අපලය

“ කාක් කාක් කාක් කාක් “ කාක දානයක් සඳහා කාක්කන්ට කතා කරන අම්මා ගේ කටහඬ ගම පුරා සිසාරා යනවා.නමුත් එකම එක කාකයෙකු හෝ එයට ප්‍රතිචාර දක්වන්නේ නැහැ.මුහුණ කොරහක් කරගන්නා අම්මා තනිවම මුමුණමින් ගේ ඇතුලට පැමිණෙනවා.අම්මා මුමුණනේ මොනවාද කියා මා අනුමානයෙන් දන්නවා.”මේ ළමයාගෙ අපලෙ කොච්චර ද කියනව නම් එක කාක්කෙක්වත් එන්නෙ නැහැනෙ”එය අද දවස පුරා නිවසේ සියලුම දෙනාට අසන්නට වන බව දන්නා නිසා මම ඉක්මනින් කාමරය ඇතුලට යනවා.

මට දැන් වයස විසි පහක්.අම්මා වසර දහයක් පමණ තිස්සේ මට ඇති කිසියම් අපලයක් ගැන කියමින් බෝධි පූජා, බාර හාර,බලි තොවිල් ආදිය කරමින් සිය කාලය ගෙවා දමනවා.ඉන් ඇය මහත් තෘප්තියක් ලබනවාදෝයි සැක සිතන තරමටම ඇය ඒවාට ආශක්ත වී සිටිනවා.

අම්මා කියන අපල කෙසේ වෙතත් මම හොඳින් ඉගෙන ගෙන,උපාධියක් ද ලැබ පෞද්ගලික අංශයේ ඉහල රැකියාවක නියුතු වෙනවා.අම්මාගේ අදහස වන්නේ ඇය කරන පුද පූජා නිසා මට අපල සදන ග්‍රහයින් මෙල්ලවී ඇති බැවින් මගේ කටයුතු කරදරයකින් තොරව සිදුවන බවයි.තාත්තා හෝ මා හෝ අයියා හෝ නිවසේ සිටින කිසිවෙක් මේ ගැන අම්මා සමග තර්ක කරන්නට නොයන්නේ එසේ තර්ක කිරීමෙන් පලක් නොවන බව අත් දැකීම් වලින් හොඳින්ම දන්නා නිසා.

මගේ විවාහය තව මාස කිහිපයක් ඇතුලත සිදු කිරීමට බලාපොරොත්තු වන අතර ඇයගේ මේ පූජාවන් ඒ කටයුතු ඉලක්ක කරගෙන තිබෙනවා විය හැකියයි මම අනුමානයෙන් සිතූ මුත් හැමදාම අපල සහිත කේන්දරයක් තිබුණ මට ඒ ගැන අමුතුවෙන් සොයන්නට අවශ්‍ය වුනේ නැහැ.

“ක්‍රීං,ක්‍රීං,ක්‍රීං”දුරකතනය නොනවත්වා නද දුන්නත් අම්මා මිස නිවසේ කිසිවකු එයට පිළිතුරු ලබා දෙන්නට උත්සාහ කරන්නේ නැහැ.එම රැහැන් සහිත දුරකතන ය ඔස්සේ එන ඇමතුම් සියල්ලම කිසියම් ඇය දන්නා ජෝතිෂ්‍යකරුවෙකු හෝ ගුරුන්නාන්සේ කෙනෙකු හෝ කේන්දර,අපල හිස මත තබා ගෙන සිටින ඇයගේ යෙහෙළියකගෙන් හෝ විය හැකි අතර නිතරම ඔවුන්ගේ නම් සහ පණිවිඩය නිවැරදිව ලබා ගත්තේ නැතයි චෝදනා ලැබීම සුපුරුදු දෙයක් නිසාවෙන් දුරකතනය එසවීම නැති අපලයක් ඇඟේ දා ගැනීමක් බව සියලුම දෙනා හිතුවා.එබැවින් එම දුරකතනය අම්මාගේ දුරකතන ලෙස නාමකරණය වූ අතර අම්මා නැති තැන එය අපල ෆෝන් එක ලෙස හැඳින්වීමටද නිවැසියන් පෙළඹුන අතර එම නම අම්මාටද රහසක් වූවේ නැහැ.

ක්‍රීං ක්‍රීං ක්‍රීං හඬට තවත් ඉඩ නොතබා අම්මා කොහේ හෝ සිට දිව ආ අතර මොන මොනවාදෝ කලබලයෙන් කියනු ඇසුණා.දුරකතනය වේගයෙන් තැබූ ඇය ඒ කලබලයෙන්ම මගේ කාමරයට දුවගෙන එනවා.

“චූටි දූ අපි විනාශයි,අනේ අපි මොනා කරන්නද කියල මට තේරෙන්නෙ නැහැ.”ඇය මගේ අත අල්ලා හඬා වැටෙන හඬට කොහේදෝ සිට තාත්තා ද දුවගෙන එනවා.

“ඇයි,ඇයි දේවි,මොකෝ මේ වෙලා තියෙන්නෙ”

තාත්තා ද වෙනදා මෙන් නොව අම්මාගේ හැසිරීම නිසා කලබල වූ ස්වරයෙන් අසනවා.වෙනදා ඇය ඇයගේ,අපගේ අපල කතිකාවන් සිය මිතුරන් සමග මිස අප සමග බෙදා නොගන්නා නිසා මේ හැසිරීම නොසලකා හැරිය යුතු එකක් නොවන බව අපට ක්‍රමයෙන් තේරුම් යනවා.

“අනේ සිරී,අපේ දූට මාරාන්තික අපලයක් තියෙනව කියලා එදා එයාගෙ වෙලාව දීපු එක්කෙනා කිව්වා.අර එදා මම සිල් ගත්ත නිසා මම ඔයාට වෙලාව දෙන්නෙ කිව්වෙ දූගෙ.එයා කේන්දරේ අලුතින් හදන්න ඕන කිව්ව නිසා.මේ මෑණි හරිම බලවත් කෙනෙක්.එයා කියනව ජීවිතේ බේරගන්න නම් ලක්ෂ සීයක විතර මුදලක් යයිලු.එයාට මේ ලංකාභූමිය ඉක්මවා ඉන්දියාවට ගිහින්ලු ඒක කරන්න වෙන්නෙ.වැඩේ කරන්න ඉක්මනින් ලක්ෂ 50 ක් බඳින්නලු දේවාලෙටෙ ඇවිත්.අපි ඉතිරි සල්ලි හොයා ගන්නකම් එයා වතාවත් කරන්න පටන් ගන්නවලු.අනේ සිරී අපි අර දූට දෑවැද්දට දෙන්න තිබ්බ ඉඩම් කෑල්ල විකුණලා හරි මේ වැඩේ කරමු.අපි ඔක්කොටම වඩා අපිට දූගේ ජීවිතේ වටිනවානෙ.”

පළමු වතාවට අම්මාගේ සෙනෙහස මා වෙනුවෙන් මෙතරම් ඇති බවක් දැනගත්තාක් මෙන් මම සසල වී යනවා.අප ගැන කිසිදු සැලකිල්ලක් නොදක්වා ගුරු හරුකම් පසුපස දුවන ඇයට අපව බොහෝ සෙයින් මග හැරී තිබුණා.ඇයගේ මේ දුකට හේතුව මා ජීවිතය අනතුරේ බව මෑණියන් කෙනෙකු කී දෙයක් වුවත් ඇය මා දැනටමත් අනතුරේයයි සිතා දුකින් වැලපෙනවා.දෙවනුව ඇයගේ සිත කෙතරම් ලඳ බොලඳ දෝයි සිතා කම්පා වීම හැර වෙනකක් කලයුතු දැයි විපිලිසරව තාත්තා දෙස බලද්දී ඔහු උඩ පනිමින් සිනාසෙනු දැක කේන්තියක් ද ආවත් එය අමාරුවෙන් නවතා ගන්නට මම අපහසු උත්සාහයක යෙදෙනවා.අම්මා බොරුවට හෝ රැවටී හැඬුවත් තාත්තා ට මගේ අපලය විහිලුවක් වූවේ කොහොමද?ඔය අපල උපද්‍රව ගැන කියන කතා ඔක්කොම බොරු කියන්නටත් අපි දන්නවාද?සමහරවිට අම්මා ගේ ක්‍රියාවන් නොදැනීම මටත් කාන්දු වී ඒවා මාත් යාන්තමට හෝ පිළිගනිමින් සිටිනවාද? මැරෙන්නේ මා නම් එය විහිලුවකට ගත හැකිද?මගේ ඔලුව යකාගේ කම්මල වෙමින් තිබෙද්දී තාත්තා තවමත් සිනහා වෙනවා.

අම්මා මා වැලඳගෙන වැලපෙන අතර තාත්තා තවමත් දෝරේ ගලන සිනහව නවතා ගැනීමට නොහැකිව අපහසුවෙන් සිටිනවා.

“අනේ දේවි,ඔයා ඔච්චර අහුවෙනවා කියල දන්නව නිසාම මම එදා ඒ ගෑනිට දුන්නේ අපේ ආච්චිගෙ උපන් වෙලාව.ආච්චි නම් කොහොමත් දැන් නෑනෙ.ඉතින් අපල සපල එයාට වැඩක් නෑනෙ”

“මොනවා”

“මොනවා නෙවෙයි,අරවා.ඒ ගෑනි පට්ට හෙරක්.හිරෙත් ඉඳල තියෙනවා දේපල වංචාවකට අහුවෙලා.මම පහුගිය කාලෙ ඔයා එයාව මෙහෙට ගෙන්න ගද්දි විපරම් කලා ගෑනි ගැන”

අම්මා හැඬුම නවතා පුදුමයෙන් තාත්තා දෙස බලනවා.

“ඔය ඇත්තමද සිරී”

“ඇත්ත තමා.මොකෝ බොරු කියල ලක්ෂ සීයක් ගන්නයැ”

තාත්තා සිනාසෙමින් ඉවතට යන අතර අම්මා ලැජ්ජාවෙන් මා දෙස බලා සිනාසෙනවා.

“හම්මේ,ඔයාට අපලයක් නෑ එහෙනම්.කෝකටත් මම හෙට ඔයාගෙ හරි වෙලාව අරන් අපේ අර පරණ කේන්දර බලන මහත්තයා ගාවට යන්නන්කෝ,ඒක කෝකටත් හොඳයිනෙ”

මගේ හිස සිඹින අම්මා පිටව යනවා.මොකද්දෝ මීට පෙර ඇය ගැන නොදැණුන අනුකම්පාවක් ,දුකක් මා සිත වෙලා ගන්නවා.අප විසින් ඇයගේ මෝඩකම් රසකර කියමින් නෑ මිතුරන් සමග සිනාසීම ගැන කිසියම් තැවීමක් මා සිත වෙලා ගන්නවා.තාත්තා ඇය ගැන විපරමින් සිටීම ගැන සතුටක් සමග මාරාන්තික අපලයක් ක්ෂණයෙන් ගෙවා දැමීම ගැන තනිවම සිනාසෙන්නට ගන්නවා.

More Stories

Don't Miss


Latest Articles