එක් වරක් හැඬවෙත්දී ම රවීන් දුරකතනයට පිළිතුරු දුන්නේ ය. මගේ හිත හෝස් ගා දැවිණ. ඔහු ඉන්නට ඇත්තේ මට කතා කොට ප්‍රශ්නයක් ඇති වෙතැයි පසු බාමින්, නමුත් මා කතා කරතැයි මග බලමින් විය යුතු ය.
“මට ඔෆිස් යන්නත් දෙන්නෙ නෑ”
මා කීවේ පොඩි කාලේ දී චමත්කා මට කළ නොමනා කමක් ගැන තාත්තා ට ගතු කේලාම් කී දාක මෙනි. රවීන් සුසුමක් හෙළුවේ ය.
“ඔයාට දවස් දෙක තුනක් ලීව් ගන්න පුළුවන් නේද…”
“හ්ම්”
“තාත්තා බැන්නද…හුඟක් බණින්න ඇති. ඉවසන් ඉන්න මැණික. එකට එක කියන්න යන්නනං එපා. මුරණ්ඩු විදිහට හැසිරෙන්නත් එපා. එයාලට හුඟක් දුක හිතෙයි”
“තාත්තා තාම මට කතා කළේ නෑ”
මා එය කියා ගත්තේ උගුර යටිනි..ඔහු ට ඇසුණා ද කියාත් සැක හිතුණ තරමි.
“මං මොකක්ද කරන්න ඕන කියල තාම මට හිතා ගන්න බෑ. ඕගොල්ලංගෙ ගෙදරට ඇවිත් අම්මයි තාත්තා යි එක්ක කතා කරන්න පුළුවන්. ඒත් මේ ගිනි ඇවිලිල තියෙන වෙලාවෙ එහෙම කළොත් ප්‍රශ්න තවත් වැඩි වෙන්න පුළුවන් නේද…”
“මාව මෙහෙම හිර කරං හිටියොත්…”
“හැමදාම එහෙම කරන එකක් නෑ. අපි බලමුකො…ම්…මලිත් මටත් හොඳටම දොස් කිව්ව”
“ලොකු අයියගෙ හිත රිදිල. අපි එයාට නොකිව්වට”
“හ්ම්. දැං ඉතිං මොනා කරන්නද…”
“සනූ..කාත් එක්කද ඔය කතා කරන්නෙ…”
කාමරයේ දොරකඩින් අම්මා ගේ හඩ නැගුණේ වෙඩි ප්‍රහාරයක් සේ ය. මම තිගැස්සී ගියෙමි.
“මේ…ම්..මේ…”
තෙපරබාමින් ම මම දුරකතන සම්බන්ධය බිඳ දමා දුරකතනය මගේ සිරුර පිටුපසට කර ගතිමි.
“රවීන් එක්ක මීට පස්සෙ කිසිම කතා බහක් තියාගෙන අහු වෙන්න එපා. මෙහාට දෙනව ඔය ෆෝන් එක. ෆෝන් ඕන නෑ. ගෑනු ළමිස්සියන්ට ඕනවට වඩා නිදහස දීපු අපි තමයි වැරදිකාරයො”
අම්මා මගේ අතින් දුරකතනය උදුරා ගන්නට ගියා ය. එය ඈ අත පත් නොවනු පිණිස මම තව තවත් පසුපසට කරමින් ඇගෙන් ඉවතට වීමි. දුරකතනය නැති වෙනවා කියන්නේ මට මගේ අතක් නැති වෙනවා වාගේ තත්වයකි.
“ජනරංජනී ඇත්තට මොකද්ද ඔය කරන වැඩේ…”
අම්මා ට පිටුපසින් ආච්චා ගේ හඬ නැගිණ. අම්මා ඈ කරන්නට ගිය දේ නතර කළා ය.
“තරුණ ළමයින් ගෙ ප්‍රශ්න වලට උත්තර හොයද්දි ඔහොම කලබල වෙලා දඟලල බෑ. කල්පනාවෙං ඉවසීමෙන් කටයුතු කරන්න ඕනෙ. ඔහොම හැසිරෙන්න ගියාම වෙන්නෙ ඒ ළමයි හිතුවක්කාර වෙන එකනෙ. ඊට පස්සෙ උන්ට බැණලා දොස් කියල නෙවෙයි ගහල ඇති වැඩකුත් නෑනෙ”
ආච්චා ගේ දේශනයේ කෙළවර දී අම්මා හැරී කාමරයෙන් ගියා ය. රවීන් දැන් තවත් කලබල වී ඇතිවාට සැක නැත.
එක මොහොතකට ඔහු දනිනු වස් කොංක්‍රීට් තලාව මත ට නැගෙන්නට මට ඕනා විය. නමුත් ආලින්දයේ තාත්තා ඇති ය යන සිතිවිල්ල නිසා මම එහි නොයා කාමරයට ම වී සිටියෙමි.
“සනූ”
මම එහෙම පිටින් ම හෙළවී ගියෙමි. තාත්තා මා ඇමතුවේ සාලයේ සිට ය. නමුත් ඔහු ගේ හඬ වඩාත් උස් වූයේ ය..තාත්තා සිටින්නේ සාමාන්‍ය තත්වයෙන් නොව අතිශය කේන්තියක බව වටහා ගන්නට මට ඒ හඬ හොඳට ම ප්‍රමාණවත් විය.
“යනව”
මේසය ළඟ හිඳ පාඩම් කරමින් උන් නංගී මදෙස හැරී බලා තදින් කීවා ය. මම අමාරුවෙන් දෙපා අද්දා ගෙන ඉස්සරහට ගියෙමි.
“ත්…තාත්තෙ…”
ඔහු හිටියේ ආලින්දයේ ඒ මේ අත සක්මන් කරමිනි. හොඳට ම හිත නො සන්සුන් වූ විට තාත්තා හැසිරෙන්නේ එහෙම බව මම දැක ඇත්තෙමි. මේ මොහොත තුළ මම අතිශය සසල ව ජීවත් වුණෙමි.
මගේ හඬින් තාත්තා කෙලින් ම හැරී බලා මවෙත යොමු වූයේ නැත. තව දුරටත් අර නො සන්සුන් සක්මනෙහි ම යෙදී සිටියේ ය. ඒ තත්පර දිගු වර්ෂ සේ දැනෙමින් ද මා දවමින් ද කාලය එක තැනක නතර වී සිටියේ ය.
“ඔය අනවශ්‍ය දේවල් සේරම නවත්තන්න ඕන. තේරුණාද…මෙච්චර මෝඩද ආ…මෙච්චරම මෝඩද…ඉගෙන ගත්තා නේද…මොනාද ඉගෙන ගත්තෙ…”
මම බියෙන් වාගේ තාත්තා ගේ මූණ බැලුවෙමි. ඔහු ගේ මූණ කෝපයෙන් දැවෙමින් තිබිණි. මම වහා බිම බලා ගතිමි.
“කොහොම හරි අන්තිමට මිනිස්සු අපිට හිනා වුණා. එහෙම වෙන තැනට වැඩ කළේ කවුද…”
“ඔයා මෙයාව ඕනවට වඩා හුරතල් කළා. හොඳ තැනක් බලල කසාදයක් කරල දෙන්නෙ නැතුව තාම පොඩියි කිය කිය හිටියා. දැන් පේනවනෙ පොඩි කමට කරං තියෙන දේවල්..”
අම්මා අතර මගකින් පැන මට චෝදනා කරන්නටත් තාත්තා ට අමතක වී යන්නට තිබූ දේවල් නැවත මතක් කරන්නටත් වූවා ය.
“තමුන්ට නංගි කෙනෙක් ඉන්නව නේද…ඒ ළමයටත් අක්ක විදිහට ආදර්ශයක් දෙන්න ඕන කියල හිතුවද…දැං නංගි මොනා කරත් අපි කරබා ගන්න එපැයි. අක්කට හොඳනං මට කරන්න බැරි ඇයි කියල එයා ප්‍රශ්න කරන්න පුළුවන්නෙ”
මගේ හදවත ඒ වෙලාවේ තිබුණේ අක්‍රිය තත්වයක කියා සිතමි. කන් වලට හැම දේම ඇහුණේ ය. නමුත් වෙනදා සේ වහ වහා ප්‍රති අදහස් ලබා දෙන්නට තරම් සමත් කමක් මට වූයේ නැත. හිතට කිසිත් ආවේ ද නැත. එය සුදු කඩදාසියක් සේ හිස් ව පැවතිණ.
“සනූ මේ කියන දේවල් හොඳට ඔළුවට ගන්න ඕන. අපි හැඟීම් වලට වහල් වෙලා අද ගන්න තීරණයක් නිසා ජීවිත කාලයක් විඳවන්න වෙන්න පුළුවන්..පසුතැවෙන්න පුළුවන්. එහෙම වෙයි කියල හිතෙන දෙයක් අපි ඕගොල්ලන්ට කරන්න දෙන්නෙ නෑ. ඒකනෙ දෙමව්පියො ඉන්නෙ. දරුවො වැරදි පාරක යන්න හදනවනං නිවැරදි කරන්න. ඔය වයසට හිත එහෙ මෙහෙ දුවන්න පුළුවන්..නොගැලපෙන තැන් වල නතර වෙන්නත් පුළුවන්. හැබැයි දෙමව්පියො පැහැදිලි කරල දුන්නට පස්සෙ…වැදගත් ගෑනු ළමයෙක්නං ඒ උපදෙස් පිළිපදින්න ඕනෙ. හ්ම් දැන් යන්න පුළුවන් කාමරේට”
මා කාමරයට ආවේ පාවෙන පීරිසියක් සේ පා වෙමිනි. සැබවින් මගේ මනස වැඩ කළේ ම නැත. මෙය මනසෙහි කෝමා තත්වයක් ද කියා ත් මේ අව් අස්සේ මට නො සිතුණා නොවේ.
ඇඳට වැටී මම අරමුණකින් තොර ව සුදු කොංක්‍රීට් වහලය දෙස බලා සිටියෙමි. මකුළුවෙක් ඒ ඔස්සේ දිව යමින් සිටියේ ය. දැන් ඉතින් කුමක් කරන්නද කියා මට වැටහෙන්නේ නැත..තාත්තා පාසල් ගියේ ය. නංගී පන්ති ගියා ය. හැම දේම සාමාන්‍ය පරිදි සිදු විය. මම විතරක් උඩ බලා ගෙන ඇඳට වැටී සිටියෙමි.
කෑම කන්න යයි අම්මා කුස්සියේ සිට ම හඬ ගෑවා ය. නමුත් මට කිසිදු කුස ගින්නක් වූයේ නැත. මම හෙලවෙන්නේවත් නැති ව උඩ බලා ගෙන වැතිර සිටියෙමි.
“කෑම වර්ජනේ කළාම තමුංගෙ හිතේ තියෙන දේවල් කර ගන්න අපි ඉඩ දෙයි කියල හිතුවද…”
දොර රෙද්ද මෑත් කර ගෙන කාමරයට එබුණ අම්මා කෑ ගෑවා ය. ඇගේ වචන පවා මට දැනුණේ අසා ඉන්නට බැරි කංකරච්චලයක් සේ ය. මම මුණිවතින් ඔහේ සිටියෙමි. උත්තර දෙන්නට මට ඕන වුණේ ම නැත. වෙනදා ට කනට ඇහෙන සේ කතා නො කරන අම්මා මේ විදිහට හැසිරීම ගැන මට සිතා ගත නො හැකි විය.
“මොකටද උඩට යන්නෙ…කාව බලන්නද…”
මා පියගැට පෙළ දෙසට ඇදුණු වෙලාවක ඕ කෑ ගෑවා ය. හැන්දෑවේ ලොකු අයියා අපේ ගෙදරට ගොඩ වූ වෙලාවේ පවා අම්මා කතා කළේ ඔහු ගේ හිත රිදෙන පරිද්දෙනි.
“මලිත් මෙහෙ ආවට සනූට කාගෙවත් පණිවිඩ එහෙමනං අරං එන්න බෑ හොඳද..”
ලොකු අයියා ගේ මූණ ඇද වී යන හැටි මම දුටිමි. ඒ අහිංසකයා මේ කිසි දෙයක් ගැන නො දැන සිටියේ ය. නමුත් අම්මා තවමත් සිතා ඉන්නේ ලොකු අයියා දැනුවත් ව හැම දේ ම සිදු වූ බවයි.
“අනේ අම්ම. ලොකු අයියට නිකං බොරුවට දොස් කියන්න එපා. වැරැද්දක් කළා නං ඒක කළේ මම. ලොකයිය මේව දැන ගත්තෙ අම්ම දැන ගත්තටත් පස්සෙ”
ඒ වෙලාවේ මා කතා කළේ තරමක් තදිනි. අම්මා මදෙස රවා බැලුවා ය. ලොකු අයියා පුටුවකින් හිඳ ගත්තේ සුසුමක් හෙළමිනි.
“සුදු නැන්ද ඉන්නෙ අවුලෙං කියල මට තේරෙනව. ඒක නිසා හිතේ කේන්තිය නිවෙනකල් කමක් නෑ මට බණින්න”
ලොකු අයියා පව් කියා මට සිතිණ. පවුලේ ළමයින් අතරින් වැඩි දෙනෙකු ගණන් නො ගන්නා තැනැත්තා ලොකු අයියා ය. ඔහු ස්ථිර රැකියාවක් කරන්නේ නැත. ගෙදරටය කියා ඇති වැඩක් ද නැත. රස්තියාදු ගසමින් ද කොලු නඩයට වැටී ද කාලය ගත කරයි. ඔහු ගේ නහයට නාහන ඇතැම් චර්යා නිසා ඉඳ හිට පොලීසි උසාවි ගානේ යන්නට ද සිදු ව තිබේ. නමුත් ලොකු අයියාට තරම් ලොකු හදවතක් වෙන කාටවත් නැති බව මම දනිමි. පවුලේ කෙනෙකුට කරදරයක් නම් කාටත් කලින් ඔහු එතැන ය. අතේ සතේ නැති වුණත් ඕන ම කෙනෙකුට ඕනෑ ම දෙයක් කර දෙන්නට ඕනෑ ම මොහොතක ඔහු සූදානම් ය. ඒ වුණත් කොතනක වරදක් වුණත් බැණුම් අසා ගන්නේ ඔහු යි. දැන් මේ සිදුවීමේදී ද එසේ ය.
“හැබැයි මුං දෙන්න අතරෙ මෙහෙම සම්බන්දයක් තියෙනව කියල ඇත්තටම මං දැනගෙන හිටියෙ නෑ සුදු නැන්දෙ”
“කොහොමහරි අන්තිමට අපිට තමයි මේ ඔක්කොම කරදර. ඔයානෙ රවීන්ව මෙහෙට අරං ආවෙ”
“අපේ ගෙදරත් කෙල්ලෙක් ඉන්නවනෙ නැන්දෙ. රවීන් නරක එකෙක්නං මං කීයටවත් අපේ ගෙදරට එක්කං ඇවිත් නතර කර ගන්නෙ නෑ. නැන්දා දන්නවනෙ. මං මොන තරං කොල්ලො ආශ්‍රය කරනවද…හැබැයි ගෙදරට එක්කං එන්නෙ නෑනෙ. ඒ ඔක්කොම යාළුකං එළියෙ. මොකද මන් දන්නවනෙ උං කවුද කියල..”
“ඔයා රවීන්ව සුද්ද කරන්න හැදුවට එයා කරල තියෙන්නෙ හොඳ වැඩක් නෙවෙයි මලිත්. එයා කසාද බැඳපු කෙනෙක්. කරුණු කාරණා තේරෙන කෙනෙක්. එහෙම එකේ මේ පොඩි කෙල්ලෙක්ව ඕවට පටලෝ ගත්ත එක වැරදිනෙ”
අම්මා ගේ ලෝකය කෙතරම් පටු ද කියා මම දනිමි. එහි තාත්තා හා අප දෙදෙනා හැරෙන්නට වෙන යමකට වී නම් ඔය මහනා දෙයක් හා ටෙලි නාට්‍යයක් පමණකි. සම්මත යයි සම්මත ව ඇති රාමුවෙන් පිටත වන සියල්ල ඇගේ ලෝකයෙහි අසම්මත ය. රවීන් වරදක් කළා ය කියා ඇය සිතයි. දික්කසාදිත පුරුෂයෙකු යුවතියකට පෙම් කිරීම ඇගේ පටු ලෝකය තුළ මහා පාප කර්මයකි. මා වූ කලී නො දන්නා කිරි සප්පයෙකි. රවීන් මා රවටා ගෙන තිබේ!
හැන්දෑවේ සුනෙත් අපේ ගෙදර ආවේ ය. අම්මා ඔහු ට ද දොස් කීවා ය.
“හොඳ යාළුවෙක් ඉන්නෙ යාළුවො කරන ඕන දේකදි කරබා ගෙන ඉන්න නෙවෙයිනෙ. යාළුවො වරදක් කරන්න යනවනං අවවාද කරල වළක්ව ගන්න. කවුරු නොදැන හිටියත් ඔයා මේක නොදැන හිටියා කියල මං හිතන්නෑ. අඩු ගානෙ ඔයාට තිබුණා සුනෙත් පුතා ඔයාට තේරුං කරල දෙන්න බැරිනං මටහරි කතා කරල මේ ගැන කියන්න”
සුනෙත් අඩ සිනහවක් නගා ගත්තේ ය.
“එහෙම දෙයක් වුණානං මං අනිවාර්යයෙන් ආන්ටිට කතා කරනව ආන්ටි. කීයටවත් සනූට අමාරුවෙ වැටෙන්න දෙන්නෑ මං”
අම්මා බලා සිටියේ ඔහු කී දේ වටහා ගත නො හැකි ව ය.
“හැබැයි ආන්ටිගෙ දුව එහෙම වැරදි දෙයක් තෝර ගන්න ජාතියෙ කෙල්ලෙක් නෙවෙයි. රවීන් කියන්නෙත් නරක කොල්ලෙක් නෙවෙයි ආන්ටි”
මගේ ඇස් වල කඳුළු පිරී තිබිණි. මට සුනෙත් ව වැළඳ ගන්නට සිත් වූයේ ය. තරුණ වයසේ දී සමාන ලිංගිකත්වයකින් යුතු හොඳම මිතුරෙකු නොවීම ඇතැම් අවස්ථා වල අඩුවක් ව දැනෙන්නට පුළුවන. නමුත් සුනෙත් කිසි දා මට එවැන්නකට ඉඩ තබා නැත. පිරිමි මිතුරෙකු වී ද ඔහු මැනවින් මා හඳුනා ගත්තේ ය. මගේ සිතුම්, පැතුම්, ආශා හා හැඟීම් වටහා ගත්තේ ය.
“බලාගෙන යනකොට ඕගොල්ලො ඔක්කොම එකයි”
අම්මා ආඩපාලි කීවා ය.
“එයා කසාද ජීවිතේ සාර්ථක කර ගන්න බැරි වුණ මිනිහෙක්. අපි කොහොමද දන්නෙ ඒ එයාගෙ මොන ප්‍රශ්නයක් නිසාද මොන අඩුපාඩුවක් නිසාද කියල..මං කැමති නෑ සනූටත් ඒක ම වෙනව දකින්න”
“අම්ම”
මම කෑ ගැසුවෙමි.
“ඔයා කොච්චර කෑ ගැහුවත් දැඟළුවත් ඒක කර ගන්න මං කීයටවත් ඉඩ දෙන්නෙ නෑ සනූ. රවීන් එක්ක යන්න ඕනනං ඔයාට ඒ ගමන යන්න වෙන්නෙ අම්මගෙ මිණිය උඩින් තමයි”
මම පුටු ඇන්දෙහි හිස ගසා ගතිමි. මොන තරම් අසාධාරණ ඉල්ලීමක් ද? අම්මා කෙනෙකුට දරුවෙකු ගේ ජීවිත අපේක්ෂාවන් සියතට ගනු වස් මේ වගේ අසාධාරණ තර්ජනයක් කරන්නට හැකි වීම ගැන දෙවියන්ගේ අදහස කුමක් වනු ඇත්දැයි, ඇස් දෙක පියා ගෙන මම සිතුවෙමි. නමුත් පිළිතුරක් අත පොවන මානයක වූයේ නැත.