පැරණි පෙම් මතකයෙන් ජීවිතය පුරා විඳ වූ තරුණියක්

(මනෝ උපදේශිකා රශ්මි රාජපක්ෂ මහත්මියගේ වෘත්තිය අත්දැකීම් ඇසුරෙනි. වෘත්තිය සදාචාරය වෙනුවෙන් නම් ගම් මනඃකල්පිත වේ)

“අපි මේ සම්බන්ධෙ නවත්තමු පූජිතා. මම හිතන්නෙ නෑ ඇත්තටම අපි තව දුරටත් මේ අෆෙයාර් එක කන්ටිනිව් කරගෙන යන්න ඕන කියල. ඇත්තටම අපි අතරෙ තියෙන්නෙ ආදරයක්ද කියන එකත් මට දැන් ප්‍රශ්නයක්.මම මොන දේ කරත්, කොච්චර ආදරෙන් කතාකරත්, කොච්චර හොඳින් සැලකුවත් ඔයා මගේ අඩුපාඩුවක් දකිනව ඇරෙන්න හොඳක් කියලම නැනෙ.

මම ඔයාට අවංකවම ආදරෙයි. ඒත් මට උනත් දෙයක් දෙන එකම විතරක් කරන්න පුලුවන් සීමාවක් තියෙනවනෙ. ආදරේ කෙනෙක් දෙන්නෙ ආදරේ ලබන්න බලාපොරොත්තුවෙන්. මම මෙච්චර කාලයක් ඔයාගෙන් ආදරයක්, හොඳක් අහන්නෙම නැතුව ඔයාට ආදරේ කරා. ඒත් ඔයා කවදාවත් මට එහෙම ආදරේ පෙන්නල නෑ”

කෝලිත කතා කරේ තරහකින් නෙවෙයි වේදනාවකි. පූජිතාට දරාගන්න ගොඩක්ම අමාරු උනේ කෝලිතගේ කටහඬේ තැවරිල තිබිච්ච ඒ වේදනාව. කෝලිත තමන්ට බැණල දමල ගහල ගියානම් මීට වඩා හිතට සැනසීමක් බවයි පූජිතාට හිතුනෙ.

අනෙක් අතට කෝලිත කියන්නෙ ඇත්ත. තමන් තමන්ගෙ ජීවිතේ උන්න හැම ආදරවන්තයෙක් දිහාම බැලුවෙ සුරංගගෙ මට්ටමෙන්. ජීවිතේට මොන මනුස්සය ආවත් සුරංග එක්ක ඒ මිනිස්සුන්ව සසඳන එක පූජිතාට නතර කරගන්න පුලුවන් උනේ නෑ.

සුරංගගෙයි තමන්ගෙයි සම්බන්ධෙ කැඩුණෙ ඇයිද කියන හේතුවට වඩා පූජිතාට ප්‍රශ්නෙ උනේ තමන්ටෙ සුරංගගෙන් එහා ලෝකයක් ගැන හිතන්න බැරි උනේ ඇයිද කියන එක.

“අනේ මාව දාලා යන්න එපා කෝලිත” කියල මී පැටියෙක්ගෙ කටහඬකින් පූජිතා ඉකිබිඳින ගමන් කිව්ව උනත් කෝලිත උන්නෙ ආපහු හැරෙන අදහසකින් නෙවෙයි.

“සුරංග මාර ලස්සනට අඳිනව, හරි නීට්”

“සුරංග ඉඳියනම් ඔහොම නෙවෙයි කරන්නෙ”

“සුරංග නම් ඔය වගේ නෙවෙයි ඕක යූස් කරේ”

“සුරංග නම් ඔහොම නෙවෙයි, සුරංග නම් මෙහෙමයි, සුරංග..සුරංග..සුරංග” කියන වචන මේ ගෙවිච්ච මාස කීපය ඇතුලෙම තමන්ගෙ හිත අස්සෙ මොනතරම් දෝංකාර දුන්නද කියල මතක් වෙද්දි මොනතරම් ආදරේ උනත් ආපහු හැරෙන්න තමන්ට බැරි බව කෝලිත දැනගෙන හිටියා.

“ඔයා ඇයි මාව හැමතිස්සෙම සුරංග එක්ක කම්පෙයාර් කරන්නේ?”

“සුරංග තමයි මට මගේ ජීවිතේ හම්බෙච්ච පර්ෆෙක්ට්ම මනුස්සය. මම දන්නව මම එහෙම කරන එක වැරදියි කියල. ඒත් ඇත්තටම මට ඒක නිකන්ම කෙරෙනව. අයෑම් සොරි කෝලිත”

කියල පූජිතා තමන්ගෙන් දහස් වාරයක් සමාව ගත්තත් එයා ආයෙ ආයෙ කරන්නෙ එකම දේ බව දැනගද්දි කෝලිත තේරුම් ගත්ත මේ ආදර සබඳතාවය තව ඉස්සරහට යන එකෙන් වෙන්නෙ තමන්ගෙ හිත රිදෙන එක විතරක් බව.

පූජිතා මගෙ ලඟට එන්නෙ ඒ විදියට. අවුරුදු තිස් ගාණක් වෙච්ච තමන්ගෙ ජීවිතේ ඇතුලෙ ඇත්තටම හොඳයි කියන්න පුලුවන් විදියෙ ප්‍රේමවන්තයින් මොනතරම් හමු උනත් මීට අවුරුදු කීපෙකට කලින් තමන්ව අතෑරල දාල ගිය ප්‍රේමවන්තය නිසා හිත අස්සෙ ඇතිවෙච්ච හිඩස තමන්ව මේ තත්ත්වෙට ඇදල දාලා තියෙන බව පූජිතා තේරුම් අරගෙන තිබුණා.

“සුරංගම තමයි අෆෙයාර් එක නතර කරේ. ඒත් අපි කවදාවත් තරහ උනේ නෑ. අදටත් එයා මට ඉඳල හිටල කතා කරනවා. ඒත් ඒ නිසාම මට සුරංගව සහමුලින්ම අමතක කරල වෙන කෙනෙක්ට ආදරේ කරන්න පුලුවන් කමක් නෑ.

ඇත්තටම සුරංගට වඩා හොඳයි කියන්න පුලුවන්, ආදරේ දෙන්න පුලුවන් විදියෙ මිනිස්සු මට හම්බුනා. ඒත් මම හැමතිස්සෙම කරේ ඒ අයව සුරංග එක්ක කම්පෙයාර් කරපු එක. සුරංගට තිබුන එයාලට නැති දෙයක් හොයාගන්න උත්සහ කරපු එක”

පූජිතා තමන්ගෙ වේදනාව මං ඉස්සරහ දිග ඇරියෙ අන්න ඒ විදියට.

“ඔයා ඇයි කෝලිතව සුරංග එක්ක කම්පෙයාර් කරේ? කෝලිත හොඳ කෙනෙක් නේද?”

පූජිතා කියපු කතා ඔස්සේ එයාගෙ ජීවිතේට ආ ගිය ප්‍රේමවන්තයින්ගෙන් ආසන්නම කෙනාව අපේ කතාබහට ඇදල ගන්න මම තිරණය කරා.

“කෝලිත හරි හොඳයි. ඒත් එයාට බෑ සුරංග මට ආදරේ කරා වගේ ආදරේ කරන්න. ඉස්සර සුරංග හැමදාම හවසට වැඩ ඇරිල යන ගමන් මාත් එක්ක කෝල් එකේ ඉන්න ගමන් යන්නෙ. සුරංග ට්‍රේන් එකේ ගෙදර ගියේ. ඒත් කෝලිත කාර් එකේ ගෙදර ගිහිල්ලත් එයා ගෙදර යනකම් මට කතාකරන්නෙ නෑ.

ඉතින් මට හැමතිස්සෙම හිතුනෙ සුරංග තමයි මට ගොඩක්ම ආදරේ කරේ කියල”

“සුරංග නම් ඔයාට ගොඩක්ම ආදරය කරේ, අදටත් එයා ඔයා ළග ඉන්න ඕන නේද?”

මම ඒ ප්‍රශ්නෙ පූජිතාගෙන් ඇහුවෙ එයාටම මොහොතක් එයාගේ ජීවිතේ, එයා කරන කියන දේවල් ගැන හිතන්න ඉඩක් දෙන්න.

අපි ඕනම කෙනෙක්ගෙ ජීවිතේ ආදරවන්තයින් කීප දෙනෙක් ඉන්න පුලුවන්. ඒ අතරින් අපි වඩාත් කැමති චරිතයක් ඉන්න පුලුවන්. සමහරවිට ඒ අපි වර්තමානෙ ආදරේ කරන කෙනා නොවෙන්න පුලුවන්.

මේව ජීවිතේ හරි සාමාන්‍ය දේවල්. ඒත් ඒ සාමාන්‍ය දේවල් අසාමාන්‍ය ප්‍රශ්න විදියට අපේ ජීවිතේට අරගෙන එනවද කියන කාරණාව ගැන අපි හරිම සැලකිලිමත් විය යුතුයි.

“සුරංග කෝලිතට වඩා මට ආදරෙයි”

පූජිතා වගේම ඔයත් සමහරවෙලාවට ඔයා විසින් අතීතයේ අත හැර දා ආව ආදර කතාවක් වර්තමානෙ ඔයාට තියෙන ආදර කතාව එක්ක සසඳනවා වෙන්න පුලුවන්. ඒත් කිසිම මොහොතක හිතන්න එපා අතීතයේ මග හැරූන අපේ හිතට ගොඩක්ම දැනුන ආදර කතාවක් වර්තමාන ආදර කතාව හා සැසඳීමෙන් අපේ වර්තමාන ආදර කතාවට හොඳක් හෝ සාධාරණයක් වෙන්න පුලුවන් බව.

අපිට කවදාවත් ආදරේ කරන්න එකම වගේ මිනිස්සු හමුවෙන්නෙ නෑ. එකම විදියෙ සිතුම් පැතුම් තියෙනව කියල අපි හිතන, විශ්වාස කරන මිනිස්සු දෙන්නෙක් අතර උනත් අපිට සමීප උනාම විතරක් පේන විශාල වෙනස්කම් තියෙන්න පුලුවන්.

ඉතින් ආදර සබඳතාවයක් ඇතුලෙ “ඔයාට වඩා එයා හොඳයි” එහෙම නැත්ත, “ඔයාට ඇයි බැරි එයා මට ආදරේ කරා වගේ ආදරය කරන්න” කියන ප්‍රශ්නවලටඑන්න ඉඩක් තියන්න එපා.

අපි කැමති නැහැ නේද අපි මහමෙරක් වගේ හදවතින්ම ආදරය කරන පුද්ගලයා එයාගේ පරණ ප්‍රේමයක් අපි අතරෙ තියෙන ප්‍රේමය එක්ක සසඳනවට? නෑ.

ඉතින් අපි වෙන කෙනෙක් දිහා බලන්න ඕනත් ඒ ඇහෙන්මයි.

අපිට බෑ එක මනුස්සයෙක්ව ඊට හාත්පසින්ම වෙනස් සිතුවිලි තියෙන, පෞරුෂයක් තියෙන කෙනෙක් සමග සසඳන්න. ඒ සැසඳීමෙන් ඔයාට යහපත් ප්‍රතිපලයක් ලැබේවි කියන සිතුවිල්ල කිසිසේත්ම හිත ඇතුලෙ තියාගන්න එපා.

ජීවිතේ පුරාවට අපිට ආදර කතා හමුවෙනව. ඒ ආදර කතා එක එක විදියයි. හරියට පරිසරයෙ අපිට දකින්න ලැබෙන විවිධ සෘතු වගේ. එක එක සෘතු වල තියෙන්නෙ ඒ සෘතුවට ආවේණික සුන්දරත්වයක්.

ගිම්හාන කාලෙක දකින්න ලැබිච්ච දුඹුරු පාට ලස්සන අපිට පාට පාට මල් පිපෙන වසන්තයක දකින්න බෑ. ඒ වසන්තයේ වර්ණවත් ලස්සන සුදු පාට සීතල කාලයක අපිට දකින්න බෑ. ඉතින් වසන්තයේ මල් සුවඳ සීතල සිසිරයක බලාපොරොත්තු වෙන්න එපා.

එහෙම උනොත් ඒ සිසිරයේ තියෙන සීතල සුන්දරත්වය ඔයාට හදවතින්ම විඳින්න බැරි වෙන්න පුලුවන්!

Related Articles

Don't Miss


Latest Articles