“එයා දැන් ඉන්නේ වේදනාවෙන්..එයා වේදනාවෙන් ඉන්නකොට එයාට ළං වෙන එක කිසිම තේරුමක් නැති වැඩක්.ඒකෙන් වෙන්නෙ එයා වගේම මාත් අමාරුවේ වැටෙන එක..”
එයද එක්තරා ආකාරයක ප්‍රතික්ෂේප කිරීමකි.නමුත් එය මට රැගෙන ආවේ සැබෑ වේදනාවකි.දෙනෙත්ගේ ප්‍රතික්ෂේපය මට කෝපයක් රැගෙන එද්දී මේ ප්‍රතික්ෂේපය මට ගෙනෙන්නේ වේදනාවකි.මම සැබෑ ප්‍රේමය මඟ හැරගෙන තිබේ.එය වටහා ගන්නා විට පෙරහැර සෑහෙන දුරක් ගොස් අවසන් බව මට සිතිණ. නමුත් දෙනෙත්ගෙන් වාගේ සචිර අයියාගෙන් ප්‍රේමය යදින්නට නොහැක.හොඳම ප්‍රේමය මඟ හැරුණු බව මට වැටහෙන්නේ ද ඔහු කියන දේ අසා හිඳින විට ය.
“නෙලා ගැනුමට නොහැකි වූවද අත්හැරීමත් නොවේ ප්‍රේමය.. එහෙම අහලා නැද්ද ඔයා?”
යෙත්මි ජනප්‍රිය ගීතයක පද පෙළක් සිහි කරන අන්දම මට ඇසිණ.තමන් ආදරය කළ යුවතිය තමන්ගේ මිතුරා කෙරෙහි උමතු ප්‍රේමයකින් බව දැනගත් පසු ඒ ආදරයේ ගිලී හිඳීම ඔහුට අපහසු වන්නට ඇත.නොගැළපෙන තෝරා ගැනීම් ජීවිතයේ හොඳම තැන් අතැර දමන බව මට දැන් පැහැදිලි ය.
“අත් ඇරලා නෑ..”
ඒ වචන මට ගෙන ආවේ මහත් සැනසුමකි.අනුන්ගේ කතා අසා හිඳීම නරක බවට දහම් පාසලෙන් උගත් පාඩම් අමතකම කර දැමූ මම ඒ කතාබහ දිගටම අසා සිටියෙමි.
“මම කියන්නේ එයාට මේ වෙලාවේ එහෙම දෙයක් කියන්න නරකයි.”
ඔහු ඉන්පසු පැවසුවේ එහෙම කතාවකි.එය එසේ වන්නේ කෙසේදැයි මම කල්පනා කළෙමි.නමුත් සචිර අයියා එසේ කියන්නට හේතුවක් තිබිය යුතුම ය.
“එයා ඉන්නේ රිද්දගෙන.ආදරේ කරන්න බෑ එහෙම..”
කඩයිම් ප්‍රශ්නය නැඟුණේ ඉන්පසුව ය.මා වෙනුවෙන් මගේ හදවතට නැඟුණු ප්‍රශ්නය ඇසුවේ යෙත්මි ය.සැබෑවටම
“සතුටින් ඉන්න කෙනෙක්ටමද ආදරේ කරන්න ඕන?”
මට ද ඒ අසද්දී සචිර අයියා ගැන අමනාපයක් හට ගත්තේ ය.ඔහු ද ආත්මාර්ථකාමී බව මම කිසිසේත්ම සිතා නොතිබිණ.නමුත් දැන් ඔහු ද පතන්නේ මා හොඳ මානසිකත්වයකින් සිටීම ය.
“නෑ..මුලින්ම එයා එයාගේ සතුට හොයා ගන්න ඕන..”
සචිර අයියා තදින් කියයි.මගේ දුක්බර ලෝකයට පිවිසීමෙන් කිසිවෙකුට යහපතක් නැතැයි කී ඔහු අනතුරුව පැවසූ කතාව මා මහත් සංවේදනයට පත් කළේ ය.
“මට එයාට දැන්ම ලං වෙන්න එපා කියලා කීවේ අංකල්.අංකල්ගෙ තමා ඒ තීරණේ.එහෙම කරන්න ලොකු හේතුවක් තියනව.යෙත්ම්,අපි මුලින්ම හසරැලිට හිත හදාගන්න උදව් කරමු.ඒක කරන්න පුලුවන් තවත් ලවර් කෙනෙක්ට නෙවෙයි.හොඳ යාලුවන්ට.අපි ඒක ඉක්මනින්ම කරමු.”
මට ඒ කතාවට හේතු පැහැදිලි ය.අත අත හැරිය ද හිත අත් නොහැරි ප්‍රේමය නිසා අම්මා තවම විඳවන්නී ය.ඒ වේදනාවෙන් දැවෙන්නේ තාත්තා ය.ඔහු තවත් තරුණයෙකු එවැනි ගින්නකටම හසු වීම වළක්වා ඇත.එය අසීරු තීරණයකි.ඒ තීරණය ඇතැම් විට දියණියට ලැබිය හැකි මානුෂික සහ හොඳම ප්‍රේමවන්තයෙකු මඟ හරින බව පවා ඔහු දනියි.නමුත් ඔහු සචිර අයියාට අනතුරු අඟවා ඇත.
ලොකු හේතුව ගැන යෙත්මි මොනතරම් ඇසුවද සචිර අයියා එයට කිසිවක්ම නොපැවසී ය.නමුත් ඔහුට තාත්තාගේ වේදනාව අයත් විය යුතු නැති බව සිතමින් මම සැබෑ හසරැල්ලක් පළඳාගෙන ඔවුන් වෙත ගියෙමි.
මුලින්ම ඒ මිත්‍රත්වය බාර ගත යුතු ය.ඔවුන්ගේ උදව්වෙන් මේ වේදනාවෙන් තුරන් විය යුතු ය.ප්‍රේමය හසරැලි වැස්සක්ව ඉනික්බිතිව ඇද හැලෙන්නට ඉඩ තිබේ.