තමන්ගේ නිදහස.

“ඇයි ළමයෝ ෆෝන් එක ආන්සර් නොකරේ..”

ගයනි උඩ ගිහින් බිම වැටුණේ අම්මාගේ කෑගැහිල්ලට.අම්මා කෑගහන තරම් වෙලාවක් ෆෝන් එක බලන්න බැරි වුණාද කියලා ගයනි හිතුවේ වෙලාව බලන ගමන්.

“ඇයි අම්මා කෑගහන්නේ.මං මේ බස් එකේ හිර වෙලා ඉන්නේ..”

ගයනි එහෙම කියනකොට අම්මා තවත් මොනමොනවාදෝ කියන හඬ ගයනිට ඇහුණා.පණිවිඩයක් වෙන්න ඇති කියලා හිතලා ගයනි බස් එකෙන් බැහැලා අම්මාට ආයෙ ඇමතුමක් ගත්තා.

“ඇයි අම්මේ කතා කරේ?”

රෑට කන්න මොනවාහරි අරන් එන්න කියලා අම්මා නියෝග කරනකොට ගයනිට ටිකක් තරහ ගියා.අම්මා දවසම ගෙදර ඉන්න නිසා මොකුත් උයන්න බැරිකමක් නෑ.ඒ වුණාට ඉතින් අම්මාගේ හැටි ඔහොම තමයි.

“මං ඇවිල්ලා උයන්නම් අම්මේ..”

දවසම කාර්යාලයේ පරිගණකයට ඇස් අලෝගෙන ඉඳලා ඇස් රිදුණත් ගයනි එහෙම කිව්වේ ඔහොම සල්ලි නාස්ති කිරීම තේරුමක් නැති නිසාමයි.කඩෙන් කන්න ගයනිගේ ඒ තරම් මනාපයකුත් නැහැ.ඒත් අම්මා ඊළඟට තරහෙන් කිව්වේ වෙනම කතාවක්.

“ඔයාට ඕනනම් උයාගන්න.මල්ලිට කොත්තුවක් ඕනලු.එයාට අරන් එන්න.”

සති අන්තයේ ඉගෙන ගන්න ගමන් සතියේ දවස්වල රස්සාවට එන මල්ලිගේ වයසේ කිහිප දෙනෙක්ම ගයනිගේ හිතට ආවා.ඒ හැම ළමයෙකුටම තමන්ගේම සටනක් තියෙනවා.ඔවුන් ඉන්නේ තමන්ගේම ප්‍රශ්න එක්ක පොර බඳින ගමන්.ඒත් තාරුණ්‍යය නිකම්ම අහක දාන්න ඔවුන්ගේ කැමැත්තක් නෑ.උසස් පෙල සමත් වෙන්න හැමෝටම බැරි බව ඇත්ත.ඒත් එතනින් එහාට කිසිම දෙයක් නොකර දවසම ෆිල්ම්ස් බලන,ගේම් ගහන මල්ලි ගැන ගයනිට ආවේ ලොකු තරහක්.

“මට ලොකු සැලරි එකක් ලැබෙන්නේ නෑ අම්මේ.ඒකෙන් මෙහෙම වියදම් කරාම මට ඇත්තටම කිසිම ඉතුරුවක් නෑ..”

ගයනි ගෙට ගොඩ වුණේ එහෙම කියන ගමන්.මල්ලි ගයනිගේ අතේ තිබුණු පාර්සලය ගැන විපරම් කරලා කට ඇද කරගත්තේ “කුණු ලෝබකමට එග් කොත්තුවක්නෙ ගෙනල්ලා තියෙන්නෙ” කියන අතර.

“සහෝදරයෙක්ට කන්න දීලා කුල කියන්න එපා ළමයො..”අම්මා කියන්නේ එහෙම කතාවක්.

“මට මේ සතියේ කැම්පස් එකට සල්ලි බඳින්නත් තියනව අම්මෙ..”

ගයනි අම්මාට මතක් කිරීමක් කරා.අම්මා ගයනි දිහා බැලුවේ අප්‍රසන්න තාලෙට.

“මොකටද ළමයො ඔච්චර ඉගෙන ගන්නෙ.කෙල්ලො මොකටද ඔච්චර ඉගෙන ගන්නෙ. “

අම්මා එක්ක තර්ක කිරීම පල රහිත නිසාම ගයනි කට වහ ගත්තා.මේ නාස්තිකාර ජීවන රටාව අත් හරින්න අම්මටවත් ගයනිටවත් උවමනාවක් නැහැ.

“ඔය එකම බිත්තරේ බදින්නද යන්නෙ.තියලා යන්න.මං දවල්ට බදින්නං..”

ගයනි උදේට උයලා පිහලා ඉවර වෙනකොටම මුළුතැන්ගෙයට ආපු අම්මා එහෙම කතාවක් කිව්වේ පහුවදා උදේ

“ඒක මට අම්මේ..”

ගයනි එහෙම කියනකොට අම්මා බිත්තරය අරන් පැත්තකින් තිබ්බා.ලොකු කතාවකුත් කියන ගමන්.

“ඒක මල්ලිට තියන්න.කොල්ලො තමයි හොඳට කන්න ඕන.කෙල්ලන්ට එහෙම ගිලින්න උවමනාවක් නෑ..”

තමන්ගේ මුදලින්ම අරන් එන බඩු භාණ්ඩ තමන්ටම පරිහරණය තහනම් වෙනකොට ගයනිට දැනෙන්නේ වේදනාවක්.ඉස්සර ඉඳලම අම්මා ඔහොම තමයි.කෙල්ලන්ට වඩා කොල්ලන්ට බඩගිනි දැනෙන බව,එයාලා හොඳට කන්න බොන්න ඕනෑ බව කියමින් අම්මා වෙනස්කම් කරේ අද ඊයේක නෙවෙයි.ඒත් බාගෙට කන තමන් ගෙදරක වගකීම දරන තැනට එනකොට මල්ලි කකා බිබී ගෙදරම ඉන්න එක සාධාරණ දෙයක් නෙවෙයි කියලා ගයනි ආයේ ආයේ හිතන්න පටන් ගත්තා.

“චිකන් ටිකක් අරන් එන්න..කොල්ලො හොඳට කන්න ඕන..”

අම්මා එහෙම කියලා අණක් දුන්නේ ගයනි ගෙදරින් එළියට බහිනකොට.තීරණයක් ගත යුතු කාලය ඇවිල්ලා කියලා ගයනි තේරුම් ගත්තා.

“අපේ අම්මා ඒකයි කියන්නේ.අපි බඳිමු.වෙඩින් ගන්න ඔයත් ආසයි තමයි.හැබැයි අපි ඉක්මනින් කසාද බැන්දොත් ඔයාගේ අම්මා හැදෙයි..”

ගයනි දෙතුන්වතාවක් වෙනම බෝඩිමක් හොයා ගත්තත් ඒ හැම වතාවකම ලෙඩක් අරගෙන ඇයව ආපහු ගෙන්වා ගන්න අම්මා ක්‍රියා කරපු හින්දා ඉතුරු එකම විසඳුම යෝජනා කරේ ඇගේ පෙම්වතා වුණු චානක.

“කසාදයක් බඳින එක ප්‍රශ්න වලට විසඳුමක් හොයන්න ක්‍රමයක් නෙවෙයි.ඒ උනාට ඔයා වෙනම පවුලක් වුණොත් ඔයාට ඔයාගෙම දේවල් තියන නිසා අම්මයි මල්ලියි ඔයාව ඔහොම හූරන් කන එක නතර වෙයි..”

කතාවට එකතු වුණු ගයනිගේ හොඳම මිතුරිය ජයනිටත් තිබුණේ එහෙම අදහසක්.

“එයාලා හැදෙන්නේ නම් නෑ.ඒත් ඔයාට ඔයාගෙම කියලා පවුලක් ඇතුළේ ආරක්ෂාවක් හදා ගන්න පුලුවන්.ඔයා දැන්ම බඳින්න ආස නැත්නම් මම ඔයාට බල කරන්නෙත් නෑ.ඈතකට ට්‍රාන්සර් එකක් අරගන්න.ගිහින් නිදහසේ ඉන්න. දෙමව්පියන්ටයි සහෝදරයන්ටයි අපි බලන්න ඕන තමයි ගයනි.ඒත් ඔයා ඔයාව නැති කරගන්න එපා..”

ගයනි චානක දිහා සැනසීමෙන් බලාගෙන හිටියේ ඒ වචනවලට හිත නිවී යන්න පටන් ගත්තු නිසා.චානකගේ අම්මා ගයනිට නිතරම ඉගෙන ගන්න කියලා මතක් කරන්නේ අපූරු කතාවක් කියන ගමන්.

“අපේ පුතා ඔයා එක්ක ඉන්නත් පුලුවන්.නැති වෙන්නත් පුලුවන්.ඒ වුණත් ඔයා ඔයාගේ අනාගතය හදාගත්තොත් පුතේ ඔයාට පිරිමියෙක් හිටියා නොහිටියා හොඳට ඔලුව කෙලින් තියාගෙන ජීවත් වුණෑකි..”

ඔෆිස් එකේ වැඩ කරවටක ගිලිලා ඉන්නකොට අම්මා කවදාවත් නාහන ප්‍රශ්නයක් අහන්න කතා කරන චානකගේ අම්මා ගයනි ආයෙම මතක් කළා.

“කෑවද දුව..” ඇය එහෙම අහනකොට සමහර වෙලාවට ගයනි නෑ කියනවා.

“කෙල්ලො හොඳට කන්න ඕන.දවසක අම්මා කෙනෙක් වෙන්න හයිය තියෙන්න ඕන කෙල්ලන්ට.ළමයි හැදුවා නැහැදුවා වයසට යනකොට අතන කැක්කුම් මෙතන කැක්කුම් ගෑනුන්ට වැඩී.හොඳට කාලා හයියට ඉන්න ඕන..”

ඒ එක අම්මා කෙනෙක්.තමන්ගේ අම්මා දවසක ඇගේ ලේලිට කොහොම සලකයිද හිතෙනකොට ගයනිගේ ඇඟ හිරි වැටෙනවා.

“මම මගේ නිදහස හොයා ගන්න ඕන..”

තමන්ගෙම අයට වුණත් පාවිච්චි වීම නරක බව හිතෙනකොට ගයනි එහෙම හිතුවා.තමන්ගේ අය ළඟ වුණත් එහෙම බාල්දු වෙන එක කිසිම කෙල්ලෙකුට නොවිය යුතු බවත් ඇය හිතුවේ වේදනාවෙන්.තමන්ට තමන් ඉතුරු විය යුතු බවත් මොනම හේතුවකටවත් තමන් තමන්ව නැති කරගත යුතු නොවන බවත් ඇය හිතුවේ සැහැල්ලුවෙන්.

More Stories

Don't Miss


Latest Articles