සැන්ටාට උදව්වක්

“අම්මී..මට පිංකි කෙනෙක් ඕන…”

නත්තල් ගහ සරසමින් හිටිය මට මගේ දූ ඇවිත් කියන්නේ හුරතලයෙන්.දැනටමත් එයාගේ නත්තල් තෑගි මොනවද කියලා තීරණය කරලා ඉවර වුණත් රෝස පාට සොෆ්ට් ටෝයි එකක් ගන්න මම හිතා ගත්තා.දූ වැඩියෙන්ම ආස රෝස පාට සොෆ්ට් ටෝයිස්වලට.ඒ හැමෝම පිංකිලා.

“තාත්තිත් ඔයාට පිංකිලා එවලා ඇති මැණික..අම්මි ගෙනත් දෙන්නම්කො..”

මම එහෙම කියනකොට දූ මං දිහා බලන් ඉඳලා ඔඩොක්කුවට පැන ගත්තා.

“අම්මිගෙන් නෙවෙයි සැන්ටාගෙන් ඕන.ආ..එක පිංකියෙක් නෙවෙයි.පිංකිලා ටූ ඕන..”

දූගේ භාෂාව තමයි මගේ හිත නිවන මැජික් එක.ජෙරාඩ්ට මේ නත්තලටත් ලංකාවට එන්න බැරි වුණාට තාත්ති සැන්ටා තෑගි නොඑවා ඉන්නේ නෑ.ආදරවන්තයා කාලේ තිබුණු කෙළවරක් නැති සර්ප්‍රයිස් තවම අමතක කරලා නැති ජෙරාඩ් නිසා මම ඉන්නේ සැනසීමෙන්.දුවවත් මාවත් මොනතරම් ඈතක හිටියත් තත්පරයකටවත් අමතක නොකරන ජෙරාඩ් එක්ක නත්තල් සමරන්න තිබුණා නම් හොඳයි.ඒත් ජීවිතේ කියන්නේ අපි ආස දේම ලැබෙනවට නෙවෙයිනෙ.

“අපි සැන්ටාට ලියමුකො..සැන්ටා පුතාට ගෙනල්ලා දෙයි පිංකි කෙනෙක්.”

මං එහෙම කියනකොට පිංකිලා දෙන්නෙක් ඕන බව දූ ආයෙමත් මතක් කරා.

“අම්මී..එක්කෙනෙක් ඕන සිතුලිට..”

එහා ගෙදර ජීවත් වෙන පුංචි සිතුලි දූගේ වයසමයි.ලොකු ලොකු දේවල් කරනවට වඩා එදිනෙදා ජීවිතේ අරන් යන්න මහන්සි වෙන සිතුලිලා නත්තල සමරන්නේ නෑ.ඒ එයාලාගේ ජේසුගේ දරුවෝ නොවී බුදු හාමුදුරුවන්ට වඳින නිසාම විතරක් නෙවෙයි.ඊට වඩා කරන්න දේවල් ඕනෑ තරම් සිතුලිගේ අම්මලාට තියනවා.

“මං සිතුලිට කිව්වා සැන්ටා ඉල්ලන ඕන දෙයක් දෙනවා කියලා.ඉතින් අපිට පිංකියෙක් ඕන අම්මි..”

පුංචි දරුවන්ගේ ජීවිතේ මොනතරම් ලස්සනද කියලා මට හිතුණේ ඒ කතාව අහන් ඉඳලා.

“අපි ජීවිතේ එක කාලයක් සැන්ටා එනකන් බලන් ඉන්නවා ඊටපස්සේ සැන්ටා වෙන්න සිද්ධ වෙනවා..”

ඒ කතාව කොහෙන්හරි කියෙව්වා මට මතකයි.බොරුවකුත් නෙවෙයි.දූ ඉපදුණාට පස්සේ සැන්ටාට අඳින හැම වතාවකම මට මතක් වෙන්නේ ඒ කාලේ මම ලියන ලියුමක තිබුණු හැම දෙයක්ම අම්මලා ගෙනත් තිබ්බ හැටි.වෙන එකක් තියා හැරී පෝටර්ගේ මායා ඉස්කෝලේට යන්න ඕන කිව්වම නත්තල් සීයා මට හැරී පෝටර් කතා පොත් දෙකක් එවලා තිබුණේ හොඳට ඉංග්‍රීසි ඉගෙන ගන්න මතක් කරලා.ඒ මතක මට දැන් වැඩියෙන් ලස්සනයි.සැන්ටා ඉන්නවා කියලා විස්වාස කරපු ඒ පුංචි ගෑනු ළමයව මතක නිසාම මට දූගේ ඉල්ලීම්වලට පිටුපාන්න බෑ.

පිංකිලා දෙන්නෙක් හොයා ගත්තට පස්සේ මට එයාලව නිදාගෙන ඉන්න මගේ දූ සහ සිතුලි ළඟ නොතියා අලුත් වැඩක් කරන්න හිතුණා.මම දූ ඇහැරෙන්න කලින් නත්තල් ගහ යටින් තෑග්ග තිබ්බේ ඒ නිසා.ඊටත් පස්සෙ ඇහැරුණු දුවට පිංකිලා පෙන්නපු මට සතුටින් නටන පොඩි පැංචියෙක්ගේ දඟර නැටුමක් බලන්න වාසනාව තිබුණා.ඔව්, මගේ ඊළඟ අවුරුද්ද සන්තෝසයෙන් පිරෙන එකක් බව මට විශ්වාස වුණේ ඒ නැටුම නිසා.

“පිංකිලා දෙන්නම මෙතනනෙ අම්මි..”

මං මොකුත්ම නොකියා දූ එක්ක කෑම කාමරයට ගියා.සිතුලිලාට මං සකස් කරපු බොහොමයක් දේවල් පාර්සල් කීපයක් විදියට එතැන තියනවා.මේ සේරම නත්තල් සීයා සිතුලි වගේ හොඳ ළමයෙක්ට දෙන දේවල් මිසක මංවත් දූවත් සිතුලිලාට දෙන ආධාර නෙවෙයි.

“මේ සේරමත් සිතුලිට දෙන්න කියලා මට දුන්නේ සැන්ටා..”

මං එහෙම කියනකොට දූ මං දිහා බැලුවේ පුදුමයෙන් වගේ.

“අම්මිට සැන්ටා කතා කරාද අම්මි?”

කුකීස් අහුරක් කටේ පුරවා ගන්න ගමන් දූ අහනව.මං ඔලුව වැනුවා.

“සැන්ටා ලොකු අයට මුණ ගැහෙනවා.කතා කරනවා.හොඳ මනුස්සයෙක් වෙලා උස්මහත් වෙන කාටත් සැන්ටා මුණ ගැහෙන්න පුලුවන් දූ..”

දූට එහෙම කියන ගමන් මං පාර්සල් සේරම අරගෙන සිතුලිලාගේ ගෙදර ගියේ දූ එක්කමයි.

“අනේ ඈන් අක්කේ….”

සිතුලිගේ අම්මා මං දිහා බැලුවේ මේ තරම් වියදම් කරේ ඇයි කියලා අහන්න වගේ.ඒ වුණාට දූ ගාව උත්තරයක් තිබුණා.

“මේවා සැන්ටගෙ තෑගි ආන්ටි.මේ ඔක්කොම අම්මිට දුන්නෙ එයාලු..”

ඇතිවීම නැතිවීම කොයි මොහොතේ වුණත් කාටත් වෙන්න පුලුවන් බව මම සිතුලිගේ අම්මාට පැහැදිලි කරේ මම අරන් ආපු නත්තල් කේක් කන්න එයා හදපු තේ බොන ගමන්.

“මේ දේවල් මං දුන්න කියනවට වඩා ලස්සන සිතුලිට නත්තල් සීයා දුන්නා කිව්වම.ඒ කතාව වෙනස් කරන්න එපා හොඳේ..”

තෑග්ගකත් ආධාරයකත් වෙනසක් තියනවා.ඒක තෑග්ගක්.එච්චරයි!

“සැන්ටාට බඩු ගොඩාක් ගෙනියන්න මහන්සි නම් අපිට යන්න කියනවද අම්මි?”

ආපහු එන ගමන් දූ මගෙන් අහනවා.මං බලාපොරොත්තු වුණෙත් ඒ ප්‍රශ්නේ තමයි.

“සැන්ටාට හැමවෙලාවෙම හැමතැනම යන්න අමාරුයි දූ.එයත් දැන් ඔයාගේ සීයාතාත්තා වගේ වයසයිනෙ.ඒත් සැන්ටා උදව් ඉල්ලන හැම වෙලාවකම අපි සැන්ටාට උදව් කරන්න ඕන.එතකොට තමයි එයාගේ ආදරේ අපිට ලැබෙන්නේ..”.

දූට මං කියපු හැම වචනයක්ම තේරෙන්න නැතුව ඇති.ඒත් කෙනෙකුට උදව් කරලා ආසම දෙයක් ලැබෙන්න සලස්වලා සැන්ටා වගේ ඈත ඉඳන් සතුටු වෙන එක ලස්සන දෙයක් කියලා එයා ඉක්මනින්ම ඉගෙන ගනියි.ආධාර දෙන එකට වඩා තෑගි දෙන එක මොනතරම් ලස්සන වැඩක් ද?

More Stories

Don't Miss


Latest Articles