හසරැලි වැස්සේ -16

එදින මට කොහොමටත් යහපත් දවසක් නොවී ය.දෙනෙත් ආපසු යන්නට ගිය පසු අයියා මගේ කාමරයට පැමිණියේ ය. හිත හදා ගන්නට කොරියන් ටෙලි නාට්‍ය මලාවක් බලමින් සිටි මා ඔහු දෙස බැලුවේ ඕනෑවට එපාවට ය.

“දෙනෙත් මොනවද කිව්වේ?”

එය අමුතු පැනයකි.අයියා නෑසිය යුතු ප්‍රශ්නයකි.මම ඔහු දෙස නුරුස්නා බැල්මකින් බැලුවෙමි.

“එහෙම අහන්නේ ඇයි?”

මා එසේ අසද්දී අයියා මවෙත නපුරු බැල්මක් හෙළී ය.මම කොරියන් තරුණයාගේ කඩවසම් රූපය දෙසට නෙත් යොමා අයියාව නොසලකා හැරියෙමි.

“නිකං කතා කරේ..”

Lovers of the red sky කතා මාලාවේ ප්‍රේමවන්තයන් රත් පැහැ අහස මත ප්‍රේමයෙන් හිඳින මොහොතක් වෙත ඇස අලවාගත් මට අයියාගේ මේ අහඹු කඩා වැදීම හිරිහැරයකි.මම එය ඔහුට හඟවන්නට ලැප්ටොප් තිරය වසා දැමීමි.අනතුරුව ඔහු වෙත අප්‍රියජනක බැල්මක් හෙළීමි.

“ඇයි අප්පා..නිකං කතා කර කර හිටියේ.ඔයා වෙනදත් එහෙම අහනවයැ..”

අයියා කිසිත් නොකියා සිටියේ ය.මම ඉන් ජවයක් ලැබීමි.මා දැන් කුඩා කෙල්ලක නොවන බව ඔහු වටහා ගත යුතු වේ.එය ඔහුට අමතක නම් සිහිපත් කර දීම මට අයත් කාර්යයකි.

“අනික එහෙම අහන්න ඕනත් නෑනෙ.දැන් යෙත්මියි උවනියි මෙහෙ ආවම ඔයාට කතා කරන්නෙ.මං අහනවයැ ඒ ගැන..සචිර අයියා මාත් එක්ක වරු ගණන් කියවන්නෙ.”

අයියා මවෙත හෙළුවේ නපුරු බැල්මකි.ඔහු මට එවැනි බැලුම් නොහෙළෙන තරම් නිසා මම බියට පත් වීම්.නමුත් ඒ බිය නොපෙන්වා හිඳින්නට සිතුවෙමි.

“ඒවයි මේවයි සමාන නැති නිසා ඇහුවේ.ලස්සන නංගිලා ඉන්න ගොඩක් කොල්ලො යාලුවෝ ගේ අස්සෙ දාගන් නෑ.ඒ වුණාට මං සචිරටයි දෙනෙත්ටයි මෙහෙ එන්න අරින්නෙ මට උන් විශ්වාස නිසා.ඒ වගේම ඔයාවත් මට විස්වාස නිසා සූකිරි..හැබැයි මගේ විස්වාසේ බිඳෙන දෙයක් වෙනවනම් මට පේනව..”

මගේ හදවත පීඩාවට පත් කරන ඒකපාර්ශවික ප්‍රේමය ගැන අයියාට දෙමිතුරියන් කේලම් කියා ඇතිදැයි මම කෝපයෙන් සිතීමි.නමුත් අයියාම මට පිළිවදන් දුන්නා ය.

“කොල්ලෙක් වෙනුවෙන් කෙල්ලෙක්ගෙ ඇස් දෙකේ ඇඳෙන ඒවා කියවගන්න මට බැරි නෑ සූකිරි.හැබැයි ඔයාගෙ ඇස්වල ඒ කතා දෙනෙත් වෙනුවෙන් ඇඳෙන්න බෑ..”

එය ඕනෑම වැඩිමහලු සහෝදරයෙකුට කළ හැකි අන්දමේ තර්ජනයකි.ඒවාට නොසැලී හිඳින්නට මා අසලින් දෙනෙත් සිටියා නම් යැයි මට එක්වරම සිතිණ.නමුත් මා සිටියේ හොඳටෝම බියපත් ව ය.

“ඇයි ඒ? එයා දුප්පත් නිසා ද?”

මගේ කට මගේ මොළයට පෙර ඉක්මන් විණ.සෑම යුවතියකම තමන්ගේ ප්‍රේමය වෙනුවෙන් සටන් වදින බව මම දනිමි.නමුත් ඒකපාර්ශවික ප්‍රේමයක් වෙනුවෙන් සටන් කිරීමේ පලක් ඇතිදැයි මට නැවත නැවත සිතෙන්නට පටන් ගෙන තිබිණ.

“මිනිස්සු දුප්පත් කියල පහත් කිරිල්ලක් මගේ නෑ.මල විකාර කියන්න එපා.මම තමුන්ගේ අයිය සූකිරි.තමුන් ගැන මට ලොකු වගකීමක් තියනවා..”

අයියා නොකියා හිඳින කාරණාවක් ඇති බව දැනෙද්දී වඩවඩාත් මුරණ්ඩු වීමට මට සිතිණ.ඒ අම්මා මට බැන වැදීම නිසා ඇති වූ මානසික කම්පනය නිසාදැයි කියන්නට මා නිවැරදිව දන්නේ නැත.නමුත් අයියා හා දබර කරන හදිසි හිතක් මට හට ගෙන තිබිණ.එහෙත් මා පැවසුවේ කියන්නට මුව විවර කළ වචන නොවේ.අයියාගේ දෑසේ කෝපයට යටින් ඇඳී තිබූ ආදරය මට සත්‍යය පවසන්නට බල කරන්නට ඇත.

“එයා මට කැමති නෑ අයියේ…”

කුඩා කාලයේ කිරිපිටි බෝතලය හොරා කමින් සිටියදී අයියා මුළුතැන්ගෙය දොරකඩින් මතු වෙද්දී කට වටේ කිරිපිටි නාගෙන සිටි සිඟිති සූකිරි මට සිහි විණ.මා දැන් පත් වූයේ ද ඒ සිඟිත්තිය පත් වූ තරමේ ලැජ්ජාවකට ය.නමුත් මට ලැජ්ජා වීමට අයියා ඉඩ නොතැබී ය.ඔහු මා වැලඳ ගත්තේ ය.

“ඒක එහෙමම වුණාවෙ.මම කියන්නේ හේතු ඇතුව.කැමති බව අඟවන්නත් එපා..මමයි සචිරයි දෙනෙතුයි කියන්නේ තුන්දෙනෙක් සූකිරියෝ..හැබැයි එතනිනුත් දෙනෙත් කියන්නේ වෙනමම කෙනෙක්..”

අයියා එපමණක් කියා නික්ම ගියේ ය.ඔහු මගේ ප්‍රේමය ඉපදෙන්නට ද පෙර මරා දැමූ බව හැඟෙද්දී මම ඉකිලමින් වැළපෙන්නට පටන් ගතිමි.ලෝකයේ සෞන්දර්යාත්මක බව නොදැකම මගේ ප්‍රේමයට මිය යන්නට ඉඩ නොදිය යුතු බව සිතමින් දුක් ගනිමින් මම හඬමින් සිටියෙමි.

අනෙක් කොටස්

More Stories

Don't Miss





Latest Articles

හසරැලි වැස්සේ -36

"මෝඩ විදියට හැසිරුණු කාලේ නම් හැදෙයිද කියලා අපි ඉවසගන බලාගෙන හිටිය.ඒ උනාට දැන් වැඩ කරන්නේ මහම මහ ගොබ්බ විදියට.."

(අ)හිමි සිහින -19

සංසාරගත බැඳීමක් බව සිතූ ප්‍රේමය හැරදා පැමිණි පසු මම අසංකට ආදරය කළාද කියලා ඔයාලාට හිතෙනවා ඇති.අම්මට තාත්තට අසංක සැලකීම ගැන ඇතිවෙන්න තරම්...

සඳ කත් මිණි ඇස් 15

සූර්යා දැන් භුක්ති විඳිනා නිදහස ඇගේ යෞවනයේ දී නො ලැබුණ එකකි. ඇය දෙමව්පියන් ගේ දැඩි නීති රීති හා පාලනය යටතේ හැදුණ වැඩුණ...

හසරැලි වැස්සේ – 35

"මම්මේ…."රෝහල් කාමරයේ ඇත්තේ පාළු ස්වභාවයකි.මට මම්මා සමග එක්වී අතීතය දිග ඇවිද යාමට සිත් විය.මා වෙනුවෙන් තේ සාදමින් සිටි...

(අ)හිමි සිහින -18

යුද්ධය නිසා ජීවිතය අහිමි විය හැකි, ආබාධිතයකු බවට පත් විය හැකි, තමන්ගෙ මහන්සියෙන් උපයා ගත් දෙයක් මිසක ඒ තරමට දේපල නැති සුදාරක...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content