“මම එහෙම කරන්න හිතුවේ ඔයාගේ විඳවිල්ල බලාගෙන ඉන්න බැරිකම නිසා..මෙහෙම කුණාටුවක් එයි කියලා මම කීයටවත් ම හිතුවේ නෑ..”
උවනි ඉතා වේදනාවෙන් පැවසුවේ ඒ මොහොතේ ම මා බලන්නට පැමිණි පසුව ය.දෙනෙත් මා හමු වන්නට යන බව පමණක්ම ඇයට පවසා තිබිණ.උවනි එතැන් සිට ආනන්දයකින් පසු වූ බව ඇය පැවසුවා ය.
“මම කියපු දේවල් අහල මට දෙනෙත් දීපු එකම රිප්ලයි එක,මං ගිහින් හසරැලි මීට් වෙන්නං කියලා..මං හිතුවේ එයා ඇවිත් ඔයාට ආදරෙයි කියයි කියලා.මං ඔයා අඬාගෙන කෝල් කරනකොටත් හිතුවේ සතුට දරා ගන්න බැරුව කියලා..”
උවනිගේ දෑසට මගේ ඇස්වල තෙත බෝ වී තිබිණ.මට ලැජ්ජාව සහ අහිමි වීම දරා ගන්නට නොහැකි නොවේ.නමුත් මට දරා ගන්නට නොහැකි වූයේ ඔහුට පෙර ඉක්මන් වී මා ඔහු අහිමි කරගත් වේදනාව ය.එය ඉක්මන් කොට වීමකි. ඉතා ඉක්මන් තීරණයක් මට මගේ වසර ගණනාවක ඒක පාර්ශවික ආදරය මට අහිමි කර තිබිණ.
“අයියට කතා කරයි දෙනෙත්.මං හසරැල් අයියට කියන්නම් ඒක මමයි යෙත්මියි කරපු ජෝක් එකක් කියල.අපි ඔයාට ලැජ්ජා වෙන්න දෙන් නැහැ.”
උවනි මට පිළිණ දුන්නා ය.නමුත් මට එය අයියා දැනගත්ත ද ගැටළුවක් නොවේ.අයියා සමඟ මගේ රහස් ඇත්තේ නැත.ඔහු මගේ ඔසප් දවස් පවා දැන සිටියේ ය.මට පහසුව සැලසුවේ ය.මා ආදරය කරන්නට ගත් දවසක ඒ සම්බන්ධයෙන් මුලින්ම ඔහුට පැවසීමට මම සිතා සිටියෙමි.එනිසා මගේ ආදරය ගැන දෙනෙත් ඔහුට මොනවා පැවසුව ද මට එය එතරම් ගැටලුවක් නොවේ.
“මට කමක් නැහැ මොනව කිව්වත්..”
මම මුරණ්ඩු තාලයකින් මිමිණීමි.නහය ලඟටම ගැලීමෙන් පසු තවත් යට වන්නට සිදුවීම ගැන මට වේදනාවක් නොදැනිණ.මගේ ඒක පාර්ශවික ප්‍රේමය හිම කන්දක් මෙන් මිදී තිබුණු බව මට වැටහුණේ ඒ සිදුවීම නිසා ය.දෙනෙත් චණ්ඩ හිරු රැස් දහරක් වගේ හිම කන්ද මතට ඇද වැටිණ. දැන් මා දියව යන්නට පටන් ගෙන ඇත.හසරැල්ල කඳුලැල්ල වන්නට දෙනෙත් හේතුවක් වන බවට යෙත්මි අනාවැකි කියූ අන්දම මට මතක ය.
මේ සිදුව ඇත්තේ එය නොවේද?
“ප්‍රතික්ෂේප කරන්න ඕන විදිහක් තියෙනවා.ඒ කතාව කිව්වේ ඔයා.එහෙනම් ඒ යකා ඒක කියන්න ඕනෙත් ඔයාට ඒ නැතුව මෙතන ඇවිල්ලා හසරැලිට බැනලා වැඩක් නෑනේ..”
යෙත්මි ඉතා තදින් කෝපවී හුන්නා ය.හදවතේ මෙතෙක් කල් පැවතුණේ උසුලා ගත නොහැකි අන්දමේ බරකි.දැන් එය දරුණු තුවාලයක් බවට පත්වී ඇත.මට මා අහිමි වෙමින් පවතින වග මට දැනේ.නමුත් මට මා යළි නුවුමනා බව ද මට සිතේ.
“කෝ පුතේ දෙනෙත්?”
සචිර අයියා අපේ ගෙදරට පැමිණෙන කිසිම වාරයක දෙනෙත් නොපැමිණෙන නිසා අම්මා ඇසුවා ය.
“වැඩ ගොඩයිලු ආන්ටි.එක්සෑම් එකක් ළඟයි මගේ හිතේ..”
සචිර අයියා පවසන අන්දමට ඔහු කිසිත් නොදන්නා හැඩකි.මට පූච්චානම් කීවාට දෙනෙත් අපේ අයියාට ද කිසිවක් ම පවසා නැති බව මට වැටහිණි.
“මම ඉස්සො කරියක් හදලා තියෙනවා.දෙනෙත් හරි ආසයිනේ.යනකොට ටිකක් අරගෙන යන්න පුතේ..”
අම්මා එය එතීම බාර කළේ මට ය.මම එය නෑසුනා සේ සිටීමට උත්සාහ කළෙමි.මට දෙනෙත් අමතක කරන්නට ඕනෑ වුව ද එය අපේ නිවස තුළ කිරීම පහසු නොවේ.ඒ නම අපේ නිවසේ නිතරෝම කියවෙන නමකි.
“මේ ළමයට මෙලෝ සිහියක් නෑ.මම අර දෙනෙත්ට කරි එකක් පාර්සල් කරන්න කිව්වා නේද?”
අම්මා උස් හඬින් මට බනිද්දී මම නෑසුකන්ව හුන්නෙමි.වෙනදා එකට එක කියන සූකිරි අද කිසිවක්ම නොපැවසීම අම්මාට එතරම් ගණනක් නොවිණ.මදෙස අනුකම්පා බැල්මක් හෙළූ මම්මා ඒ කටයුත්ත බාර ගත්තා ය.දෙනෙත් අපේ නිවසට ආ අන්තිම දවසේ මා සමඟ විනාඩි කිහිපයක් කතා කර ගෙමිදුලෙන්ම හැරී ගිය බව ඇය දනියි.නමුත් එදා ඇය මගේ කඳුළට හේතුව පවා නෑසුවා ය.ඈ යමක් සැක කරන බව මම දනිමි.නමුත් ඇය මගෙන් ඒ ගැන ඇසුවේ ද නැත.
දෙනෙත් ඇති කළ ගින්නෙන් මම දැවෙමින් පිළිස්සෙමින් සිටියෙමි.ඔහු මා ගලක් බවට පත් කර අවසන් ය.ඔහුට මා ප්‍රතික්ෂේප කිරීම එතරම් රළු ලෙස කරන්නට නොතිබූ බව සිතෙද්දී මට හදවතේ වේදනාව උත්සන්න වූයේ ය.නමුත් නාඬා සිටිමින් මටම රිදවා ගන්නට මට ඕනෑ විය.ඒ ගැන මගෙන් කිසිවෙකුත් කිසිවක්ම නාසා සිටීම මට සහනයක් විය.නමුත් කෙනෙකු ඒ සිදුවීම දන්නා බවත් මගේ වේදනාව ගැන මට වඩා කම්පා වෙන බවත් මට වැටහුණේ හදිසියේ ය.