ඒ 2009 අවුරුද්ද.ඒ අවුරුද්ද අපේ රටේ වැදගත්ම සිදුවීමක් වුණු අවුරුද්දක්.ලියන්නත් අවශ්‍ය නැහැ.ඔබ කියනකොටම දන්නවා.තිස් වසරක යුද්ධය අවසන් වූ වසර ඒ! මේ සටහන කියවන ඔබ සමහර විට පාසල් යන දරුවෝ වෙන්නත් ඇති.ඒත් ඒ කාලය ඔබට අමතක නැතුව ඇති.
යුධ ජයග්‍රහණය සමරන්න යුධ හමුදාව විසින් ප්‍රදර්ශන සහ විවිධ සන්දර්ශන පවත්වන්න ගත්තෙ ඔය කාලයේදී.සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ පැවත්වුණු සරඹ සන්දර්ශනයක් වෙනුවෙන් අම්මටත් තාත්තටත් මටත් අපේ ඥාති සහෝදරයා විශේෂ පිවිසුම්පත් කිහිපයක් රැගෙන ආවා.ඔයාලට ඒ ඥාති සහෝදරයා මතක ඇති.පළමුවැනි කොටසේදී අවුරුදු දහතුනේ කෙල්ලක් හමුදාවේ ලිපි ගොනු වගයක් හොයා ගත්තේ ඔහු නිසා.
ඒ ගමනට මගේ ලොකූ කැමැත්තක් තිබුණෙත් නැහැ.ඒත් අම්මලා එක්ක මමත් ගියා.
“එහෙම තමයි! දෛවයට විවිධ සැලසුම් තියනවා.”
මමත් අම්මාත් ඉඳගෙන ඉන්නකොට අම්මා එක පාරටම මට අතින් සන් කරන්න පටන් ගත්තා.
“දුව..දුව..අර බලන්න.!”
ඒ ඔහු! වසර දහයකට පෙර ජීවමානව දුටු පසු නොදන්වාම මගෙන් සමු ගත් ඔහු.මම වැඩිහිටියන් කී සියල්ලක්ම විශ්වාස කර දික්කසාදය ලබා දුන් ඔහු!
මගේ සුධාරක!
ඇත්තටම ඔහු ඒ වන විට මගේ නොවන කෙනෙක්.සැබෑවටම පවුලක් තිබුණත් ඔහු ඒ වෙනකොට රටේ කෙනෙක්.අවසන් සටනට නායකත්වය දුන් නිර්භීත සෙන්පතියන්ගෙන් කෙනෙකු ලෙස මම ඔහුව රූපවාහිනි තිරයෙන් ඇති තරමට දැක තිබුණා.ඒත් දික්කසාදයට පෙර අපි මුණ ගැහුණේ අනූ නවයේ අවුරුද්දේ.අවුරුදුම දහයක්.මට එකතැනක ඉන්නට බැරිකමක් දැනුණා.අවුරුදු දහතුනක දඟකාර දැරිය ආයේ අවදි නොකර ගන්න ප්‍රවේසම් වුණත් මට ඒ පුටුවට වෙලා ඉන්න හැකියාවක් තිබුණේ නැහැ.
“අර සුධාරක නේද?”
අම්මත් අහනවා.එහෙම අහන්නවත් දෙයක් නැහැ.ඔහු තමයි ඒ.ඒ හැඟීම කියන්නට වචන නෑ.
මම යුධ හමුදා ඇඳුම සහිතව ඉන්න ඒ සෙන්පතියා දිහා ඒ දක්ෂයා දිහා ආදරයෙන් බලාගෙන හිටියා.මම එකපාරටම නැගිට්ටා! ඔහු ළඟට ගියා!
“අම්මා බැන්නේ නැද්ද?”
ඔන්න මට ස්මාර්ට්ලේඩි කණ්ඩායම අතුරු ප්‍රශ්නයක් නගනවා.මොන පිස්සුද? ඒ වගේ බැනලා නතර නොකළා නම් මම මෙතන ඉන්නේ බොහොම ගෞරවනීය විදියට කියලා සමහරවිට අම්මටත් හිතෙන්න ඇති.අනිත් කාරණාව ඒ වෙනකොට අම්මලා මට එහෙම නීති දැමීම නවතා දමලා අවසන්.
ඔහු පිරිසක් සමඟ කතා කරමින් සිටියා.ඒ කතාව අවසන් වෙනතුරුම මම පසෙකට වෙලා ඔහු මා වෙත අවධානය යොමු කරනකම් බලාගෙන හිටියා.ඔහු මාත් එක්ක කතා කරාවිද මාව නුදුටුවා සේ යයිද කියන එකවත් මම හිතුවේ නැහැ.බොලිවුඩ් චිත්‍රපටි වල දර්ශනයක් වුණානම් මම ඔහුව තදින් වැළඳගෙන ක්‍රීඩාංගනය දෙදරා යන තරමට හඬාවි.ශෝකි ගීතයක් පසුබිමින් වාදනය වෙද්දී පැමිණිලා ඉන්න පිරිස අපට මල් පෙති විසි කරාවි.එහෙම කිසිවක්ම නොවෙන සැබෑ ජීවිතය තුළ මම ඔහු මට අවධානය යොමු කරන තුරු බලාගෙන හිටියා.
කෙනෙකු ඔහුට මාව පෙන්නුවේ අන්න ඒ සිතුවිලි අතර අතරමං වෙලා ඉන්න වෙලාවේ.ඔහු හැරිලා මං දිහා බැලුවා.කිසිම කතාවකට කලින් මම ඔහු දිහා බලල බොහොම ආචාරශීලිව දෙයක් කිව්වා.
අනේ මාව දාලා ගියාද,ඇයි අපි වෙන් වුණේ වගේ බොළඳ කතා ඇසිය යුතු කෙනෙක් නෙවේ ඒ.ඒ වෙනුවට ඔහුට කියන්නට වටිනා දෙයක් මට තිබුණා.
“මට ඔයා ගැන බොහොම ආඩම්බරයි.හරිම හරි ආඩම්බරයි!”
අවසන් මානුෂීය සටනේ සිටි බලසේනාධිපතිවරුන් දහ දෙනාගෙන් කෙනෙකුට මම එහෙම කීවා.මගේ සුධාරක වැළඳ හඬනවාට වඩා ඒ නිර්භීත සෙන්පති සුධාරකට එහෙම කියන්නට උවමනා බව මම තේරුම් ගත්තා.මා වචනයකින්වත් නොරිදවූ බැල්මකින්වත් මට අවැඩක් නොකළ මගේ සංසාරික ප්‍රේමයට මම ඉංග්‍රීසි බසින් බොහෝ අවංකව සුබ පැතුවා.
ඔහු මදෙස බලා සිටියේ නිවුණු දෑසකින්!