කුස්සිය පැත්තෙන් ඉමිහිරි සුවඳක් ගලාගෙන එනවා.දසුන් සද්ද නොනැගෙන්න කුස්සියට එබුණා.ශානිකා වෙනදට වඩා රසට විතරක් නෙවෙයි ජයටම උයනවා කියන පුදුමය බලා ගන්නයි දසුන්ට ඕන වුණේ.හැමදාම කන් කෙඳිරි ගාමින් උයන,මොනවා හරි සරල දේකින් ශේප් වෙන ශානිකාට අද මේ මොකද වුනේ කියල දසුන් කල්පනා කළා.
ඒත් කුස්සියේ හිටියේ ශානිකා නෙවෙයි.ලස්සන,හීන්දෑරි,ශානිකා ගෙ පෙනුමට යම් සමාන කමක් තියෙන තරුණියක්.කසාද බැඳලා හිටිය අවුරුදු තුනට වගේම යාලුවෙලා හිටිය අවුරුදු ගාණටම එහෙම කෙනෙක් ව දැක්ක බවක් දසුන් ගේ මතකයේ නම් නැහැ.ඒත් කොහෙන් හරි තමන් ඇයව දැකපු බවක මතකයක් දසුන්ට තියෙනවා.දසුන්ගේ අඩි සද්දයට හැරිලා බලපු යුවතිය දසුන්ව අඳුන ගත්ත බැල්මක් සමග හිනාවුණා.
“අක්කා පොඩ්ඩක් කඩේට ගියා අයියෙ,දැන් එයි.අයියා දැන්ද ආවෙ?තේ එකක් හදන්නද අයියට”
දසුන් ගේ තරමක විපිලිසර බව දැකලා යුවතිය සිනාමුසුව කතා කළා.
“මම ශානිකා අක්කගෙ ලොකු අම්මගෙ දුව.අයියා අපිව දැකලා නැහැනෙ.අපි ලංකාවෙ හිටියෙ නැහැ.අවුරුදු ගානකට පස්සෙ සතියකට කලින් ලංකාවට ආවෙ.”
විනීත විදියට යුවතිය සමග සිනාසුන දසුන් ආපසු හැරෙද්දිම ශානිකා පිටි පස්සෙ.ශානිකා ගෙ ඇස්වල සතුට උතුරනවා.ගේ ඇතුලේ අම්මාගේ කාමරයෙන් කවුද කතා කරනවා දසුන්ට ඇහෙනවා.
“අනේ දසුන් ඔයා අද ඉක්මනින් ඇවිත්.මේ නවෝදා නංගි.එයා ල ලංකාවෙ නෙවේ හිටියෙ.අපේ ගෙදර දවස් කීපයක් ඉඳියි.මෙයාගෙ කෑම කෑවොත් නම් ඔයා මට යන්න කියල මෙයාව තියාගනී කියල තියෙන බය විතරයි ඉතින් මට තියෙන එකම ප්‍රශ්නෙ”
නවෝදා සහ දසුන්ව සිනා ගන්නවමින් ශානිකා පවසනවා.ශානිකාගේ ඒ සැහැල්ලු කෙලිලොල් බවට දසුන් හැමදාම කැමතියි.ආගන්තුක බව ගිලිහිලා ගිහින් මිත්‍රශීලී සැහැල්ලුවකින් පරිසරය වෙලී ගියා.
“මම වොෂ් එකක් දාල එන්නම්කො,ඔයාට යන්න කියනවද කියලා කෑම කාලම කියන්නම්කො”එහෙම කියපු දසුන් කාමරයට ගියා.බාතෲම් එකට යන්න අවශ්‍ය කලමණා ඔක්කොම අරන් ඒ අතරට ෆෝන් එකත් අරන් ඇතුලට රිංගුව දසුන් ට මේ යුවතිය ගේ හුරු බව ආවේ කොහොමද කියලා මතක් වෙලා දෙලෝ රත්වුණා.
සිය ෆේස්බුක් මිතුරියන් අතර සිටින ඇයට හායි මැසේජස්,වෙනත් මැසේජස් බර ගණනක් යවමින් තමා සමග චැට් කරන්නට ඇයව පොළඹවා ගන්නට කල උත්සාහයන් දසුන්ගේ මතකයට ආවා.එකම නමින් ගිනුම් දෙකක් පවත්වාගෙන ගිය නිසා මේ ගිනුමේ ශානිකා සමග ෆොටෝස් කිසිවක් පල නොකර සිටීමට දසුන් පරිස්සම් වුණා.ඒ වගේම දසුන්ගේ මිතුරු නඩයේ සියල්ලෝම පිස්සු නැටුවේ මේ අකවුන්ට් එක හරහා.අනෙක් එක වැදගත් සත්ගුණවත් දසුන් ලෙසට හැසිරුණා.
ඉක්මනින් මැසෙන්ජර් ලොග්වුන දසුන් කෝකටත් කියා ඇයට යැවූ මැසේජස් ටික ඩිලීට් කරල දැම්මා.ඇය තමන්ව හඳුනා ගනීදෝ බයකින් ඔහු වෙලුණා.ඉක්මනින්ම මිතුරු සුදත්ට ඇමතුමක් ගත් ඔහු කාරණය කෙටියෙන් පැවසුවා.
“බ්ලොක් කරල දාපං මචං,එතකොට කෙල්ලට සැකයක් එන්නෙ නෑනෙ.”
සුදත් කියපු විදියට ත් බ්ලොක් කලත් කෙල්ල ටික වෙලාවකින් අනිවාර්‍යයෙන්ම තමන්ව අඳුන ගත්තොත් කියන සැකේ නිසා දසුන් හිටියේ එලෝ මෙලෝ නැතිව.බාගෙට නාගෙන කාමරයට එද්දි කෑම මේසෙ ජයටම සරසලා හැමෝම වාඩි වෙලත් හිටියා.
“මොකෝ අනේ ඔච්චර පරක්කු වුනේ”ශානිකා නෝක්කාඩු කිව්වා.අද ඉක්මනින්ම දුවන් එන්න ඕන දවසනෙ කෑම මේසෙට.”
නවෝදාගේ දෑස් වැඩ වලින් මිදී විවේකීව තිබුණ බැවින් කෑම මේස ය උගුලක් වගේ දසුන්ට පෙනුනා.අනික මූනට මූන බලාගෙන වාඩිවුණාම ඉතින් අතේ මාට්ටු.මාත් ෆොටෝ කීපයක් ඉන්බොක්ස් කලාත්නෙ.එක වරම දසුන්ට ගණ දෙවි නුවණ පහල වුණේ ශානිකා දෙවෙනි වරත් කතා කරද්දි.
“මොනා ද අනේ කරන්නෙ එන්නකෝ”
“මම පොඩි ප්‍රශ්නෙක ශානිකා.ඔයාල කන්න.මම විනාඩියෙන් එන්නම්”එහෙම කියපු දසුන් ආපහු කාමරයට රිංගුවා.අකවුන්ට් එක අක්‍රීය කරලම කෑම මේසෙට ආවෙ සැහැල්ලුවෙන්.
“ඒක නෙවේ,යාලුවෙක් මේ දැන් කෝල් කලා මගෙ පින්තූර දාපු ෆේක් එකක් තියෙනව කියල.ගිහින් බලද්දි මගේ ෆොටෝ ඔක්කොම අරන්.මම ඒක රිපෝට් කලා.අපි ඔක්කොම රිපෝට් කලා.දැන් බලද්දි අකවුන්ට් එක නෑ.කෝකටත් සැරින් සැරේ බලන්න ඕන”
“හම්මෝ,ඔයින් ගියා ඇති.මාර හොරුනෙ අප්පා ඉන්නෙ.අනික ඔයා වැඩිය ෆේස්බුක් ඉන්නෙත් නෑනෙ.”
හිස වනමින්,කිසියම් කරදරයකින් නිදහස් වුන පෙනුමකින් දසුන් කෑම මේසයට වාඩිවුණා.රසවත්,ඉමිහිරි සුවඳ කෑම බීම අතරේ නවෝදාගේ ඇස් තමන්ව ස්කෑන් කල බවත් ඉක්මනින් අකවුන්ට් එකට ලොග් වී කිසියම් දෙයක් බැලූ බවත් දසුන් දැක්කා.
ඒත් තමන්ගේ ෆේක් එකක් හදාගෙන,තම නමින් පෙනී සිටින තරුණයෙක් ගැන විශ්වාස කරමින් කිසිවක් නොවූ ලෙස දසුන් ප්‍රණීත ආහාරවල පලමු කට සැහැල්ලුවෙන් බඩට තල්ලු කරන ගමන් නවෝදා සමග ඉතාමත්ම සැහැල්ලුවෙන්,මිත්‍රශීලීව සිනාසුණා