දෙවන සූර්යාගේ පිබිදීමට ඇත්තේ තව දෙහෝරාවකි. පළමු සූර්යා මෙන් නොව දෙවන සූර්යා අධික තාපයක් පිට කරන හෙයින් තමන්ට වැඩි වේලාවක් එළිමහනේ සැරිසැරිය නොහැකි බැවින් හැකි ඉක්මනින් නවාතැන්පලක් සොයාගත යුතු බව ඇය සිතුවාය. එහෙත් ඊට ප්‍රථමයෙන්ම කුසට හරිහමන් අහරක් සොයාගත යුතුය. උදෑසන සිට දසත සැරිසැරුවත් කිසිදු අහරක් සොයාගැනීමට ඇය අපොහොසත් විය. පෘථිවිය විනාශවීමත් සමඟ ලෝකයේ බලවත් රාජ්‍ය අධිකාරීන් චන්ද්‍රයා මත ජනාවාස හැදුව ද එහි යාමට ඇය අපොහෙසෙත් වූයේ තෝරාගත් පිරිසට ඇය ඇතුළත් නොවීම නිසාය. ඇයගේ අධ්‍යාපන සුදුසුකම මෙන්ම කිසිදු විශේෂත්වයක් නොතිබුණ නිසාම ඇයත් ඇගේ පවුලේ සාමාජිකයනුත් අන්‍ය සාමාන්‍ය වැසියන් මෙන්ම පෘථිවියේ තනි විය.
චන්ද්‍රයා මතට ගිය 20% ජනග්‍රහණය ඇරුණු කොට පෘථිවිය මත ඉතිරි වූ 80% ජනග්‍රහණයෙන් මුල් කාලයේදී හරි අඩක්ම මරුමුවට පත් වූයේ වේගයෙන් සිදු වූ පාරිසරික වෙනස්වීම් දරා ගැනීමට නොහැකි වීම නිසාය. එහෙත් ඉතිරි වූවන්ගෙන් බහුතරයක් පරිසරයට අනුකූලය හැඩගැසුනු අතර විවිධ පරිසරයන් යටතේ ජීවිතය රැකගැනීමට සමත් විය.
ඇයද එවැනි ම පරිණාමය වූ තැනැත්තියකි. මීට වසර පන්සියයකට ප්‍රථම ලොව විනාශ වීම ආරම්භ වූ සමයේ ඇය මව්කිරි පමණක් පානය කළ කුඩා බිළිදියකි. ළදරු අධ්‍යාපනය ද නොලද ඇය කෙසේ නම් චන්ද්‍රයා මත වාසයට තේරේවිද…
ඇගේ දෙමාපියන් යමක් කමක් ඇති අයවලුන් වුවද නූගතුන් ය. එවකට ලංකාව නම් දූපතක වාසය කළ ඔවුන් පාරම්පරික ඉඩම්හිමි තැනැත්තන් වූ නිසාම දූපත ජලයෙන් යටවීම ආරම්භ වෙත්ම ඇගේ දෙමාපියන් ඇයවත් ඇගේ සහෝදරියවත් රැගෙන මෙම රටට පැමිණියෝය. එසේ පැමිණ වසරකින් එම දූපත ලෝක සිතියමෙන් තුරන් වූ අතර එවැනිම වූ දූපත් රාශියක් මුහුදු ජල ධාරිතාව ඉහළයාමත් සමඟ ලෝක සිතියමෙන් අතුරුදන් විය. ඉනික්බිතිව පැමිණියේ ගිනිකදු තර්ජනයයි. ලොව පුරා සියලු ම ගිනිකදු සක්‍රීය වීමත් සමඟ සියලු ජනයා භීතියෙන් ඇලලී ගියහ. ගිනිකදු පුපුරා යාමත් සමඟම සූර්යාගෙන් දෙපලු වී සූර්යන් දෙදෙනෙකු පායන්නට වූයෙන් එසේ පෑයූ එක් සූර්යෙකුගෙන් නිකුත් වූ අධික ශීතල නිසාම මැගිමා සිසිල් වීම ආරම්භ විය. එහෙත් අනෙක් සූර්යා පෙර වූ සූර්යා මෙන් දස ගුණයක් තාපය පිට කළ නිසාම සිසිල් වූ මග්මා නැවතත් සක්‍රීය විය. කෙසේ නමුදු මෙම පාරිසරික විපර්යාසය නිසාම ජල ගංගා වෙනුවට මැග්මා ගංගා ඇතිවිය. දහවලේදී අධික උෂ්ණත්වය හේතුවෙන් රත්පැහැ ගැන්වෙන පොළෝතලය රාත්‍රීෙය්දී පායන සිසිල් සූර්යා හේතුවෙන් අධික ලෙස සිසිල් වේ. මේ නිසාම හරිත පරිසරයද විකෘතිතාවයට පත්ව ඇත. වෘක්ෂයන් අතිවිශාල වී ඇති සේ ම ඵලදාව ද ඉතාමත් ම විශාලය. සතා සිවුපාවා වුණත් විෂඝෝරය. විශාලය.
ඇය කාලයත් සමඟ ටිකෙන් ටික වැඩෙත්ම මේ සා පාරිසරික වෙනස්කම් හමුවේ ඇගේ වෙනස්කම්ද සිදුවිය. කිසිදින සූර්යාගේ තාපය සිලුවෙන්වත් නොවිදි ඇය තාපයට සංවේදී වුවාය. ඇගේ සොයුරිය මෙන් කාලගුණික පරිසරයන් දෙකක ජීවිතය රැගෙන යෑම ඇයට අසීරු වූවාය. ඒ නිසාම සිසිල් සූර්යා පමණක් ඇගේ මිත්‍රයා වූවාය. ඇගේ සොයුරිය තාප සූර්යාගෙන් නිකුත් වූ කිරණ වල බලපෑම නිසාම අධික කෝපය ඇති තැනැත්තියක් මෙන්ම නොපිසූ මාංශ භක්ෂනය කරනා ජීවියෙක් බවට පත්වත් ම ඇය රැධිරය පමණක් අනුභව කරන නිශෘචරයෙක් බවට පරිවර්තනය විය. මෙසේ ගතිපැවතුම් අහසට පොළොව මෙන් වූ දෙදෙනාට එකට දිවි ගෙවීම අසීරැ බැවින් ඔවුන් වෙන්වූයේ මීට වසර තුන්සීයකට ප්‍රථමය. කාලගුණික වෙනස්වීම් සමඟම පෘථිවියේ නව ජීවයක් හට නොගැනුණද, පෙර තිබූ සියලූම ජීවයන්ගේ ආයුකාලය ඉතාමත් දීර්ඝවිය. එහෙයින් මුලු යුගයේ ජීවින් තවමත් පෘථිවියේ සැරිසරයි.
“තාලියා, තාම කෑමට මුකුත් ලැබුණෙ නෑ තමයි. ඒත් තවත් එළියෙ හිටියොත් අව්වට රෝස් වෙලා තමයි නවතින්නේ…” ඇය තමන්ටම පැවසීය.
සිසිල් මැග්මා ගංගාවක් ඇගේ මාර්ගය හරස් කරන්නට වූයෙන් එය තරනයට වෙලාව ඇත්දැයි දැනගැනීමට තමන් විසින් ම නිර්මාණය කරගත් ඇගේ සුරතෙහි පැළදි පාරිසරික උෂ්ණත්ව මාපකය දෙස බැලූ ඈ මැග්මා ගංගාව තරණයට ඇයට කාලය ඇති බව සැකහැර දැනගත්තාය.
“තාලියා… උඹට පුලුවන්… දවසක් ආහාර නැතිවට උඹේ ශක්තිය දුර්වල වෙන්නෑනේ…”
ඇය වේගයෙන් දිවි යමින් මැග්මා ගංගාව තරණය කළාය. මැග්මා ගංගා ඉවුරේ සුපුරුදු මුහුණක් දුටු ඇගේ වේගය ක්‍රමක්‍රමයෙන් ක්ෂය විය.
“තාලියා… වේගය අඩු කරන්න එපා… ඉක්මනින් එන්න…” ඔහු වේගයෙන් කෑමොර දුන්නේය.
“මට මේක කරන්න බෑ…. මම අද මැරෙනව සැපයි…” තාලියා තමන්ට ම පවාගත්තීය.
ඇය ඉවුරට මීටරයක් තියා නැවතුණ අතර මැග්මා මත දෙදණ තබා සිටගත්තේ තව විනාඩි කිහිපයකින් පායන සූර්යාත් සමඟ තමනුත් දැවීයාමට අදිටන් කරගනිමිනි.
“කමක් නෑ… දුකක් නෑ… මම අවුරුදු පන්සීයක් ජීවත් වුණානේ… මගේ අයට හිරිහැරයක් නැවතිව හිටපු එකම මට ඇති…”
දෑස් පියාගත් ඕ දෑත් විදහාගත්තේ තම දිවියේ ප්‍රථම වරට තාපයේ උණුසුම විදීමටය. මොහොතින් මොහොත තම සිරැර උණුසුම් වන අයුරැ ඇයට දැනෙන්නට විය. රුධිර නාලිකා ගිනියම් වනවාක් මෙන් ඇයට දැනුණි. අමුතු දිය පහරක් ඇගේ නළල් තලයේ සිට මුහුණ පුරා ගලා යන බවක් ඇයට දැනුණි. එහෙත් ඇය තම දෑස් විවර කර ඒ කිසිවක් විපරම් නොකිරීමට අදිටන් කරගත්තීය. ඇයට අගේ පියවි සිහිය අහිමි වනවාත් සමඟ ම ඔහු තමන් ඉදිරියේ සිටිනවාක් මෙන් ඇය දුටුවේ අඩමානයටය.
දිගු කාලයකට පසු ඇගේ උගුර දිගේ ප්‍රණීත රුධිර බිදක් ගලායනු ඇයට දැනුණි. ඇය දැඩිව එම රසය තමන් වෙත ඇදගන්නට වූයේ වියරැවෙන් මෙනි. ඇය යථා සිහියට එනවිට ඇය යමෙකුගෙන් රැධිරය පානය කරනවා නොවේදැයි තේරුම් ගියෙන් මෙතෙක් වෙලා වසාගෙන සිටි දෑස් විවර කර බැලූ ඇය රුධිර පානය නවතා වේදනාවෙන් කෑගැසීය.
“නෑ… ඔයා… ඔයා ඇයි මාව බේරගත්තේ… මම ඔයා ළගට එන්නැතිව එතන හිටියෙ ඔයාගෙ ආරක්ෂාවටනෙ… ඉතිං ඇයි මාව බේරගත්තේ… කියන්න් ඇයි…”
ඔහු බිම දිගැදී සුදුමැලිව ගිය දරකොටයක් සේ නිසොලමන්ය. ඔහුගේ දෑස් අමාරැවෙන් මෙන් විවර කළ ඔහු දෙතොල් සෙලෙවමින් සිහින් හඩින් යමක් පැවසුවේය.
“මම කොහොමද මගෙ දුව මගේ ඇස් ඉදිරිපිට මැරෙනව බලාගෙන ඉන්නේ?”
“ඒ වුණාට තාත්තේ, මායි අක්කයි ඔයාලගෙන් වෙන්වුණේම අපේ ආහාර රටාව වෙනස්වුණ නිසානේ. එයා බයවුණා ඔයාලව අමුවෙන් කන්නට හිතේවි කියල… ඒ වගේම මම බයවුණා මට මගේ කුසගින්න පාලනය කරගන්න බැරිවේවි කියල… අද මම බයවුණ දේ ම සිද්ධ වුණා…”
“අඩන්නෙපා මගෙ දූ… ඔයාල අපෙන් වෙන්වුණාට අපි කවදාවත් ඔයාලා දෙන්නගෙන් වෙන්වුණේ නෑ… මම හැමදාම දුරින් ඉදගෙන ඔයා දිහා බලාගෙන හිටිය වගේම ඔයාලගෙ අම්මා ඔයාගෙ අක්කා දිහා බලාගෙන ඇති…”
“අනේ තාත්තේ…”
“අපි වෙනුවෙන් ඔයාලා හැමදාම සතුටින් ජීවත්වෙන්න ඕන මගේ දුවේ…”
ඔහුගේ මුවින් පිටවූ අවසන් වදන එය විය. තම දියණිය සියලු උපද්‍රවයන්ගෙන් බේරමින් ඇයට නොදැනෙන්නට ඇයව ආරක්ෂා කළ ඔහු අවසානයේ ඇයව ආරක්ෂිත ගුහාවකට රැගෙන විත් ඇයට තම රුධිරය දී තම දිවි ඇය වෙනුවෙන් පිදුවේය.
සමාප්ති…………
©හංසි රණසිංහ