කේන්දරය.

“ඔයා මොකක් හරි ප්‍රශ්නෙකද ඉන්නේ?”

දුලාජ් එහෙම අහනකොට හිරුෂි මොකුත්ම නොකියා ඈත බලාගෙන හිටියා.මුණ ගැසිය යුතු බවට හිරුෂි පණිවිඩයක් එවද්දී දුලාජ් පුදුම වුණත් නෑවිත් හිටියේ නෑ.හිරුෂිට කවදාවත්ම නෑ බෑ නොකියපු අතීතය මඟ හැර ගන්න දුලාජ්ට අපහසුයි.

“ප්‍රශ්න නැති මිනිස්සු නෑ නේද?”

එහෙම කියලා හිරුෂි හිනා වුණත් දුලාජ් ආපස්සට හිනා වුණේ නෑ.

“අම්මාට පිටුපාන්න මට බෑ..මං එක්ක තරහ වෙන්න එපා..”

හිරුෂි එහෙම කියමින් හැඬුවේ මේ අවන්හලේදිමයි.ඒ මේ මේසයේදිමද කියලා මතක නැතත් ඒ දවස දුලාජ්ට අද වගේ මතක දවසක්.

“අපි සයන්ස් ඩිග්‍රි ගත්තු මිනිස්සු.කේන්දරේකට ජීවිතේ පාවා දෙන්න අපට බෑ හිරූ..”

දුලාජ් අයදිනකොට හිරුෂි ඉකි ගහමින් අඬපු හැටි ඔහුට අමතක නෑ.ඇය අඬනවට අකමැති නිසාම එදත් ඔහු හිටියේ කැළඹීමෙන්.ඇය නාඬා දුක දරාගෙන ඉන්න හැටි ඔහු අදත් බලාගෙන හිටියේ වේදනාවෙන්.

“කේන්දර මොනව වුණත් අපේ අම්මට ඉන්නේ මං විතරයි..”

හිරුෂිට තිබුණු තර්කය අවුරුදු පහක ආදර කතාව දිය කරලා දැම්මා.හිරුෂි මනමාලියක් වුණු ඡායාරූප දිහා සිහියෙන් නොබලා අසිහියෙන් බලද්දී පවා ඇයව ලස්සනට පෙනුණු හැටි දුලාජ්ට අමතක නෑ.ඒ ලස්සන තාමත් හිරුෂි ළඟ තියනවද කියලා දුලාජ් හිතුවා

“කේන්දරේ ගැළපෙන නිසා දැන් ඔයා සතුටින් ඇතිනෙ..” හිරුෂිගෙන් අහන්න දුලාජ්ට හිතෙනවා.ඒත් ආදරේ කරපු හිතක් රිද්දන්න තරම් දුලාජ්ට හයියක් නෑ.අම්මාගේ කැමැත්තට ඉඩ දෙන්න හිත හදාගන්න හිරුෂිට සිද්ධ වුණේ වෙන කරන්නම දෙයක් නැති තැන කියලා හිතෙනකොට දුලාජ්ට කියන්න දෙයක් කල්පනා වෙන්නෙත් නෑ.

“මට ජීවිතේ ගැන තියෙන්නේ හිස් හැඟීමක්..”

දුලාජ් මොකුත් නොකියා හිරුෂි දිහා බලාගෙන හිටියා.මේ චිත්‍රපටියක් නෙවෙයි සැබෑ ලෝකය කියලා දුලාජ් දන්නවා.නැත්නම් හිරුෂිට සේරම දේවල් අමතක කරලා තමන් ළඟට එන්න කියන්න තිබුණා.හැබැයි සමහර වෙලාවට චිත්‍රපටියක් වගේ තීරණ ගත්තට වරදක්‍ වෙන්නෙත් නෑ.

මේ බොහොම කෙටි ජීවිතයක්.හිත් කඩාගෙන බිඳගෙන ජීවිතේ ගෙවලා දානවට වඩා ලෝකෙට කතන්දර කියන්න ඉඩ දීලා තමන්ට හරි දේ කරාට වරදක් තියනවද?

“අම්මල මට ඔයාව බඳින්න නොදුන්නේ මගේ ජීවිතේ ආරක්ෂා වෙන්න..”

හිරුෂිගේ හිනාව ඉස්සර තරම් ලස්සන නෑ කියලා දුලාජ්ට හිතෙන්න ගත්තා. දුක ඇස් මත්තේ ලියවෙනකොට සමහර ගෑනු වැඩිපුර හිනා වෙනවා කියලා කොහෙද තැනකින් කියවපු හැටි ඔහුට මතක් වුණා.හිරුෂි ඉස්සරට වඩා හයියෙන් හිනා වෙන්නේ දුක වහගන්න වෙන්න ඇති.

“ජීවත් වෙනවා කියන්නේ කොහොමහරි පණ ගැටගහගන්න කියලා තමයි අපේ අම්මල හිතන්නේ.”

ඒ කතාව අම්මලාගේ පැත්තෙන් ගත්තාම වැරදි නෑ.තමන් උස් මහත් කරලා හදපු දරුවන් තමන්ට කලින් මේ ලෝකෙන් යනවට මොන අම්මා තාත්තා උනත් බයයි.ඒත් ලෙඩක් දුකක් පේන මානෙක නැතුව අනාවැකි කියන කේන්දරයකට රැවටෙන එක මොනතරම් වැරදි වැඩක් ද?

“කේන්දර කාරයින්ට අනාවැකි කියන්න පුළුවන් උනා නම් අපේ රට මෙතැනම තියෙන්නෙ කොහොමද?”

දුලාජ් එහෙම කියලා හිනා වුණේ අඬන්න බැරිකමට.

“සමහරවිට එහෙම සාස්තරයක් ඉස්සර ඇත්තටම තියෙන්න ඇති.හැබැයි දැන් මිනිස්සු ගොඩක් දේවල් කරන්නේ තමන්ගෙ වාසියට.තමන් ළඟට සෙනඟ පුරවා ගන්න බොරු කියන මිනිස්සු තමයි දැන් හැම තැනකම ඉන්නේ ..”

එදා මේ මොන තර්කයක්වත් වැඩකට ගන්න බැරි වුණා.නොදන්නා අනාවැකියක් නිසා ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වුණු හැටි හිරුෂිට අමතක කරන්න බෑ.

“දැන් සේරම වෙනස් වෙලා ඉවරයි..”

ඒත් ජීවිතය තියෙන්නෙ එහෙම ලේසියෙන් පරාද වෙන්න නෙමෙයි.

“ඔයාට තියෙන්නෙ ආයෙම සටන් කරන්න.කලින් පාර සටනක් නැතුවම දිනුම දුන්න නිසා මේ පාර සටන් කරලා බලන්න..”

හොඳම මිතුරිය දවසක් මෙහෙම කතාවක් කියපු හැටි හිරුෂිට මතකයි.නමුත් කේන්දරයකට බයෙන් පලා ගිය ආදරයක් දුලාජ් ආයෙම භාර ගනීද?

“මොන දේ මොනවා වුණත් මිනිස්සු තමන්ගේ ජීවිතයට ආදරෙයි.ඔයා උනත් කේන්දර අනාවැකියට බය උනා.ඊට පස්සේ කේන්දරේ හරියටම ගැළපුණු මනුස්සයෙක්ව බැඳගෙන දැන් නොමැරී මැරෙනවා..ආදරය කරන අවංක මනුස්සයෙක් ලඟ ජීවත් වෙලා දවසකින් මැරිලා ගියත් කමක් නෑ හිරු..ඒත් රැවටිලි කාරයෙක්ට අහුවෙනවා කියන්නේ සදහටම මැරි මැරී ජීවත් වෙනවා කියන එකයි..”

මිතුරිය ඒ වගේ දේවල් නොකිව්ව නම් හිරුෂී අද මේ ගමන නොඑන්න තිබුණා.

“දුලාජ් එක්ක කසාදෙන් පස්සේ මැරෙනවට බය වුණානම් ඔයාට ඇත්තටම කරන්න තිබුණේ සදහටම තනියම ඉන්න එක..නැත්තං හදිසියේ රැවටිලි කාරයෝ තෝරාගන්න අම්මලාට ඉඩ නොදී කාලෙට ඉඩ දීලා හොඳ කෙනෙක් තෝරගන්න..”

මිතුරිය ඒ වගේ කාරණා කියනකොට තමන්ට වැරදුනු තැනක් තියෙනවා කියන එක හිරුෂිට තේරෙන්න පටන් ගත්තා.තමන්ගේ යහපත වෙනුවෙන් තමන්ගේ අම්මා වෙනුවෙන් අත් හැරපු ආදර කතාව ආයෙම ලැබෙයිද කියලා හිරුෂි දන්නේ නැහැ.

“බොරුවට දුක්විඳින එකේ තේරුමක් නෑ.මම හින්දා අප්‍රමාණව දුක් විඳපු ඔයා ආයෙම මාව බාර ගන්න ඕනේ කියලා මම කියන්නෙත් නෑ…ඒත් මම ආවේ මම තවදුරටත් ඒ කසාදෙ ඉන්න එකක් නෑ කියන්න.තමන් රැවටෙනවා නම් දුක් විඳිනවනම් එතනින් අයින් වෙන්න ඕනි කියන පාඩම දැන් මං ඉගෙන ගෙන ඉවරයි..”

හිරුෂි එහෙම කියද්දී දුලාජ් ඇය දිහා බැලුවේ පුරුදු ආදරෙන්..”

“මම ඔයාට දෙයක් කියන්නද?”

ඔහු හදන්න සමහරවිට තමන්ට දෝශාරෝපනය කරන්න වෙන්න ඇති කියල හිරුෂිට හිතුණා.

“අපේ ජීවිත විනාශ කරන්නේ කේන්දර නෙමෙයි.අපි වටේ ඉන්න මිනිස්සු.ඔයාලා අපට ආදරේ කියලා කරන සමහර දේවල් වලින් අපේ ජීවිතවල හදන්න බැරි කැලැල් ඉතුරු වෙනවා..”

ඒ කතාව මොන තරම් ඇත්තක්ද කියලා හිරුෂිට හිතුණා

More Stories

Don't Miss


Latest Articles