හසරැලි වැස්සේ -40

“කොතන හරි හිරවෙලා එතනම නැවතුණාම මිනිස්සුන්ට කවදාවත්ම ඉස්සරහට යන්න බෑ දුව..”

සුගත් අංකල් මගෙන් සමු ගන්නට පෙර කීවේ ය.ඔහු හා ප්‍රේමය අතැර දමා තාත්තා හා විවාහ වන්නට තීරණය කර තිබුණේ අම්මා ය.ටික කාලයකට ගෙදර උදවියගෙන් ඈත් වන්නට සිදු වූ මුත් හිතුවක්කාර විවාහයක් මිස කළ හැකි වෙන කිසිවක්ම නැතැයි සුගත් අංකල් පවසද්දී ඇය ඔහුගෙන් සමුගෙන තිබිණ.

“ඒකට නම් මම දොසක් කියන් නෑ..අම්මා තාත්තගෙ හිත් නොරිද්දා ඉන්න එක කොච්චර ලොකු දෙයක්ද?”

ඔහු එසේ පැවසුවේ සන්සුන් හඬකින් බව මම මම්මා සමඟ පැවසුවෙමි.මම්මා සුසුමක් හෙළුවා ය.

“අම්මා සීයාගෙ හිත් නොරිද්දා හිටිය.එතනින් පස්සෙ දරුවන්ගෙ හිත් රිද්දුවා..”

මා එසේ පැවසුවේ ආවේගයෙනි.මම්මා මගේ හිස අත ගාමින් මා නිවන්නට තැත් දැරුවා ය.

“කසාදයක් කියන එක සූකිරි පොඩ්ඩක්වත් ලේසි දෙයක් නෙමෙයි.තමන් හරියටම ආදරේ කරන මනුස්සයාව කසාද නොබැඳ රටට ලෝකෙට ඕනවට කසාද බැන්දහම කිසිම මනුස්සයෙක් සතුටෙන් ජීවත් වෙන්නේ නෑ.මිනිස්සු බාගෙට බාගයක් කේන්තියෙන් දුකෙන් ඉන්න ඇත්තම හේතුව ඔන්න ඕක..”

මම්මා කියන්නේ ළතැවිල්ල පිරුණු හඬකිනි.

“මමත් කසාද බඳින එකක් නෑ.බැන්දත් මාත් අම්මා වගේ වෙයි.මං ආදරේ කරන කෙනා නොලැබිලා කවුරු ලැබුණත් මොකටද මම්මේ?”

මම වහා මගේ කතාවේ දුක්බර තැන පිටතට රැගෙන ආවෙමි.මම්මා මට හෙළුවේ නිස්කලංක හිනාවකි.

“පුතේ, අම්මා දුකින් ඉන්නේ අම්මට ආදරේ කරපු මනුස්සයා නැති වුණාට.ජයන්තගෙ ආදරේ බාර ගන්න බැරි තරමට සුගත් මල්ලිගෙ ආදරෙන් පොඩ්ඩි පිරිලා ගිහින් හිටියෙ.තාත්තගෙ සැනසිල්ල වෙනුවෙන් එයා බැන්දා.ඔයාලව හැදුවා.පිළිවෙලකට ඉන්න එක පවා අමතක කරන තරමට අම්මා එයාව අමතක කරේ එයාට ආදරේ කරපු මනුස්සයා නැති වුණු නිසා.ඒ වුණාට ඔයා මේ සුදු ගවුම පිටින්ම පණ්ඩිතකම් කියවන්නේ ඔයාට ආදරේ කරපු මනුස්සයෙක් නිසාද?”

මම්මා අසන්නේ තීරණාත්මක ප්‍රශ්නයකි.මට ආදරය කළ බවත් මා ඒ ආදරය ප්‍රකාශ කරන්නට ඉක්මන් වූ නිසා තමන්ගේ ආදරය හකුලා ගත් බවත් කියන දෙනෙත් ආදරය හෑල්ලු කරනවා නොවේදැයි මට හදිසියේ සිතිණ.ආදරයක් එසේ හකුලා ගන්නට කිසිසේත්ම නුපුළුවන.

“තමන්ට ආදරේ නැති මිනිහෙක්ට ළං වුණත් ගෑනියෙක්ට වෙන්නෙ විනාසයක් පුතේ..”

මම්මා සිහින්හඬින් පැවසුවා ය.එය ඇය තරමට දන්නේ කවුදැයි මම සිතීමි.නමුත් ඇය ආදරය කළ මිනිසා එහි වගක් හෝ නොදනී.දෙනෙත් මගේ ආදරය හොඳින්ම දනියි.

“මගෙ පුතා දැන්ම තේරුම් ගන්න.දෙනෙත් ඔයාව ප්‍රතික්ෂේප කරා කියලා.සැරව පිරිච්ච තුවාලයක් වෙළුම් පටිවලින් වහගෙන හිටියට වැඩක් නෑ පුතේ.රිදුණත් කමක් නෑ තුවාලෙ හොඳට සුද්ද කරන්න.ඊට පස්සෙ බෙහෙත් දාන්න..කැලැල් ඉතුරු වුණාට කමක් නෑ.ඇඟ පුරාම තුවාලෙ ඔඩු දුවන්න දෙන්න එපා.”

මම්මා ඒ කියන්නේ මගේ අත,කකුල සහ හිසෙහි ඇති තුවාල ගැන නොවේ.හිතේ ඇති තුවාලය ගැන ය.

“තමුන් මහ විචාර බුද්ධියක් නැති කෙල්ලක් හලො.ඉගෙන ගන්න මොලේ ඕනවටත් වඩා තිබ්බට තමුසෙගෙ කොමන් සෙන්ස් බිංදුවයි..”

අතපය වෙළා ගත් මා බලන්නට දෙනෙත් නොපැමිණීම ගැන නාහෙන් අඬමින් මා මිතුරියන්ට දිගු පණිවිඩයක් යැව්වේ ඊයේ රාත්‍රියේ ය.උවනි මට එවිට පිළිවදන් දුන්නේ එහෙම ය.

“තමුසෙ බයෝනෙ කරේ හසී..මොකද මේ සිංහල විචාරයක් වගේ හෑලි මැසේජ්..”

උවනි බැනුම ආරම්භ කළේ එසේ ය.

“ඔයාගේ වේදනාව නැති වෙනකම් කියවන්න.කමක් නෑ.ඔයා ඔය වේදනාව ඉක්මනින් නිමා ගන්න ඕන..”

යෙත්මි නම් හදවත් සළකුණු අටෝරාසියක් සමඟ එසේ ලියා එව්වා ය.

මම්මා කියන්නේ සැබෑවකි.අම්මා වාගේම ජීවිතයක් අයත් වේයැයි මට දැනුණේ මහත් බියකි.ඇය ඈ අහිමි කරගත් තරමටම මම ද මා අහිමි කරගෙන ඇත්තෙමි.නමුත් අම්මා දශක දෙකකටත් වැඩියෙන් ගෙවා දැමූ ජීවිතය මට මාස කිහිපයකින්ම එපා වී ඇත.වහා මා සොයා ගත යුතු වේ.මම්මා කියන පරිදි හඬමින් හෝ විලාප දෙමින් මේ තුවාලය පිරිසිදු කළ යුතුම වේ.

“අයියේ..නිර්මාණි අක්කි එක්ක මාව බලන්න එන්නකො..”

අයියාව ඕනෑම බව හැඟුණු මොහොතක් එළඹිණි.මම ඔහු ඇමතුවේ එනිසා ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles