මේ මිනිස්සු මහ නරකයි..”
දිලානි එහෙම කියලා දුරකථනය මේසේ උඩින් තිබ්බේ සද්දෙට.එයා ළඟම වාඩි වෙලා හිටිය මාලතී හිස ඔසවලා බැලුවේ පුදුමයෙන්.
“ඇයි…මොකෝ වුණේ?”
දිලානිට ඉන්නේ පුංචි දුවෙක්.එයා නිසා දිලානි සමහර වෙලාවට පුංචි දුව නිසා ඕනෑවටත් වඩා කලබලයට පත් වෙනවා.මේ එහෙම අවස්ථාවක් කියලා මාලතීට හිතුණා.
“ෆේස්බුක් ගෘප්ස් වල ඉන්නේ මහ යක්ෂණියො වගේ ගෑනු..”
දිලානි කියන්නේ කඳුළු පිහින ගමන්.මාලතී දිලානි දිහා විමසිල්ලෙන් බැලුවේ එහෙම කෑගහන්න හේතුවක් හිතාගන්න බැරි නිසා.
“මට අපේ චූටිව සිරීපාදේ එක්ක යන්න ආස හිතුණා..”
දිලානි කියන්නෙ මුහුණ නරක් කරගෙන.මාලතී මීට අවුරුද්දකට දෙකකට කලින් ශ්‍රීපාදස්ථානය වඳින්න ගිය ගමන ගැන සිහි කළා.ඒ ගමන ලේසි නෑ.ගිරි දුර්ගයක් මුදුනට අසීරුවෙන් ගිහින් ආපහු බහිනකොට මාලතීට දැනුණේ හරි වෙහෙසක්.ඒත් ඒ ගමන සුන්දරයි.නමුත් දිලානිගේ මාස ගාණක පුංචි දූට ඒ ගමන දැනේවිද?
“මම මහ මෝඩ අම්මෙක් කියලා හැමෝම මට බනිනව..”
දිලානිගේ මූණ රතු වෙලා.ඒ රත් පැහැය කේන්තිය වෙනුවෙන් ද දුක වෙනුවෙන් ද කියල පැහැදිලි නැතත් ඇයව සන්සුන් කළ යුතු බව මාලතී තීරණය කළා.
“මේ වගේ අසනීප කාලෙක දුව අරන් එහෙම ගමනක් යන්න මට පිස්සුද කියල හැමෝම අහනව..”
දිලානි කියන්නේ තරහින්.
“ඒ කතාව බොරුවකුත් නෙවෙයි දිලූ..”
මාලතී බොහොම ප්‍රවේසමෙන් එහෙම කිව්වා.ඊටත් පස්සේ ඒ ගමන තරමක් දුෂ්කර එකක් කියලා දිලානිට පැහැදිලි කළා.
“මේ කාලේ සෙනඟ සෑහෙන්න ගැවසෙන තැන්වල පොඩි අය අරන් යන්න එක පාරක් නෙවෙයි දහපාරක් හිතන්න ඕන..ඒක නිසා එයාලා එක්ක ගමනක් යනකොට කීපපාරක් හිතන්න ඕන..”
වසංගත කාලයක පුංචි බබෙක් අරගෙන ගමනක් යන එක ඒ තරම් සුදුසු නෑ කියලා දිලානිට මාලතී පැහැදිලි කළේ බොහොම පරිස්සමට.ඒත් දිලානි තමන්ගේ තීරණය නිවැරදි කියන්න බොහෝ උත්සාහ ගත්තා.ඒක වරදක් නෙවෙයි.හැමෝටම තමන්ට අනන්‍ය විදියට තමන්ගේ ශක්තින් ගැන විශ්වාසය තියෙන්න පුළුවන්.
“යන ගමනක් ගැන තමන්ගේ මතකයේ තියෙන්න ඕන..ඒත් ඔයාගේ චුටි දු තවම ඒ ගමන ගැන තේරුමක් නෑනේ.එයාට පරිසරයේ ලස්සනවත් ඒ ගමනේ තියන වටිනාකමවත් තේරෙන්නේ නෑ.”
මාලති ඒ බව වටහලා දුන්නේ හරිම ප්‍රවේසමෙන්.හිත රිද්දාගෙන ඉන්න දිලානි තව වතාවක් හිත රිදවා ගැනීම පවක්.ඒ වුණාට ඇයට වරද වැටහෙන්න ඕනෑ.
“දරුවන්ට අසනීප වෙන එක ගැන වගේම එයාලට දරන්න පුළුවන් සීමාවල් ගැනත් අපිට අවබෝධයක් තියෙන්නම ඕන දිලානි..”
මාලති එහෙම කතාව ඉවර කරනකොට එතනට ආවේ කලනි. කලනිගේ බබා අසනීපෙන් හිටිය කතාවක් මාලතිට මතකයි. ඒ නිසා ඒ ගැන අහන්න ඇයට හිතුණා.
“අනේ මම ඒ එක බේත් පෙත්තක් වත් දුන්නේ නෑ. ඒවා සැරයිලු..”
කලනි කියන්නේ අප්‍රසාදයෙන්.
“කවුද කියන්නේ?”
මාලති ඇහුවේ පුදුමයෙන්.බබාට බෙහෙත් ගන්න හොඳම වෛද්‍යවරයෙක් නිර්දේශ කරලා දැන් ටික කාලයක්.ඒත් දැන් කලණි ඒ වෛද්‍යවරයාගේ බෙහෙත් සැර කතාවක් කියනවා.
“මම ෆේස්බුක් ගෘප් එකකින් ඇහුවා..එයාලා තමයි එහෙම කිව්වෙ..ඒ බේත හොඳම නෑලු..”
මේ කතා මොනවද කියලා මාලතී හිතුවේ පුදුමයෙන්.
“එයාලා ඩොක්ටට වඩා දන්නවද?”
මාලතී එහෙම අහලා ඉන්පස්සේ එහෙම නිර්දේශ ලබා ගැනීමේ වරද ගැන පැහැදිලි කරන්න සෑහෙන වෙලාවක් ගත්තා.අත්දැකීම් කාටත් තියෙන්න පුලුවන්.ඒත් ඒ දරුවන්ගේ රෝග සම්බන්ධයෙන් සහ බෙහෙත් සම්බන්ධයෙන් කාගෙන්වත් උපදෙස් ගැනීම ඒ තරම් සුදුසු නෑ කියලා ආයේ ආයේම පැහැදිලි කරන්න මාලතී වග බලා ගත්තා.
“එහෙනම් ඔයා මට කිව්වේ ඒ දීලා තියෙන උපදෙස් වල වරදක් නෑ කියලා..”
දිලානි වහාම කතාවට මැදිහත් වුණා.ටික වෙලාවකට කලින් අනිත් අය කියන දේ පිළිගන්න එකේ වටිනාකම ගැනත් සමහර දේවල් ටිකක් සැරට ඇහුණත් ඒ උපදෙස් ලැබෙන්නේ අපේම යහපතට කියලා මාලතී කියලා දැන් ටික වෙලාවක්.
“ඒ වගේ තියන හැම උපදෙසක්ම නරක නෑ දිලූ..අත්දැකීම් මත අනිත් අය කියන උපදේශත් ඔයාලා පිළිගන්න ඕන..ඒ වුණාට හුඟක් සංවේදී කාරණා ගැන උපදෙස් ගන්නකොට දෙපාරක් හිතන්න..ඒවා සහ අත්දැකීම් සම්බන්ධ උපදෙස් වෙනස්..”
මාලතී වටහලා දුන්නේ ආදරෙන්.
අපිට සමාජයෙන් එක එක තාලේ උපදේශ ලැබෙනවා.සමහර දේවල් ටිකක් සැරට ඇහුණත් ඒවා අපිට ලැබිය යුතුම දේවල්.ඒත් සමහර කාරණා සම්බන්ධයෙන් උපදෙස් ගැනීම ගැන දෙවතාවක් නෙවේ දහපාරකටත් වඩා හිතන්න ඕන.නැත්නම් අමාරුවේ වැටෙන්නේ අපිමයි.