අංජලී බෝඩිමේ ඉඳලා ගෙදර ආවේ මාසෙකට පස්සේ.ගෙට ගොඩ වෙනකොටම රම්‍යාගේ මුහුණ ඒ තරම් හොඳ නැති බව අංජලීට පෙනුනා
” මොකද මෙච්චර දවල් උනේ.උදේම පිටත් වුණා නම් පැය දෙක තුනක් ඇතුළත එන්න පුලුවන්නෙ “
” මගදි බස් එක කැඩුන අම්මා. නැත්තම් මම අට වෙද්දී පිටත් වුණා “
අංජලි වාඩිවුනේ දාඩිය පිසින ගමන්. යුතුකමට ගෙදර එන්න ඕන නිසා ගෙදර ආවා මිසක් ගෙදර එන එක අංජලීගේ හිතට හැමදාම එකතු කළේ බරක් විතරයි
” අත් දෙක වන වනා ආවම හරි .එනකොට ගෙදරට මොකුත් අරගෙන එන්න එපා “
අම්මා උදේ ඉඳලම මොකක් හරි දේකට තරහ අරගෙන ඒ තරහ තමන්ගේ පිටින් යවන බව අංජලීට තේරුණා. අම්මට දෙන්න හිතාගෙන ආව සල්ලි ටිකත් නොදී ඉන්නයි අංජලීට ඒ වෙලාවේ හිතුණේ
” ඊයෙ අක්කා ඇවිල්ලා ගියා සමන් එක්ක. ඉඩම විකුණන වැඩේ මොකද කියල සැරින් සැරේ අහනවට වඩා එයාට වෙන වැඩක් නැහැ “
තමන් අනුමාන කරපු දේ හරි කියලා අංජලීට තේරුනේ එතකොට
” ඉතින් ඇයි අම්මා ඉඩම විකුනන්නෙ නැත්තෙ ? “
” ඉඩම විකුනන්නෙ හොඳ ගානකට ආවොත් විතරයි “
” අම්මා බලන් ඉන්න ගණන් වලට ඉඩම් ගන්න මේ කාලේ මිනිස්සු එන්නේ නැහැ .දැන් මිනිස්සුන්ට කන්න බොන්නත් නැතුව ඉන්නෙ .ඉතිං කෝටි ගණන් දීලා ඉඩම් ගන්න පිස්සුයැ “
” එහෙනම් ඉතින් සැරින් සැරේ අහන්නෙ මොකක්ද ? “
” මටනම් ඉඩම් තණ්හාව නැහැ .අම්මා ඕන දෙයක් කරගන්න “
අංජලී ගමන් මල්ලත් අරගෙන කාමරයට රිංග ගත්තේ ඉවරයක් නැති නෝක්කාඩු අහගෙන ඉන්න බැරිම තැන. ඒත් අංජලීට එහෙම ඉන්න ලැබුනේ විනාඩියක් දෙකක් විතරයි
” සමන් තව බිස්නස් එකක් පටන් අරගෙන. ඒකට යට කරන්න තව සල්ලි වගයක් ඕනෙලු .ඔයා ගාව තියෙනවද කීයක් හරි ? “
” මොකක්ද අම්මේ ඒ කතාවෙ තේරුම ? අම්මා දන්නවද මට බෝඩිමට කීයක් යනවද තුන්වේල කන්න බොන්න කීයක් යනවද කියලා ? එතකොට ගමන් වියදම් වලට කීයක් ද දන්නවද ? ඒ අස්සෙ මම ගෙදරටත් වියදම් දෙනවා.ඒක දීලා අක්කගේ මහත්තයාටත් මම ද සල්ලි දෙන්න ඕනේ ? “
” කීයක් හරි ගෙදරට දුන්න කියල මුන්ගෙ තියෙන ලොකු කම බලපල්ලකෝ “
එහෙම කිව්ව රම්‍යා කාමරයෙන් එලියට ගියේ කෝපයෙන් ගස්සගෙන.
” හරි නම් අම්මට ඕවායේ කිසිම අයිතියක් නැහැ අංජලී . ඒ ඉඩමේ තියෙන ගෙදර කුලියට දීලා ගන්න සල්ලිවත් අම්මට අයිති නැහැ.එයාට ඕන දෙයක් කරන්න පුළුවන් එයාගෙ නමට තියන දැනට ඔයාලා ඉන්න මහගේට විතරයි “
නීතීඥවරියක් වෙන්න ඉගෙන ගනිමින් හිටපු අංජලීගේ හොඳම මිතුරිය වුණ ප්‍රවීණා කිව්වේ එහෙම
” මම කවදාවත් අහන්නේ නැහැ ප්‍රවීණා ඒ සල්ලි වලට මොකද වෙන්නේ කියලා.මට ඒවායින් වැඩකුත් නැහැ. “
” ඒ උනාට ඔයාටත් අයිති දේවල් භුක්ති විදින්නේ කවුද කියලා ඔයා හොයලා බලන්න ඕනේ නේද ? අඩුම ගානේ ඔයාගේ අක්කා වත් හොයන්නේ නැද්ද ඒ ගැන ? “
ප්‍රවීණා කතා කලේ මොකක් හරිම අකටයුත්තක් සිද්ධ වෙනවා කියලා ඉවෙන් වගේ තේරුම් අරගෙන
” දේපල වලට සහෝදරයෝ අතර ප්‍රශ්න ඇතිවෙනවා කියලා මම ඕන තරම් අහල තියෙනවා.අපේ ගෙදරත් ඒක වෙනවට මම හරිම බයයි .ඔයා දන්නවා නේ ප්‍රවීනා අපේ අක්කා ගැන “
කොළඹ රැකියාවකට ගිහින් අම්මවත් නඩත්තු කරන , තමන්ගේ අනාගතය ගැනවත් නොහිතන මිතුරිය ගැන ප්‍රවීනාට ඇතිවුනේ දුකක්.
ගෙදර ආව දවස් කීපය නිදහසේ ගත කරන්න හිතාගෙන අංජලී වත්තේ ඇවිදින්න පටන් ගත්තේ වටපිට බලන ගමන්. ඒ අතරේ මැදි වයස ඉක්ම වු පුද්ගලයෙක් තමන්ව දැකලා ගේට්ටුව ගාව නතර වෙන හැටි අංජලී දැක්කා
” මේ රම්‍යාගේ පොඩි දුව වෙන්න ඕනේ “
ප්‍රියමනාප පෙනුමැති පුද්ගලයා කවුද කියලා හිතන ගමන් අංජලී ගේට්ටුව ඇරගෙන එතනම නතර වුණා
” අනේ සමාවෙන්න මම අංකල්ව දැකලා නෑ මීට කලින් “
” කොහේ දකින්නද ඉතිං . දුව රස්සාවට යන්න බෝඩිමක නතර වෙලා නේ ඉන්නේ .අනිත් දුව නම් මහත්තයා එක්ක නිතර නිතරම මෙහෙ එනවා.අපි ගෙවල් කුලිය දෙන්නේ එයාලට නේ .මමයි නෝනායි තමයි දුවලගේ කුලියට දීපු ගෙදර ඉන්නේ “
නාඳුනන පුද්ගලයා කව්ද කියල හඳුනා ගත්ත එකටත් වඩා කියපු දෙයින් අංජලී පුදුමයට පත් වුණා.ඒ වගේම ඇයගේ හිතේ තිබුණු ප්‍රශ්නයටත් පිළිතුරක් ලැබුණා
” අම්මා “
අංජලී ගෙට ගොඩවුනේ තරහෙන්
” මොකද ? “
රම්‍යා ඉස්සරහට ආවේ පුරුදු තරහ මුහුණ මවාගෙනමයි
” අම්මා ඇයි මට කිව්වේ නැත්තේ අර ගෙදර කුලිය ගන්නේ අක්කලා කියලා? “
” ඇයි එයාල ගත්තම මක් වෙනවද ? “
” මුකුත් වෙන්නේ නැහැ . තිස් හතළිස් දාහක කුලියකුත් අරගෙනද එයාලා තව ණය ඉල්ලන්නත් මෙහාට එන්නේ ? “
” ඔයා මහ ලොකු රස්සාවක් කරන එකේ ඔයාට ඉතින් ඒ සල්ලි වලින් වැඩක් නැහැනෙ කොහොමත් .ඒවා අක්කලා බලාගත්ත දෙන් “
” මේක මහ අසාධාරණ කතාවක්නේ. මම කොළඹට වෙලා දුක් විඳ විඳ හම්බකරන සල්ලි ටිකත් ගෙදරට දෙනවා , අම්මා තියෙන සල්ලි සේරමත් දෙන්නෙ අක්කට “
” උඹට මහ පුදුම සල්ලි තණ්හාවක්නේ තියෙන්නෙ අංජලී “
” අම්මා එහෙම හිතනවා නම් හිතාගන්න.මීට පස්සෙ මගෙන් එක සතයක්වත් මේ ගෙදරට හම්බ වෙන්නේ නැහැ කියලත් මතක තියාගන්න “
” එහෙනම් ඉතිං උඹ මේ ගෙදර ඉන්න ඕනෙත් නැහැ “
රම්‍යා එහෙම කියන හඬ අංජලීට ඇහුනේ අංජලී කාමරයට ඇවිත් දොර වහ ගන්නකොට.
” අපි පොඩ්ඩක් දියුණු වෙනකොට නංගිට බලාගෙන ඉන්න බැහැ වගේ නේද අම්මේ ? “
පැයක් විතර ගත උනාට පස්සෙ අක්කගෙ හඬ සාලයෙන් ඇහුණා.අංජලී ඒත් නිහඬවම කාමරයට වෙලා හිටියෙ රණ්ඩු සරුවල් කරගැනීම අංජලීගේ පුරුද්දක් නොවන නිසා.ඒ අතරතුර අංජලීගේ අක්කා උන අරුණි කාමරයට කඩා වැදුනේ අනවසරයෙන්ම
” ඔයාට ප්‍රශ්නයක් තියෙනවා නම් අපිත් එක්ක විසඳගන්න .ඒවාට අම්මව ගාව ගන්න ඕනේ නැහැනේ “
” ඒ වැරැද්දට ඉතින් අම්මත් හවුල් නේ “
අංජලී කතා කළේ එක එල්ලේම අරුනි දිහා බලාගෙන. තමන්ගේම සහෝදරයකු වුණත් වරදක් කරනවා කරනවා නම් ඊට එරෙහි විය යුතු බව අංජලී විශ්වාස කලා.අම්මා කාමරයට වේගයෙන් එන හැටිත් , අක්කාගේ සැමියා කාමරයෙන් පිටත සිට බලාගෙන ඉන්න හැටිත් අංජලී දැක්කා
” තමන්ගේ අක්කට සල්ලි ටිකක් දුන්නහම මොනවා වෙනවද අංජලී ? “
රම්‍යා අහන්නේ උස් හඬින්
” එතකොට නංගිටත් අයිති තැනකින් හොරෙන් සල්ලි අරගන්න එක හරිද ? මම හම්බ කරන සල්ලි කොච්චර ගෙදරට දුන්නත් අම්මට මදි.මම නෙමෙයිද අක්කගෙ wedding එකට මදි වෙච්ච සල්ලිත් දුන්නෙ ? එහෙමත් කරලා කොළඹට වෙලා රස්සාවක් කරන්න මම විඳින දුක නිකමටවත් ඔයාලා අහනවද? ඔයාලා හිතන්නේ මම සල්ලි ගස් වලින් කඩනවා කියලද? “
” හහ්. තමුසේ මගේ වෙඩින් එකට දීපු සල්ලි හැම සතියක්ම මම දෙන්නං.කරලා කියවන්න ලැජ්ජ නැද්ද ? “
” කරල කියවනව නෙමෙයි .අමතක වෙච්ච දේවල් මතක් කරලා දුන්නා .අම්මා වුණත් දැනගන්න ඕනේ සහෝදරයෝ විරසක නොවෙන විදියට වැඩ කරන්න.හැමෝටම එක විදියට සලකන්න අම්මා කෙනෙක් වුනාම දැනගන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි දරුවෙක් වැරැද්දක් කරනවා නම් ඒක පෙන්නල දෙන්නත් අම්මා කෙනෙකුට පුළුවන් වෙන්න ඕනේ. අම්මා ගන්න ඕන වාසි පැත්ත නෙමෙයි සාධාරණ පැත්ත “
රම්‍යා නොදන්නා පාඩමක් කියාදුන්න අංජලී බරැති සුසුමක් මුදාහැරියා.