විච්චූරණකාරි

” අම්මා ගයාශි ගැන හිතාගෙන ඉන්නේ වැරදියට “

අකලංක ආයෙමත් එහෙම කිව්වෙ අම්මාගේ හිත වෙනස් කරන්න පුළුවන් වෙයි කියලා හිතාගෙන

” අනේ මෙ පුතේ උඹ මට කියලා දෙන්න එනවද ඔය කෙල්ලො ගැන ? “

” සැලොන් කරන කෙල්ලෝ නරකයි කියලා කවුද අම්මාට කිව්වේ ? “

” ඒක අමුතුවෙන් කියන්න ඕනෙද ? ඔයා මට අර පෙන්නුව ෆොටෝ එකේම ඒ කෙල්ල ඇඳන් හිටපු ඇඳුමේ කිසි සංවර කමක් තිබ්බද ? “

” තරුණ ගෑනු ළමයෙක් ලස්සනට ඇඳලා කරලා ඉන්න එකේ ඇති වැරද්ද මොකද්ද අම්මේ. කෙනෙක්ගේ ගතිගුණ මනින්නේ කොහොමද ඒ කෙනා කරන රස්සාවෙන් ? “

” විච්චූරණ කරන ගෑනු මේ ගෙදරට හරි යන්නේ නෑ.ඔයා ඔහොම නෙමෙයි ඔලුවෙන් හිටගෙන කිව්වත් මම ඔය ගෑනු ළමයට කැමති නෑ අකලංක “

රමණි එහෙම කියාගෙන ගේ ඇතුලට ගියේ කේන්තියෙන්.අකලංක එහෙම්මම ගයාශිට ඇමතුමක් ගත්තා

” ඒ කියන්නේ අම්මා කැමති වෙන්නෙම නැති පාටයිද අකලංක “

ගයාශි අහන්නේ බිඳුනු හඬින්.තමන් රූපලාවණ්‍යාගාරයක හිමි කාරියක් වීම තමන්ගේ පවුලේ අයට ආඩම්බරයක් උනත් අකලංකගේ අම්මාට එය ලැජ්ජාවක් වීම ගයාශිට දරා ගන්න බැරිවුනා

” අපි එන විදියක් බලමු ගයාශි. ඔයා කලබල නොවී ඉන්නකෝ “

අම්මාගේ ආකල්ප කොහොම වෙනස් කරන්නද කියන එක අකලංකට ලොකු ගැටලුවක් උනා.ඒත් තාත්තා ජීවතුන් අතර ඉන්න කාලේදි පවා තමන්ගේ තීරණයට විතරක් වැඩ කරපු අම්මාව වෙනස් කරන්න යන එක මෝඩකමක් කියලයි අකලංකට ඊට පස්සේ හිතුනේ.

” අකලංකට තියෙන්නේ කෙලින් තීරණයක් ගන්න “

ගයාශිගේ මිතුරිය නිපුනි කිව්වා.ගයාශි අද ඉන්න තැනට මොන තරම් මහන්සි උනාද කියලා අකලංකටත් වඩා හොඳින් දන්න නිපුනි , අකලංකගේ අම්මාගේ තීරණය ගැන හිටියේ තරහෙන්

” පරණ තාලෙට හිතන මිනිස්සුන්ගේ නිපූ. එයාලව වෙනස් කරන්න අමාරුයි. අනේ මන්දා අකලංක ආයේ අම්මාත් එක්ක කතා කරන්නම් කිව්වා “

” ඔයා හිතනවද ඒ ගෑනු මනුස්සයා වෙනස් වෙයි කියලා කොච්චර කිව්වත් ? “

ගයාශි හිතුවා වගේම අකලංකගේ අම්මා ගෙදරදි ඔහු දිහා බැලුවේත් තරහෙන්. අත්‍යවශ්‍යම දේකට ඇරෙන්න ඇය අකලංක එක්ක කතා නොකර ඉන්න පෙළඹුනා

” උඹ අර කෙල්ලගේ සම්බන්ධේ නතර කරන්නෙ නැද්ද අකලංක ? “

රමණි අකලංකට හදපු තේ කෝප්පය මේසය උඩින් තිබ්බේ තරමක් සද්දෙට

” සම්බන්ධකම් කියන්නේ එහෙම ආවට ගියාට නතර කරන්න පුළුවන් ඒවාද අම්මේ ? “

” එහෙම නතර කරන්න බැරි නම් ඕවා පටන් ගන්නෙ මොකටද ? මොක උනත් කමක් නෑ .මේ අම්මා ඉන්නකන් ඔය විච්චූරණකාරීව නම් බැඳගන්න වෙන්නෑ පුතේ හරිද ? “

” අම්මා මොකක් කිව්වත් මට මේ ගැන හොඳයි කියලා හිතෙන තීරණයක් ගන්නවා මම. මොකද මම දැන් පොඩි ළමයෙක් නෙමෙයිනෙ .ගයාශි කියන්නේ මගේ දේවල් වලටත් උදවු කරන දියුණු වෙන්න උනන්දු වෙන, මාර උත්සහයක් තියෙන ළමයෙක්. අම්මා හිතන ජාතියේ කෙනෙක් නෙමෙයි “

දැඩි හඬකින් එහෙම කියපු අකලංක කාර්‍යාලයට යන්න පිටත් උනා.

” වාහනේ වැඩේ අද හරි යනවා අකලංක. අපිට හවසට වාහනේ ගන්න පුළුවන් “

ගයාශිගේ සතුට පිරුනු හඬ දුරකථනය ඔස්සේ ගලාගෙන ආවේ ඒ අතර

” අනේ..කොච්චර දෙයක්ද ගයාශි. මම එන්නම්කො හවස “

ගයාශි බලාපොරොත්තු එකින් එක ඉශ්ට කර ගනිද්දි ඇයටත් වඩා සතුටු උනේ අකලංක. තමන් ඉපැයූ මුදලින් තමන්ටම කියලා වාහනයක් ගන්න හීන දැක්ක ගයාශි ඒ හීනේ හැබෑ කර ගන්නකොට අකලංකට දැනුනේ ආඩම්බරයක්

” අර නැට්ටුක්කාරි එක්ක ගිහින් වෙන්නැති මෙච්චර රෑ උනේ “

අකලංක ගෙට ගොඩ වෙනකොටම රමණි දෝශාරෝපණය කරන්න පටන් ගත්තා

” අද ගයාශි අලුතෙන් වාහනයක් ගත්තා “

” හහ්.කොහෙන්ද දන්නෑ එච්චර සල්ලි “

රමණි කිව්වෙ සමච්චලයට වගේ හිනා වෙන ගමන්

” එයා මහන්සි වෙලා හම්බ කරපු සල්ලි තමයි.වෙන මොනවද “

” අනේ අපි නොදන්නවයැ ඔය සැලොන් වල අය ගැන “

රමණිගේ වදන් නෑහුනා වගේ අකලංක කාමරයට ගියේ ගයාශි කියන්නේ කවුද කියලා හරියට දැනගන්න මොහොතක් තමන්ගේ අම්මාට එයි කියලා හිතමින්.

” පුතා . අනේ මගේ පපුව ටිකක් කැක්කුමයි වගේ “

දවසක් දවල් වරුවේ අකලංක කාර්‍යාලයේ ඉන්නකොට හදිස්සියේම රමණිගෙන් ඇමතුමක් ආවා

” අනේ අම්මා. මම එනකන් ඉන්න පුළුවන් ද ටිකක්. දවල් ට්‍රැෆික් එකත් එක්ක මම එනකොට පැයක් හමාරක් යයි “

” එච්චර වෙලා ගියොත් මොනවා වෙයිද දන්නෑ ළමයෝ “

රමණි කතා කලේ අපහසුවෙන්

” පොඩ්ඩක් ඉන්නකො අම්මා මට විනාඩි පහක් දෙන්න මම අම්මට ගන්නම් “

අම්මා හදිස්සියෙ අසනීප වීම ගැන අකලංක ගොඩක් කලබල උනා.ඔහු ඒ සැනින්ම ඔහු ඇමතුමක් ගත්තේ ගයාශිට

” මට ලොකේශන් එවන්න අකලංක .මම අම්මාව හොස්පිට්ල් එක්කන් යන්නම්.ඔයා හොස්පිට්ල් එකට එන්න “

ගයාශි වහාම ක්‍රියාත්මක උනා.අකලංකගේ උපදෙස් පරිදි ඇය අකලංක ගේ නිවසට ගියා.ගයාශි යනකොටත් රමණි ගෙදර පුටුවක් උඩ වාඩිවෙලා අපහසුවෙන් හුස්ම ගනිමින් හිටියා

” අම්මා අපි යමු.අකලංක හොස්පිට්ල් එකට එයි “

ගයාශි රමණිව වත්තන් කරගෙන ඇගේ මෝටර් රථයට නංවා ගත්‍තා.ඊට පස්සේ ඇය ළඟම තියෙන රෝහල වෙත වාහනය වේගයෙන් ධාවනය කළා. අවශ්‍ය කටයුතු ඉක්මනින් කරපු ඇය රමණිව රෝහලට ඇතුළත් කළා .රෝහල් සේවකයන් රමණිව හදිසි ප්‍රතිකාර ඒකකයට අරගෙන ඇයට ප්‍රතිකාර කිරීම ආරම්භ කළා

අකලංක රෝහලට ආවේ සෑහෙන වෙලාවක් ගත උනාට පස්සෙ .හදිසි ප්‍රතිකාර ඒකකය ඉස්සරහා වාඩි වෙලා ඉන්න ගයාශිව දැක්කම ඔහුට දැනුනේ කියා ගන්න බැරි හැඟීමක්

” වෙලාවට ඔයා හිටියේ ගයාශි. නැත්තං අම්මා තවමත් ගෙදර “

” කලබල වෙන්න එපා අකලංක.ඩොක්ටර්ස්ලා ආවා ගමන් ම අම්මාට ට්‍රීට් කරන්න ගත්තා “

ඕනාවට වඩා කලබල වෙලා ඉන්න අකලංකව, ගයාශි සන්සුන් කලා. තවත් මොහොතකින් හදිසි ප්‍රතිකාර ඒකකය තුළ හිටපු වෛද්‍යවරයා එළියට ආවා

old mother

” ඩොක්ටර් මම පේශන්ට්ගේ පුතා “

අකලංක වෛද්‍යවරයා වෙත ගියේ එහෙම කියාගෙන

” එතකොට මේ කවුද පේශන්ට් ගේ ? “

වෛද්‍යවරයා ඇහුවෙ ගයාශිව පෙන්වන ගමන්

” මේ මම මැරි කරන්න ඉන්න කෙනා “

අකලංක පිළිතුරු දුන්නා

” ආ.. එහෙමද ? මෙයා හරිම වෙලාවට අම්මාව හොස්පිට්ල් එකට එක්කන් ආවේ. වෙලාවට ට්‍රීට්මන්ට් කරපු නිසා දැන් අම්මගේ තත්වේ ගොඩක් හොඳයි “

වෛද්‍යවරයා සතුටුදායක මුහුණකින් යුතුව එහෙම කියනකොට අකලංකටත් ගයාශිටත් දැනුනේ විශාල සතුටක්

ගිලන් ඇඳ මත වැතිරිලා ඉන්න රමණිව බලන්න අකලංක ගියේ ගයාශිත් එක්කමයි.ඇගේ මැලවුනු මුහුණ ප්‍රාණවත් උනේ අකලංකව දැක්කම

” පුතා “

” අම්මාට දැන් හොඳයි නේද ? “

” හොඳයි. මේ දරුවා වෙලාවට ආව නිසා “

රමණි කිව්වේ දුකත් පසුතැවීමත් මුසු හඬකින්

” මට සමාවෙන්න දූ “

එහෙම කියපු රමණි ඇඳ අසල හිටපු ගයාශිගේ අත තද කරලා අල්ල ගත්තා

More Stories

Don't Miss


Latest Articles