වේදනාවේ පාට.

නිලූ උත්සව ශාලාව පුරා ඇස් හරවමින් විපරමක හිටියේ.ඔමාලිගේ විවාහ මංගල්‍යය කාලෙකට පස්සේ පාසල් මිතුරියන්ව ආයේ එකතු කරපු දවසක්.ඉස්කෝලෙන් අයින් වෙලා අවුරුදු දහයක්ම ගෙවිලා ගිහින්.විශ්ව විද්‍යාලවලට කාර්ය බහුල වෙලා,ඉගෙන ගන්න රට රටවල ගිහින් හැමෝම තැන් තැන්වලට විසිරිලා හිටිය පහුගිය කාලේ පුරාම කාටවත් ආයේ මුණ ගැහෙන්න වෙලාවක් තිබුණෙම නෑ.

අවුරුදු දහයක් ඇතුළේ බොහොම දේවල් සිද්ධ වෙලා.සුදු ගවුමෙන් මතක තිබුණු මිතුරියෝ දැන් මොනතරම් වෙනස් වෙලාද? ඒ කාලයේ ඔළුව පීරන්නත් හොරයි කියලා දහයේ පන්තියේ පන්තිභාර ගුරුතුමී බනින මල්ෂා දැන් මොනතරම් ලස්සනද? අලුත්ම කොණ්ඩ විලාසිතාව,පුදුම ලස්සන සාරිය එක්ක මල්ෂා දිව්‍යාංගනාවක් වගේ.ඒ කාලේ කවදාවත්ම කසාද බඳින්නේ නෑ කියලා ස්ථිරව කියපු ගිම්හානි එහෙමෙහෙ දුවන චූටි පුතා පස්සෙ පන්නගෙන යනවා.

“නිලූ..තාරකා ඇවිල්ල.ඔයා දැක්කද?”

දුලාරි එහෙම ඇහුවේ නිලූට කිට්ටු කරලා.නිලූ ගැස්සිලා වගේ තාරකා දිහා බැලුවා.කාලයක් තාරකා කාටවත්ම මුහුණ දුන්නේ නෑ.හැංගිලා වගේ ජීවත් වුණේ.ඒ කාලේ තාරකා මුණ ගැහුණානම් නහයට කෙලින් බලලා හිත රිද්දන ප්‍රශ්නෙ කොහොමත් අහන්නේ නිලූ.

“පැතුම් කතා කරේවත් නැද්ද? පැතුම්ට දැන් මාර කෙල්ලක් අනේ සෙට් වෙලා ඉන්නෙ.මං ඔයාට ඒ කාලෙත් කිව්වෙ.පැතුම්ලා වගේ කොල්ලො මොකී එක්ක යාලු වුණත් බඳින්න තෝරා ගන්නේ මාරම මාර කෙල්ලො කියල..”

ඒ හෑල්ල දවසක් කියන්න නිලූට අවස්ථාව ලැබුණා.එතකොට තාරකා විරහවේ ගිලෙමින් වැළපෙමින් හිටිය කාලේ.කිසිම පිළිවෙලකට නැති ඇඳුමක් ඇඳලා බලාපොරොත්තු මැරිලා ගිය ඇස් දෙකකින් නිලූ දිහා බලාගෙන හිටපු තාරකා නගරයේ මහ සෙනඟ අස්සේ නොපෙනී ගියා.

“පිස්සුද අනේ..ඔයා ඇයි තාරුට පැතුම් ගැන කියන්න ගියේ.ඒ යකා ඩබල් ගේම් ගහලා මේ අහිංසකී නාස්ති කරා.දැන් තාරු ඩිප්‍රෙෂන් වලට බේතුත් බොනවලු..”

එදා නිලූට එහෙම දොස් කීවෙත් දුලාරි.ඒත් නිලූ උරහිස් නටවලා අසංවේදී කතාවක් කිව්වේ හිත ඇතුළෙන් වගේම මුහුණ පුරාම තාරකාට හිනා වෙන ගමන්.

“පැතුම් කියන්නේ මෙයා කිට්ටු වෙන්නවත් ඕන කොල්ලෙක් නෙවෙයි.හොඳ අනාගතයක් තියන කොල්ලෙක්.මෙයාගෙන් ඈත් වෙලා ඒ කොල්ලා අනාගතයක් හදා ගත්තට මටනම් මාරම මාර සන්තෝසයි.”

පැතුම්ගේ හිත වෙනස් කරන්න තමන් පුලුවන් තරම් සම්මාදම් වුණු සන්තෝසය සිහි කරමින් නිලූ එදා දුලාරිට කිව්වා.පැතුම් වගේ උගත් කොල්ලෙක්ට තාරකාට වඩා අපූරු කොල්ලෙක් හොයා ගන්න එක පුදුම ලේසි වැඩක්.තාරකාට ඒ තරම් දක්ෂකමක් නෑ.එහෙම එකියෙක් පැතුම්ගේ වාරුවෙන් ජීවිතේ ඉහළට ගියොත් ඒ මොන අපරාධයක්ද?කේලම් කියලා, ඕපාදූප පතුරලා පැතුම් තාරකා ආදරය සුන් කරනකොට නිලූ තමන්ටම නිදහසට කාරණා කියා ගත්තා.

තාරකා මානසික ප්‍රතිකාර අරන් කොහොම මොනවා කරගත්තද කියන්න නිලූ ඊට පස්සේ හෙව්වේ නෑ.තාරකා විවාහ වූ කතාවක් ආරංචි වුණාම නම් නිලූ ඉක්මනට තාරකාගේ ෆේස්බුක් ගිණුමට ගිහින් ඡායාරූප ඔක්කොම විපරම් කළා.

“අපෝ තාරකාගේ මනුස්සයා පැතුම්ගෙ ළඟින්වත් තියන්න බෑ.”

නිලූ මිතුරියන්ට කිව්වේ සතුටින්.තාරකා පැතුම්ගෙ බිරිඳ නොවී අගමැතිගේ පුතෙක් බැඳගත්තත් කමක් නෑ.අර වගේ උගත් කඩවසම් කොල්ලෙක් තාරකාට අයිති නොවෙන්නයි ඕන.නිලූ හිතුවේ සතුටින්.

“කොහෙද ඕයි තිස්සෙම ඇවිදින්නෙ.තැනකට ආවම එකතැනකට වෙලා ඉඳගෙන ඉන්නවකො”

නිලූ උඩ ගිහින් බිම වැටුණේ සජිතගෙ කටහඬට.උත්සව ශාලාව පුරා යමින් මිතුරියන් එක්ක කතා කරමින් සෙල්ෆි අරගනිමින් හිටිය නිලූ මහා වැරැද්දක් කරා වගේ සජිත ඉන්නේ රවාගෙන.

“මම මේ මඟුල්වල එන්න කැමැත්තක් තිබුණෙත් නෑ.ඇදගෙන ආවා.මොන විකාරයක්ද මන්ද..”

හොස්ස ළඟින් යන මැස්සටත් නිවාඩු දාලා ගෙදර නැවතිලා බනින සජිත මුහුණ දෙබරයක් කරගෙන කියනවා.නිලූ තමන්ගේ සැමියා දිහා බලා හිටියේ වේදනාවෙන් පිරුණු ඇස් දෙකකින්.සජිතට කේන්ති ගන්න හේතු ඕනෑ නෑ.සජිත මොනවට කේන්ති ගනීද කියලා නිලූට හිතාගන්නත් බෑ.

“ඩාන්ස් කරන්න යංද?”

චාපා ආවේ නිලූගෙන් එහෙම අහගෙන.සජිතගෙ එක රැවුමක් ඒ පැත්ත පළාතේ නොගිහින් ඉන්න නිලූට ප්‍රමාණවත්.

“අන්න තාරු ඔයාව හෙව්වා.”

චාපා එතනින් ගියේ ඒ පණිවිඩයත් දෙනගමන්.සජිත එක්ක හිතට ආපු තරහ තාරකාගේ පිට යවන්න හිතාගෙන නිලූ නැගිටලා ඒ පැත්තට ගියා.

“අනේ කොහොමද නිලූ..”

තාරකා නිලූගේ අතකින් අල්ල ගත්තේ ආදරයෙන්.පරණ හතුරුකම් තාරකාට අමතක වෙලාවත්ද?

“හරියට කෑවේ නැති එකේ ඔය ඩෙසට් එකවත් කන්න.කන ගමන් කතා කරන්න..”

තාරකාගේ අතට හැන්දක් දෙන ගමන් එහෙම කියන්නේ තාරකාගේ සැමියා.නිලූ ඇස් කොණින් ඔහු දිහා බැලුවා.පැතුම් වගේ ඇස් කඩාගෙන යන කොල්ලෙක් අමතක කරලා මේ හීතල පෙනුම තියන කොල්ලා එක්ක තාරකා කොහොම ඉන්නවද මන්දා.මොනවාහරි හින්ට් එකක් ගහන්න ඕන.

“ඔයාව දැක්කම ගගන අයියේ මට මතක් වෙන්නේ තාරුගේ අප්පච්චි..අංකලුත් ඉස්සර මෙයාට බලෙන් කෑම කවලා තමයි යන්නෙ.හවසට ටියුෂන් ගාවට ඇවිල්ලා..”

දුලාරි එහෙම කියලා තමන්ගේ සැමියාටත් තාරකාගේ සැමියාටත් පරණ කතා කියවන්න පටන් ගත්තා.තාරකා ඒ කතා වළක්වන්න හදන හැම වතාවකම ගගන ඇය දිහා බලන ආදරණීය බැල්මට නිලූට ඉරිසියාවයි.ඉස්සර පැතුම් ඇස් කරකවලා තාරකා දිහා බලනකොට ආව ඉරිසියාවට වඩා මේ ඉරිසියාව වෙනස්.නිලූට ඒක දැනෙනවා.

“බබා ලැබෙනකොට මං කාලා කාලාම පුපුරලා ඉඳී.මහ වදේ අනේ මෙයාගෙන්.”

තාරකා එහෙම කියනකොට පැතුම් ගැන වචනයක් කියාගන්න නිලූ උත්සාහ කරා.ඒත් දුලාරි ඊට ඉස්සර වුණා.

“අර පැතුම් මෝඩයා මිස් වෙලා ගගන අයියා ලැබුණු එකනම් දෙවියන්ගේ ආශිර්වාදයක් තාරු.මට ඔයාලා දෙන්නා දකිනකොටත් මාර සතුටුයි.ඔතන පැතුම් හිටියානම් ඔහෙ පණ්ඩිතකමට පුම්බාගෙන ඉඳී..”

නිලූ වහාම තාරකා දිහා බැලුවා.දැන් දුක හිතන්න පටන් ගනියි.ඒත් මොන පිස්සුද? තාරකා හිනා වෙන්නේ සද්දෙට.ගගනත් ඒ හිනාවට එකතු වුණු එකනෙ පුදුමෙ.

“කාගෙ කාගෙ හරි කේලං නිසා මට වුණේ හොඳක්නම් තමා.ඒ වුණාට ඇති අනෙ මෙයාව වර්ණනා කළා..මෙයා හරියට උඩ යනව.”

තාරකා ගගනගේ කම්මුලකට තට්ටු කරලා හිනා වෙනවා.නිලූට දැනෙන්නේ කියා ගන්න බැරි වේදනාවක්.

“ඉතින් නිලූ..ඔයා හොඳින් නේද? කෝ ඔයාගේ හස්බන්ඩ් එහෙම.”

නපුරු තාලෙට මුහුණ හදාගෙන පුටුවකට වෙලා පුම්බාගෙන ඉන්න සජිත පෙන්නුවොත් තාරකා මොනවා හිතාවිද කියලා නිලූ හිතුවේ වේදනාවෙන්.කාලෙකට කලින් කේලම් කියලා කියලා පැතුම් තාරකාගෙන් ඈත් කරපු දවස් වල තාරකාගේ ඇස්වල තිබුණු පාට වේදනාවේ පාට.දැන් ඒක තමන්ගේ මුහුණේ ඇඳිලා බව තාරකාට තේරෙනවත් ඇති!

නිලූ එතනින් නැගිට්ටේ තමන් ගැනම කේන්තියෙන්.

More Stories

Don't Miss


Latest Articles