“දැන් ඔයාගේ අන්තිම තීරණේ ද ඔය?”
සමරසේකර නෝනා දුව දිහා බැලුවේ වේදනාව පිරුණු ඇස් දෙකකින්.අවුරුදු විසි හයක කෙල්ලකට හිතුවක්කාර වෙන්න පුලුවන් තමයි.ඒ වුණාට මෙච්චර හිතුවක්කාර වෙන්න ඕනද? ආදරේ කියලා මේ ළමයි දකින ලෝකේ මොනතරම් වෙනස් ද?
“මම පවන්ව මැරි කරනව අම්මේ..”
ඒ අන්තිම තීරණය කියලා දුලානි කියන්නේ තද හඬකින්.සමරසේකර නෝනා පවන් කියන ඉලන්දාරියාව මතක් කළා.පවන් කියන්නේ නරක මනුස්සයෙක් නෙවෙයි.දුලානිගේ ඔෆිස් එකේ ඉන්න බොහොම ගුණයහපත් වැදගත් කොල්ලෙක්.හැබැයි ඒ ඉස්සර.මේ දේවල් වෙන්න ඉස්සර.
“අපි අද ඉඳන් ඔෆිස් යන්නේ නැහැ සති දෙකක්ම.අනේ අම්මේ උඩට එන්න එපා හොඳේ.”
ගෙදර ස්ථාවර දුරකථනයට හිටිහැටියේම කතා කරල ගෙදර කාමරේ ඇතුළේ හිටිය දුලානි එහෙම කියනකොට සමරසේකර ජෝඩුව කලබල වුණා.ඒ මොනවද ඒ වුණේ කියලා හිතාගන්න බැරි ගාණයි.ඒ වුණාට දෑවුරුද්දක් තිස්සේ ලෝකෙට වුණු දේවල් එක්ක මෙහෙම සිද්ධි දරාගන්න භාර ගන්නම වෙනවා.දුලානි බය වුණේ අම්මා තාත්තා ලෙඩේ බෝ කරගනී කියලා.දොරෙන් මෙහා පැත්තෙන් කෑම ජාති බෙහෙත් ජාති තියනකොට සමරසේකර නෝනා හීල්ලුවෙ දුලානි ගැන බයෙන්.
“අනේ අම්මේ..අර අපේ ඔෆිස් එකේ පවන්ගේ නෝනා..”
සමරසේකර නෝනා කාමරේට කෑම අරගෙන ගියාම දුලානි කිව්වේ ඉකි ගහන ස්වරයකින්.දුලානි ඒ මඟුල් ගෙදර ගිය හැටිත් දරුවෙක් ලැබෙන්න හිටිය පවන්ගේ බිරිඳට කෑම ජාති අරන් ගිය හැටිත් සමරසේකර හාමිනේට අමතක නෑ.මේ වසංගතේ මේ වගේ ජීවිත කීයක් උදුරා ගනීද කියලා සමරසේකර ගෙදර අය වේදනාවෙන් කතා කරලා යන්තම් අවුරුද්දක් ගෙවුණා විතරයි.
දුලානි ආදරෙන් බැඳිලා! පවන් කියන්නේ තාත්තා කෙනෙක්.අවුරුද්දයි මාස ගාණක පොඩි දුවෙකුගේ තාත්තෙක්.ජයටම දවස් හතක් මඟුල් කාලා දීග දෙන්න හිටපු එකම දෝණි මේ වගේ දෙයක් කරගත්තම ඉහිලුම් දෙන්න පුලුවන්ද?
සමරසේකර නෝනා පුලුවන් තරම් දෙස් දෙවොල් තිබ්බා.තාත්තා එළවළු ලෑල්ලකින් පටන් අරන් ගොඩ නගපු ව්‍යාපාර ගැන ඒ ව්‍යාපාර ගොඩ නගන්න දාඩිය මහන්සිය වැය කරපු හැටි කියමින් දුලානිට දෙස්දෙවොල් තිබ්බා.දුලානි කිසිම දෙයක් නෑහුණු ගාණටයි හිටියේ.
“කසාද බැඳපු මිනිහෙක් බැඳගන්න මොනවද චූටි මැණිකේ ඔයාට අඩු වුණේ..”
පවන් කියන්නේ බිරිඳ මිය ගිය කෙනෙක් බවත් තමන් පවුලක් කැඩුවේ නැති බවත් දුලානි කියන්නේ හිතුවක්කාර හඬකින්.රත්තරන් කියලා පිහියෙන් ඇන ගන්නද?කොච්චර හොඳ මිනිහෙක් වුණත් පවන්ට දුව දෙන්න බෑ.
“මේවා තාත්තා දැනගත්තම පපුවේ අමාරුවක් එයි..”
සමරසේකර නෝනා අන්තිම තුරුම්පුව අතට ගත්තා.ඒත් දුලානි සැලුණේ නෑ.මේවා තවදුරටත් සැමියාගෙන් හංගලා වැඩක් නෑ.ඉකි ගහන අතරේ කතාව කියා ගන්න සමරසේකර නෝනාට පුලුවන් වුණා.සමරේ දැන් පපුව අල්ලාගෙන කල්පනා කරනවා ඇති.එහෙම හිතලා ඇස් උස්සලා බලනකොට සමරසේකර මුදලාලි ඈත බලාගෙන කල්පනාව.පුංචි හිනාවක් තොල් මත්තේ පිපිලා.දුම්මල වරම ගනී කියලා හිතපු මනුස්සයා හිනා වෙනවා.
“අපේ දුවනෙ..”
සමරසේකර මුදලාලි එහෙම කිව්වේ සමරසේකර මුදලාලි හාමිනේ දිහා බලාගෙන නම් නෙවෙයි.අවුරුදු විසි හතකට අටකට කලින් දැක්ක උදුලාවතී පුංචි කුමාරිහාමි දිහා බලාගෙන. වලව්වේ ඩ්‍රයිවර් වෙලා ආපු සමරසේකර කොලුවට ඇස් කරකලා හිනා වුණු උදුලා ඒ කාලේ මොනතරම් ලස්සනද?
“අම්මලට ඕන නවරත්න අයියට මාව දෙන්න..”
උදුලා එහෙම කියන්නේ ඇස් පොකුණකට හරවගෙන.කම්මුල් දිගේ ගලාගෙන යන කඳුලු උදුලාගේ කම්මුල් දිගේ ගලනකොට සමරසේකරට ඕනෑ වුණේ උදුලාව පපුවට තද කරලා තුරුළු කරගෙන නළවන්න.
“නවරත්න මහ වනචර මිනිහෙක්..අර අහිංසක පුංචි කුමාරිහාමි පව්.” මුළුතැන්ගෙයි අත් උදව්වට ඉන්න ලීලක්කා ඒ කතාව නිතරම කිව්වා.සමරසේකර හිටියේ ගින්නකින් දැවෙන ගමන්.නවරත්න වගේ මිනිහෙක් එක්ක සටන් කරන්නේ කොහොමද?ආදරේ කියන්නේ සටනක් බවත් අත නෑර අල්ලා ගත යුතු තැන් එන බවත් සමරසේකරට තේරුම් ගියේ උදුලා අඬාගෙන සමරසේකර ඉස්සරහට ආපු වෙලාවක.අප්පච්චිත් අම්මත් ගෙදර නැති වෙලාවක නවරත්න ගෙදරට ආව බවත් එතැනින් එහා වුණු සේරම දේවලුත් උදුලා කියන්නේ කතා කරනවට වඩා ඉකිගහන ගමන්.
එදා රෑ වලව්වෙන් යන්න තීරණය කරන්න සමරසේකර වැඩි කාලයක් වැය කරේ නෑ.ලීලාවතී උදුලාව සමරසේකරට බාර කරේ අඬන ගමන්.අම්මා අප්පච්චිට වැඳලා යන්න ඕන ගමන ගෙදර ආයම්මට වැඳලා උදුලා එන්න ආවා.නවරත්න තලලා පොඩි කරපු මලක සුවඳ අඩුවෙන් දැනෙන බවක් කවදාවත් සමරසේකර හිතුවේ නෑ.ආදරේ කියන්නේ ආදරේට.එළවළු එකතු කරගෙන පොළවල් ගානේ ගිහින් දියුණු වෙන්න හදනකොටම උදුලා අසනීප වුණා.ඒ ජීවිතේ ලස්සනම හීනයක් වෙනුවෙන්.ඒ හීනේ ඉෂ්ට වුණේ උදුලා බලාගන්න බවට ඔළුව ඉඹලා පොරොන්දු දුන්නු වෙලාවෙද නැත්නම් නවරත්නට හැඟීම් පාලනය කරගන්න බැරි වුණු වෙලාවෙද කියලා සමරසේකර තාම දන්නේ නෑ.ඒ වුණත් පොළේ එලවලු විකුණපු සමරසේකරට සමරසේකර මුදලාලි වෙන්න ලැබුණේ දුලානිගේ වාසනාවට කියලා මුදලාලි නිතරම කියනවා.දුලානිගේ මුහුණේ නවරත්නගේ ලකුණු පෙනුණත් ආදරේ තියෙන්නේ ඊට වඩා ඉහළ තැනක.
“ආදරේ ඇති වෙන්න හේතු තියනවද මැණිකෙ.මැණිකේ මට ආදරේ කරේ හේතු තිබිලද? අපි දුක් විඳිනකොටවත් උඹ නොදකිං කියා ගත්තද? ඒ අපේ දරුවා.අපේ ලේ තියන දරුවා.ආදරේ මිසක් ලොකු ලොකු හේතු ඒ දරුවා හොයන්නේ නෑ..”
දුලානි ආදරේ කරන්නේ බිරිඳ මිය ගිය තරුණ තාත්තා කෙනෙකුට කියලා අහපු සමරසේකර මුදලාලි එහෙම කියන්නේ බොහොම නිවුණු කටහඬකින්. සමරසේකර නෝනා ඒ මුහුණ දිහා බලන් හිටියා.ඒ මීට විසි හත් අවුරුද්දකට කලින් නවරත්න තමන්ව දූෂණය කරපු හැටි කියද්දී ඉවසීමෙන් හිත හදපු කටහඬමයි.ඊටත් පස්සේ උදුලා අම්මා කෙනෙක් වෙන්න යනවා කියද්දී නවරත්නගේ නමක්වත් මතක් නොකර දුලානි එනතුරු මඟ බලපු ඇස් දෙකමයි.
“ආදරේ ගැන කෙල්ල ඉගෙන ගන්න ඇත්තේ අපේ මහත්තයගෙන්..”
සමරසේකර හාමිනේ එහෙම කියාගෙන නැගිට්ටා.පවන්ට ඉක්මනින්ම ඇවිත් යන්න කියලා දූට කියන්න ඕනෑ.ඇය හිතුවේ සමරසේකර එක්ක හිනා වෙන ගමන්.රූපවාහිනි තිරයේ ආදරවන්තයන්ගේ දවස ගැන දැන්වීමක් යනවා.
මිනිස්සුන්ට ආදරේ කරන්නයි ආදරෙන් ඉන්නයි ලැබෙනවනම් වෙන මොනවද කියලා සමරසේකර හාමිනේ ආයේ ආයෙම හිතුවා.