“නැන්දේ..අයියා අදත් ගෙදරද?”
එහා ගෙදර පුංචි මලිත ගේට්ටුවෙන් එබෙන්නේ එහෙම කියාගෙන.සාරදා මල් පැළ එක්ක කතාබහ නවත්තලා ඔලුව ඉස්සුවේ මලිතගේ මල් හිනාවක් අහුලා ගන්න බලාපොරොත්තුවෙන්.
“අයියට කැම්පස් එකේ විබාගේ ළඟයිනෙ පුතේ.පාඩම් කරනව ඇති.”
සාරදා එහෙම කියද්දී මලිතගේ මුහුණ මැලවිලා ගියා.
“මං අයියට පාඩම් කරන ගමන් කන්න පැටිස් හැදුවා.පුතාටත් දෙන්නං..”
මැලවුණු මූණට හිනාවක් ගේන්න හිතාගෙන සාරදා එහෙම ඇහුවේ අත සෝදා ගන්න ගමන්.මලිත සාරදා පිටිපස්සෙ වැටුණේ ඉස්කෝලේ වෙච්ච ඕපාදූප කියන ගමන්.
“පුතා කන්නකො.අයියාට දෙමු අපි.”
සාරදා පැටිස් පිඟානක් මලිතට දුන්නේ එහෙම කියන ගමන්.ශීතකරණයට එබිලා දිවුල් බීම ජෝග්ගුව අරගෙන වීදුරුවකට දාන ගමන් සාරදා මලිත දිහා බැලුවා.පොඩි එකා එක පැටිස් එකකටවත් අත තියලා නෑ.
“ඇයි සුදු මහත්තයො..අම්මා පුතාට ගණන් හදන්න කියල බැන්නද? පොත ගෙනාවොත් නැන්දටත් පුලුවන් ගණං කියලා දෙන්න..”
සාරදා එහෙම කියනකොට මලිත නැගිටලා සාරදා ළඟට ආවේ දෙයක් ඉල්ලා ගන්න මුහුණක් හදාගෙන.
“නැන්දේ,මං අයියට පැටිස් ගිහින් දෙන්නං..”
නිලංකගේ කාමරේ පැත්තට මලිත ගිහින් ගුටියක් කන්නත් පුලුවන් කියලා සාරදාට හිතුණා.පරිගණක ඉංජිනේරුවෙක් වෙන්න ඉගෙන ගන්න ගමන් ඉන්න නිලංකට මේ දවස්වල එක්සෑම් ස්ට්‍රෙස් එකටද මන්දා පුදුමාකාර කේන්තියක් පහළ වෙනවා.ඊට පස්සේ අම්මා එක්ක වුණත් පොඩ්ඩක් කේන්ති ගන්න නිලංක පසුබට වෙන් නෑ.
“මගේ සුදු අම්මට දුකද?මට හරි ස්ට්‍රෙස් අප්ප..”
නිලංක එහෙම කියලා ආපහු බදා ගන්නකොට සාරදාට හිනා යනවා.
“අපෝ මට ඔය ඉලන්දාරින්ගෙ ලොකුකම් ඕන නෑ.මලිත ඉන්නව මට..”
ඒ වගේ වෙලාවට සාරදා නිලංකට පොඩි පහේ ලොකුකමකුත් දෙන්න අමතක කරන්නේ නෑ.
“පැටිස් අරන් යන්නකො බලන්න..”
සාරදා එහෙම කිව්වේ නිලංක බැන්නොත් අඬාගෙන එන මලිත නළවන්නත් හිතාගෙන.දරුවෝ උස්මහත් වෙනකොට එයාලට තමන්ගෙම කියලා හීන තියෙනවා.එතකොට ඇති වෙන පාළුව මකාගන්න අහළ පහළ පොඩි බට්ටෙක් හරි ඉන්න එක මදැයි.ඒත් මලිත වගේ පුංචි පොඩිත්තෙක්ගේ හුරතල් දරා ගන්න මේ වෙලාවේ නිලංකට පුලුවන් වෙයිද කියලා සාරදාට ආවේ සැකයක්.
මලිත පැටිස් පිඟානකුත් අරගෙන නිලංකගේ කාමරේට ගියාට පස්සේ සාරදා දවල් කෑම හදන්න ගත්තේ මලිතටත් එක්කමයි.නිලංක කැමති විදියට චිකන් කරිය ඒදන ගමන් මලිත කැමති අල කරියත් හදන්න ඕන කියලා සාරදාට හිතුණා.
කාමරේ පැත්තෙන් සද්දයක් නෑ!!
නිලංක සද්දයක්වත් නැතුව පාඩම් කරන හින්දා මලිතට නිලංකගේ ඇඳේ වැටිලා නින්ද ගිහින් ඇති.උස්සාගෙන එළියට ගේන්න හිතාගෙන සාරදා ඒ පැත්තට යනකොට නිලංක කාමරෙන් එළියට ආවේ තනියම හිනා වෙන ගමන්.
“බොන්න මොකුත් නැද්ද අම්මා..”
නිලංක එහෙම අහන්නේ හිනාව අතරින්. නිලංකට තරහ ගිහින් ඇති කියලා බයෙන් හිටියට මේ හිනාවෙන් පේන හැටියට නම් විභාග ආතතිය මලිත නැති කරලා.
“දිවුල් හැදුව පුතේ.බොන්න..”
මලිත අඬාගෙන ගෙදර ගිහින්වත්ද කියන සැකේ ඔලුවට රිංගා ගත්තත් සාරදා ඒ ගැන කෙලින්ම නිලංකගෙන් ඇහුවේ නෑ.
“මලිත ගියාද පුතේ?”
ඒ කතාව ඇහුණම නිලංක අම්මවත් එක්කගෙන ආපහු කාමරේට ගියා.ඊටත් පස්සේ දොර රෙද්ද අයින් කරලා මලිතව පෙන්නුවේ සද්ද කරන්න එපා කියලා අම්මට රහසින් කියන ගමන්.
මලිත නිලංකගේ ලැප්ටොප් එකේ චිත්‍ර අඳිනවා!!
“පුතාට වැඩ නැද්ද?”
සාරදා එහෙම ඇහුවේ නිලංක ඒ පරිත්‍යාගය කරලා තියෙන්නේ කේන්තියෙන් නෙවෙයිද කියලා දැනගන්න.නිලංක ලස්සනට හිනාවෙන ගමන් ආපහු මුළුතැන්ගෙයට ගියා.
“මලිත ලැප්ටොප් එක කඩන එකක් නම් නෑ.පුතාට පාඩම් වැඩ නැද්ද”
සාරදා ආයේම අහනකොට නිලංක කාමරේ පැත්ත බලලා හිනා වුණා.
“මලිත්තා චිත්‍ර අඳින්න හරි ආසයිනෙ අම්මේ.මං ලැප් එකෙ වැඩ කරනකොට හරි ආසාවෙන් බලන් ඉන්නව.මේකෙන් චිත්‍ර අඳින්නත් පුලුවන් කිව්වම ඇස් ලොකු කරලා ඇත්තද ඇහුවේ..”
එහෙම කියල නිලංක ටිකක් වෙලා නිහඬව හිටියා.
“අම්මට මතකද ඉස්සර ලොකු මාමලාගේ අයියගෙ කම්පියුටර් එක..”
සාරදාට ඒ කතාව අමතක වෙන්නේ නෑ.ඒත් ඉතින් ඕවා මතක් කරල මොකටද?
“මං ඉස්සර කසුන් අයියගෙ කම්පියුටර් එක අතගාන්න ගිහින් බැනුම් අහනව මතකද අම්මේ.අයියා බනින්නෙ හරියට මම මහ වැරැද්දක් කරා වගේ.ඒ කාලේ හතරේ පහේ ළමයෙක්ට කම්පියුටර් අරන් දෙන්න අම්මලට සල්ලි තිබ්බයැ.”
ආසාවට මේ මොකක්ද ඒක එබුවම මොකද වෙන්නේ අහන්න ගිහින් “කම්පියුටර් ගැන ඉගෙන ගන්න කලින් ඉංග්‍රීසි ඉගෙන ගන්නව”කියලා කසුන් අයියා බැන්න හැටි නිලංකට අමතක වෙන්නේ නෑ.
“කසුන් දැන්නම් එහෙ පොඩි උන්ගෙ කම්පියුටර් වල මොනව උනත් අරන් එන්නෙ ඔයා ගාවට..”
අම්මා එහෙම කියනකොට නිලංක අම්මා දිහා බලල හිනා වුණේ අතීතයේ දුක් කතා අමතක කරන්න වගේ.
“මලිත්තා දැන් දියසායම් නනා හිටියට ලොකු වෙලා ඩිජිටල් ආටිස්ට් කෙනෙක් වෙන්න බැරිත් නෑනෙ අම්මෙ.ඔහොම කම්පියුටර් එකක් අතපත ගාන්න හම්බුණාම ආසාව ඇති වෙනව.ඊටපස්සෙ හීන හදා ගන්නව..”
නිලංක එහෙම කියනකොට සාරදා නිලංකගේ ඔළුව ඉඹ ගත්තේ ආදරෙන්.
“ඒ කාලේ පුතාට කම්පියුටර් එකක් අරන් දෙන්න බැරුව මං ඇඬුවත් එක්ක..”
එහෙම කියනකොට සාරදාගේ ඇස්වලට අලුත් කඳුලක් ඉනුවා.
“අපි දේවිකා අක්කට එහෙම අඬන්න නොදී ඉමුකො අම්මෙ.මලිත්තාට දුක හිතෙන්නෙ මං එයාව පන්නා ගත්තනම්.. මං පාඩං කරනකොට මිදුලේ සද්ද කරනකොට බැන්නට මලිත්තගෙ ආසාවකට බැනල පන්නගන්න මට හිතක් නෑ..”
නිලංක එහෙම කියලා ආපහු කාමරේ පැත්තට යන දිහා සාරදා මහා ආදරයකින් බලාගෙන හිටියා.
සමහරවිට නිලංකට වඩා බොහෝ දුරකට මලිත අනාගතයේ යයි. එදාට නිලංකගේ ලැප්ටොප් එකේ චිත්‍ර ඇන්ද විදිය මලිතට අමතක වෙන එකක් නෑ.සාරදා එහෙම හිතන ගමන් අල හොද්දත් චිකන් කරියත් ලිප් දෙක මත තිබ්බේ එකම වෙලාවක.