හිමගිරි අරණ -71

විවාහයක් එපමණකට සරල වේදැයි හිමාෂා සිතුවා ය.අතීතයේ දවසක සහන් සමඟ විවාහ වන්නට මොනතරමට සැරසෙන්නට වූවාදැයි ඇයට අමතක නොවේ.නමුත් මේ වතාවේ එවැනි කිසිම සූදානමක් නොවේ.

“අම්මා කෙනෙක්ගෙ අකමැත්තෙන් කසාදෙකට කැමැත්ත දෙන්න මට බෑ පුතේ.ලොකු දුවට කොහොමටත් දුක් දරාගෙන පුරුදුයි.ඔය දරුවා මේ අදහස වෙනස් කර ගත්තොත් මොකද?”

එසේ අසන්නට හිමාෂාගේ අම්මාට සිදු වූයේ රවිඳු තමන්ගේ නිවසේ සැබෑ තත්ත්වය හෙළි කළ නිසා ය.එහෙත් රවිඳු මෘදු මන්දස්මිතයක් දරමින් ඒ කතාව අසා සිටියා ය.

“එයාගෙ අතේ කිසිම වරදක් නැතුව හිමාෂා දුක් උහුලන්නයි දරා ගන්නයි ඕන නෑ අම්මා.දිනාරාට වුණත් තාත්තා ඉන්නේ වෙන ගෙදරක,එයාගේ තාත්තා වෙන පවුලක් එක්ක බෙදා ගන්න වෙනවය කියන හැඟීම ඒ තරම්ම දැනෙන්න නරකයි.මගේ තීරණය වෙනස් කරන්න උවමනාවක් දැනෙන් නෑ.”

රවිඳු පැහැදිලි හඬින් කියද්දී දියණියගේ අනාගතය ගැන හදවතේ තිබූ බර අම්මා බිමින් තැබුවා ය.ඇය තනි වූ බවත් ඇය අසරණ වූ බවත් සිතමින් දුක් ගත් අතීතයට සමු දෙන්නට හැකි වීම ගැන ඇය රවිඳුට ස්තූතිවන්ත වූවා ය.

“දික්කසාද වෙනව කියන්නෙ ගෑනු කෙනෙක් තනි වෙනව කියන එක නෙවෙයි අම්මා.තමන් උහුලන කරදර පොදිය බිම තියන්න එයාට හයියක් තියනව කියන එක.ඇත්තටම අසරණ වෙන්නෙ ඒ කරදර පොදිය ඔලුවෙ තියන් හිටියනම් තමයි.ඒ නිසා මම අසරණ ජීවිතයක් බාර ගත්තා කියල හිතන්න නම් මම ආස නෑ.ජීවිතේ ගැන වැනෙන්නෙ නැති තීරණ ගන්න පුලුවන් කෙනෙක් ළං කරගත්තා කියන සතුට විතරයි මට තියෙන්නෙ.”

ජීවිතය තුළ යම් ගිලිහීම් සිදු වූ ගැහැනියක් ජීවිතයට අලවා ගත් පසු අවලංගු කසියකට වටිනාකමක් දුන් පරිද්දෙන් කියවන පිරිමින් ඕනෑතරම් දැක ඇති හිමාෂාගේ අම්මා මේ තරුණයා දෙස බලා සිටියේ පුදුමයෙනි.ඔහු මෙතරම් ඉහළ ජීවන දර්ශනයක් ඇත්තෙකු වීමම සතුටකි.සැනසීමකි.

“ආපහු වෙඩින් එකක් ගන්න මට උනන්දුවක් නැත්තෙ හිමාෂා ආයේ පෝරුවට නගින්න ඕන නෑ වගේ විකාර මත හින්දානම් නෙවෙයි අම්මෙ.මේක අපි දෙන්නගෙම තීරණයක්.අපි ඉතුරු කරගෙන ඉන්න සල්ලි එක දවසකට නාස්ති නොකර ඊළඟට කරන්න තියන දේවල් වලට වෙන් කරන්න කියල හිතුවේ.”

තමන්ට කතා කරන්නට කිසිවක්ම ඉතිරිව නැතැයි හිමාෂාට සිතේ.රවිඳු කළ යුතු සහ කළ හැකි සියල්ලම පහදමින් ද විස්තර කරමින් ද සිටියි.ඉතා ඉක්මන් විවාහය ගැන දැනුණු මඳ චකිතය පවා නැති වී යන්නේ පුදුමාකාර ලෙසක ට ය.

“අද උයන්නෙ මං.කාලා යං හොඳේ අයියා.”

සාලයට එබුණු අමායාගේ අත හැන්දක් ද වේ.ඇය දෙස බලා සිටි හිමාෂාට සිනාවක් ඉපදිණ.

“අනේ හොඳයි.යූ ටියුබ් රෙසිපි ගාණක් මොනතරම් විකාර රහයිද කියලා දැන් ඔයාටම දැන ගන්න පුලුවන්.”

ඇය රවිඳුට පැවසුවේ සිනාවතකිනි.නමුත් මේ පවුල ඔහු පිළිගන්නා තරම් ආදරයකින් ඔහුගේ පවුල තමන් නොපිළි ගැනීම ගැන සිහි වෙද්දී ඇගේ හදවතේ සිහින් රිදුමක් ඇති වේ.

“අපේ අම්ම කොයි වෙලාවක හරි ඔයාව මුණ ගැහෙන්න එන්නත් පුලුවන්.මගෙ ට්‍රාන්සර් එක කොයියම්ම වෙලාවක හරි හරිගියාම ඔයා එතන තනියම.අම්මා ඇවිල්ල හිත අවුල් කරාම ඒකට මූණ දෙන්න වෙන්නෙ ඔයාට තනියම.ඒත් ඔයා එහෙම හිත අවුල් කරගන්න අවශ්‍ය නෑ.ඔයා මට හානියක් කරේ නෑ,මාව රවට්ටා ගත්තෙ නෑ කියල ඔයාගෙ හෘද සාක්ෂිය දන්නව.එච්චරයි.”

අම්මා කෙනෙකු තමන්ගේ දරුවාගේ ජීවිතය සම්බන්ධ කාරණා කියමින් තමන් වෙතට පැමිණියහොත් එය දරා ගැනීම ගැන සිතන්නටවත් හිමාෂා නොකැමති ය.නමුත් එයට මුහුණ දීමට හිත හදා ගත යුතුම වේ.

“අපි කවද්ද අලුත් ගෙදරට යන්නෙ තාත්තෙ?”

දිනාරා මුළුතැන්ගෙයි සිට රවිඳු වෙත ආවේ සුළි සුළඟක වේගයෙනි.ඒ නෑකම ඈ වෙත පැමිණියේ කොහෙන්දැයි හිමාෂා පුදුම වූවා ය.රවිඳු මාමා අලුත් තාත්තා වීමේ පාඩම දියණියට උගන්වන අන්දම ඇය දසදහස්වර සිතා තිබේ.නමුත් ඇයට එය තෝරා ගැනීම පහසු වූයේ නැත.

“මං මෙයාගෙ කොන්ඩෙ කැපුව.”

ඇය තාත්තාට පළමුවැනි පැමිණිල්ල සිදු කළා ය.රවිඳු අතින් තෑගි ලැබු බෝනික්කා පැයක් යන්නට පෙර තට්ට හිසක් උරුම කරගෙන හිඳියි.රපුන්සල් පන්නයේ බෝනික්කාට සිදුව ඇති ඉරණම දුටු රවිඳුට උස් සිනාවක් නැඟිණ.ඔහු දැරියගේ සිනිඳු කෙහෙරැළි අවුල් කළේ ඒ සිනාවෙන් ය.

“ඒ වුණාට කමක් නෑ මේ කොණ්ඩෙ එහෙම කපන්න ඔට්ටු නෑ හොඳේ.”

එහෙත් හිමාෂාට ඇත්තේ වෙනත් ගැටළුවකි.ඇගේ ප්‍රශ්නයට දිනාරා ළඟ පැහැදිලි පිළිතුරක් වූවා ය.

“මේ තාත්තා කියලා පුංචි තමයි කිව්වෙ.”

ඒ කතාව ඇසූ රවිඳුගේ සිනාව අලුත් වූයේ ය.තාත්තා යැයි තමන්ට ආමන්ත්‍රණය කර ගැනීම වෙනුවෙන් දිනාරා මෙහෙයවන අන්දම ගැන ඔහුට බොහෝ සැලසුම් තිබිණ.එහෙත් අමායා ඉතා පහසුවෙන් ඒ ගැටලුව විසඳා තිබේ.තමන්ගේ ලෙයින් උපන් දරුවා ගැන කිසිම හැඟීමක් නොමැති සහන්ට වෛර කරන්නට සෑම දවසකම මිනිත්තු කිහිපයක් හෝ වෙන් කරන ඇගේ පලි ගැනීම සර්ව සම්පූර්ණ වී තිබේ.

“මං ඔයාගෙ තාත්ත තමයි.ඒ වුණාට පුතාගෙ අනිත් තාත්තා ඉන්නෙ ඈත ගෙදරක.එහෙ පුතාට තාත්තෙක් වගේම නංගි බබෙකුත් ඉන්නව.”

දිනාරාට ඒ කතාව එපමණ පැහැදිලි නොවී ය.රවිඳු හිමාෂා වෙත හැරුණේ එනිසා ය.

“තෝරාගන්න ඕන මමද සහන් ද කියලා එයාම දවසක තීරණෙ කරපුවාවෙ.එතකන් අපි කිසිම දෙයක් බලෙන් එයාට දෙන්න ඕන නෑ.අපි වයසට යනවා.දූ ලොකු වෙනවා.එයාගෙ ඇත්ත තීරණේ වෙනුවෙන් අපි බලන් ඉමු.”

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles