ඉන්දියාවේ දෑවැද්ද නිසා සිදුවන හිරිහැර හා මරණ පිළිබඳ කතා අනන්ත අසන්නට ලැබෙනවා. ලොවට සිය වේදනාව හෙළිකර අවසන් ගමන් ගිය එවන් කාන්තාවන් ගේ සත්‍ය තොරතුරු ඇසුරින් ලියූ ලිපියකි.
පසුගිය වසරේ පෙබරවාරි මාසයේදී අහමදාබාද්හි පදිංචි විසි හතර හැවිරිදි අයේෂා බානු සබර්මති ගඟට පැන සියදිවි තොර කරගන්නවා.ජීවිතය අවසන් කර ගැනීමට පෙර ඇය වීඩියෝ පණිවිඩයක් පටිගත කර තිබුණා. අයේෂා එහි කියා තිබුණේ ඇය සැමියා දෑවැද්ද ඉල්ලා කරන හිරිහැරවලට මුහුණ දුන් බවයි.
ඊට සතියකට පෙර,විසිපස් හැවිරිදි රෂිකා අගර්වාල්, කල්කටාහි පිහිටි ඇගේ නැන්දම්මාගේ නිවසේ වැටී මිය ගියා.ඇගේ සැමියා සහ ඒ පවුලේ අය ඇයට වධ හිංසා කළ බවත්, ඔවුන්ට දෑවැද්ද ලෙස රුපියල් කෝටි හතක් ලබා දුන් බවත් ඇගේ පවුලේ අය චෝදනා කර තිබුණා.
ඉන්දියාවේ දෑවැද්ද නිසා සිදුවන හිරිහැර හා මරණ පිළිබඳ කතා අනන්ත අසන්නට ලැබෙනවා.මීට දශක ගණනාවකට පෙර දෑවැද්ද නීතිවිරෝධී බව ඉන්දීය රජය තීරණය කළා.ඒත් තවම ඒ ඛේදවාචකය අවසන් වී නෑ.නැන්දම්මා විසින් ගිනි තබා මරා දැමූ ගැහැනු,සැමියාගේ පවුලේ අය විසින් ගිනි තබා මරා දැමූ ගැහැනු ඉන්දියාවේ ඕනෑතරම් හිඳිනවා. සමහර අපරාධ හෙළිදරව් නොවීම ද දුක්ඛිත කාරණාවක්.
“මගේ දෙමාපියන් ස්වර්ණාභරණ සහ සුඛෝපභෝගී මෝටර් රථයකට අමතරව දෑවැද්ද ලෙස රුපියල් ලක්ෂ දාහතරක් ද ලබා දුන්නා. පවුල් දෙක අතර මේ දේවල් සාකච්ඡා අවසන් වන විට විරෝධතාවක් තිබුණේ නෑ. මට කියන්න දෙයක් තිබුණේ නැහැ. මේ නිසා මට තේරුණු කාරණය නම් දෑවැද්ද ඉල්ලීම සහ දීම අප සමාජය තුළ රහසිගතව සහ ප්‍රසිද්ධියේ පැතිරී පවතින බවයි.”
ඉන්දීය මාධ්‍යවේදිනියක් පරිගණක උපාධිධාරියෙකු සමඟ සිදු වූ ඇගේ විවාහය ගැන මෙසේ පවසා තිබුණේ Indian Express වෙබ් අඩවියටයි.එහෙත් ඇය ඒ අසාර්ථක විවාහයෙන් වෙන්වී තිබෙනවා.
ඉන්දියාවේ ජාතික අපරාධ වාර්තා කාර්යාංශයේ (NCRB) නඩු දත්ත වලට අනුව, දළ වශයෙන් සෑම පැයකටම කාන්තාවක් දෑවැද්ද සම්බන්ධ මරණවලට ගොදුරු වෙනවා. මීට අමතරව ඉන්දියානු කාන්තාවන් සෑම මිනිත්තු හතරකට වරක්ම තම සැමියාගේ හෝ නැන්දම්මාගේ කෲරත්වයට ගොදුරු වෙනවා. දිල්ලි පොලිස් වෙබ් අඩවිය සඳහන් කරන්නේ පසුගිය වසරේ අගනුවරදී දෑවැදි මරණ අනූ හතරක් සිදුව ඇති බවක්.පූර්ව NCRB දත්ත වලට අනුව, 2010 දී, ඉන්දියාවෙන් වැඩිම දෑවැදි මරණ සංඛ්‍යාව වාර්තා වී ඇති අතර එය නඩු 8,391 ක්.
ඒවා කිසිසේත්ම සුළුපටු සංඛ්‍යාවන් නොවෙයි.
1961 ඉන්දීය පනතට අනුව දෑවැද්ද යනු විවාහයකට “සෘජුව හෝ වක්‍රව” සම්බන්ධ පුද්ගලයන් විසින් හෝ සන්ධානයට අදාළව “දෙපාර්ශ්වයේ දෙමාපියන් විසින්” ඕනෑම දේපලක් හෝ “වටිනා ආරක්‍ෂාවක්” ලබා දීමයි.
කීර්තිමත් ඉතිහාසඥ වීනා තල්වාර් ඕල්ඩන්බර්ග් ඇගේ Dowry Murder පොතේ මෙම කාරණාව ගැන සඳහන් කරන්නේ මෙහෙමයි.. “පූර්ව යටත් විජිත ඉන්දියාවේ, දෑවැද්ද ගැටළුවක් නොව කාන්තාවන් සඳහා ආධාරකයක් වුණාඑය ඔවුන්ගේ සමාජ තත්වයේ සලකුණක් සහ ආරක්ෂිත දැලක්”.නමුත් මින් සිදු වුණේ දිලිඳු ඉන්දීය තරුණියන්ට හොඳ විවාහයක් සහ ආරක්ෂිත ජීවිතයක් නොලැබී යාමයි.අතීතය සිදුකළ වැරදි අනාගතයටත් දඬුවම් ලබා ලබාදෙනවා කියන්නේ මෙන්න මේ වගේ කාරණා නිසා.අතීතයේ තමන් ගේ තත්ත්වය පෙන්වන්න ඉන්දීය පවුල් සිදුකළ මේ චාරිත්‍රය වර්තමානය වන විට තරුණියන් සියදිවි නසා ගැනීම දක්වාම ඛේදවාචකයක් වී අවසන්.
2 States වැනි ඉන්දීය චිත්‍රපටි වලින් ද දෑවැද්දේ ඛේදවාචකයන් ගෙන කතාබහ කෙරෙනවා.නමුත් ඉන්දියාව කියන්නේ සිනමා නිර්මාණයකින් මොල ශෝධනය කළ හැකි රටක් නොවෙයි.මේ සටහන කියවන මොහොතේදීත් ඉන්දියාවේ යුවතියන් දෑවැද්ද නිසා අපමණ හිරිහැර සහ කරදර වලට ලක්වෙනවා ඇති.
තම දියණියන්ට හොඳින් උගන්වා ඔවුන්ට තමන්ගේ ආදායම තමන්ටම සපයා ගැනීමට ඉඩ හරින්නැයි ඉන්දීය කාන්තා සංවිධාන නිරන්තරයෙන් සිහිපත් කරනවා.හොඳින් ඉගැන්වූ දියණියකට නැවත මිල මුදල් ද ගෘහ භාණ්ඩ ද දේපළ ද ලබා දිය යුතු නැහැ.ඔවුන් ස්ථාවරත්වයට පත් වූ ගැහැනු.පවුලක බර සැමියා හා සමසමව දරන්නට ඔවුන්ටත් පුලුවන්.ගැනීම මගින් මූණ ස්වාධීනත්වය ළඟාකර දීමට හැකි නම් මේ ගැටලුව මෙතනින් නවතින බවයි භාරත ස්ත්‍රීවාදිනියන්ගේ අදහස.
එය සැබෑවක්.අධ්‍යාපනය ගැහැනියකගේ ආභරණය විය යුතුයි.ඇය තමන්ගේ බුද්ධිය අනුව තෝරාගන්න රැකියාව ඇය සමඟ මුළු ජීවිත කාලයම රන්දමක් සේ රැඳී සිටිනවා.බුද්ධියෙන් පමණක් නෙවෙයි,තමන්ගේ මහන්සියෙන් ජීවන වියදම උපයාගන්නා කිසිම ගැහැණියක විවාහය වෙනුවෙන් මුදලින් හෝ භාණ්ඩවලින් සැමියාගේ පවුලට බදු ගෙවිය යුතු නැහැ.මෙය ඉන්දියාවේ තරමට අපේ රටේ ඛේදවාචකයක් නෙමෙයි.නමුත් නව විවාහයකට පත්වන යුවතියකට ලුණු පොල් කටුවේ සිට සියල්ල ලබා දී සැමියාගේ නිවසට යවන චාරිත්‍ර අපේ රටේ ද නැතුවා නොවේ.
මූල්‍ය ස්වාධීනත්වයත් හොඳ පෞරුෂයත් ගුණධර්මත් රැගෙන කුල ගෙදරට පිය මනින්නට ආසියාවේ හැම දියණියකට ම හැකි වේවා!එය එසේ වෙන දවසක අයේෂා වැනි පීඩිත ගැහැනුන්ගෙ කතා අපට අසන්නට නොලැබේවි.