස්‍ රතු කරගෙන.ආදරේ ගැන ඇහුවම සමහර ගෑනු ළමයි අඬනවා කියලා හිමසරා හිතුවේ කැමතිම හින්දි චිත්‍රපටියක් මතක් කර ගන්නා ගමන්.

“එයා..එයා..මට කැමති නෑ..”

සෙනුරි එහෙම කියලා අඬන්න පටන් ගත්තා.නෙතාරත් හිමසරාත් බලාගෙන හිටියේ කියා ගන්න දෙයක් හිතා ගන්න බැරුව.

“අකමැති වෙන එක ඒ මනුස්සයාගෙ අයිතියනෙ.එහෙනම් මොකටද ෆෝන් නම්බර් එක ගත්තේ?”

හිමසරා අහන්නේ නුරුස්නා හඬකින්.

“නෙතූව යාලු කරලා දෙන්න කියන්න.එයා කැමති නෙතාරාටලු..”

බෝම්බයක් පිපිරුවා වගේ ආරංචිය අහපු හිමසරා නෙතාරා දිහා බලනකොට නෙතාරා සෙනුරිගේ දුරකථනයෙන් චාමරට ඇමතුමක් ගන්න සූදානම.මෙයා හදන්නේ එයාට කැමති වෙන්නද?අඬන සෙනුරි වත්තන් කරන් හිමසරා හිතන්න ගත්තා.

“චාමර,ඔයා මං ගැන හිතුවට හුඟක් ස්තූතියි.ඒ වුණාට මට ආදරේ කරන්න කෙනෙක් ඉන්නවා.වෙන වෙන අය අතේ පණිවිඩ නොයවා ඊළඟ වතාවෙවත් තමන් ආදරේ කෙනාට කෙලින් ඒක කියන්න හොඳේ..”

නෙතාරා එහෙම කියලා දුරකථනය විසන්ධි කළා.

“අපි ආදරේ අය හැමවෙලාවෙම අපිට ලැබෙන් නෑ සෙනූ.අපි ඒ වගේ වෙලාවට ඉන්නවටත් වඩා හයිය වෙන්න ඕන.තමන් ආදරේ කරන කෙනාට ඒක කෙලින් කියන්නවත් බය කෙනෙක් නොලැබුනේ වාසනාවට කියලා හිත හදා ගන්න..”

නෙතාරා එහෙම කිව්වේ සෙනුරිගේ කඳුළු පිහින ගමන්

More Stories

Don't Miss


Latest Articles