අනාවැකි.

සජිතා තේ හදන්න පටන් ගත්තා.අද නිවාඩු දවස.මොනවාහරි පොඩ්ඩක් හදලා ගත්තම ඇති.ගිහාන් කොහොමටත් අද සජිතාවයි පුතාවයි එළියට එක්ක යන දවස.ඉරිද දවස කියන්නේ සැනසිල්ලේ නිදහසේ ඉන්න ඕන දවස කියලා තමයි ගිහාන් නිතරම කියන්නේ.

“මොනවද ඔයා හදන්නේ?”

සතියේ දවසට නම් දවසටනම් සජිතාටත් කලින් නැගිටලා උයන්න පටන් ගන්න එක ගිහාන්ගේ පුරුද්ද.පුතාව ඇහැරවාගෙන ඇඳෙන් බහින්නේ නැතුව හෙමින් සැරේ එන්න කියලා ගිහාන් උයන්න පටන් ගන්නවා.සජිතා එහෙම හිතන ගමන් ගිහාන් අතින් තේ එක තිබ්බා.

“පැස්ටා එකක් හදන්නං? නැත්නම් කල්‍යානි ඇන්ටිගෙන් ඉඳිආප්ප අරන් එන්න.මම කරි එකක් හදන්නම්..”

සජිතා එහෙම කියනකොට ගිහාන් හිනා වෙවී සජිතා දිහා බලාගෙන හිටියා.ගිහාන් සමහර දේවල් කරන්න කලින් හිනා වෙවී ඉන්න එක සජිතාට දැන් අවුරුදු දොළහක් විතර තිස්සේ පුරුදුයි.

“අද හරිනම් කිරිබත් හදන්න ඕන.සමරන්න ඕන දවසක්නෙ.”

ගිහාන් එහෙම කියද්දී සජිතා අද දවසේ විශේෂත්වය හිතුවා.මතක් වෙන්නේ නෑ.අද සංවත්සරයක් උපන්දිනයක් මොකුත්ම නැහැ.

“අදට හරිනම් මම මැරිලා අවුරුදුම අටක්..”

ගිහාන් එහෙම කියන්නේ හයියෙන් හිනාවෙවී.සජිතා ගිහාන් දිහා රවලා බැලුවේ චූටි පුතා ඒ හිනා සද්දෙට ඇහැරෙනවටනම් නෙවෙයි.ඒ වැඩකට නැති අතීතය මතක් කරන්නවත් සජිතා අකමැති නිසා.

Couple talking

“කෝ චමරි සජිතා..”

ගිහාන් බෝඩිම ළඟට ඇවිල්ලා එහෙම අහනකොටත් සජිතා ගමේ ගියා කියන්න කියලා ගිහාන්ට නෑහෙන්න බෝඩිම ඇතුළට වෙලා අඬපු දවස් සජිතාට තාමත් මතකයි.අවුරුදු හතරක විතර ප්‍රේමයක් එහෙම නිමා කරන්න සජිතාට අවශ්‍ය වුණේ නැහැ.රැවටීම් නැති,බොරු නීති නැති හිසරදයක් නොවූ ගිහාන්ව මේ ආත්මයේ විතරක් නෙවෙයි,හැම ආත්මයක සජිතා ප්‍රාර්ථනා කළා.

“හපෝ..මොකක්ද මේ කේන්දර දෙක…”

විවාහයට කලින් කේන්දර බලන්න ඕන කියලා සජිතාගේ අම්මා සජිතා එක්ක කේන්දර උස්සන් මානවඩු මහත්තයා ළඟට යනකම්ම සජිතා ගිහාන් එක්ක අනාගතේ ජීවත් වෙන හැටි ගැන දාහක් හීන මැවුවා.

“මේ කේන්දර දෙකේ අයිතිකාරයෝ එකට පෑහෙන් නෑ.බැඳලා මාසයක්වත් එකට ඉන්නේ නෑ.”

මානවඩු මහත්තයා එහෙම කිව්වේ නළල රැලි කරලා.නරකම කතාව ඊටපස්සේ!

“කසාද බැඳලා තුන්මාසෙන් මනමාලයා මැරෙනවා.ඒක එහෙම නොවුණොත් මම කේන්දර බැලිල්ල නවත්තනවා..”

සජිතා ගෙදර ආවේ තීරණයක් අරගෙන.සම්බන්ධය නැවත්වූ බවට ගිහාන්ට මැසේජ් එකක් යවපු සජිතා අඬලා අඬලා හිත හදා ගත්තා.ගිහාන් මොනතරම් පස්සෙන් ආවත් නෑහුණා වගේ හිටියා.”ඔයා ජීවත් වෙන්න ඕන ගිහාන්..” අඬන ගමන් පවා සජිතා එහෙම මතුරා ගත්තා.මේ දේවල් බලන් ඉන්න බැරිම තැන චමරි අවංක යාලුවෙක් වෙන එක අත් ඇරියා.සජිතා කියන්නේ එයාට වෙන පෙම්වතෙක් ඉන්නවා කියලා ගිහාන්ට කිවයුතු බවක්.නැතිනම් යාලුකම සදහටම අවසන් වග සජිතා කිව්වෙ තර්ජනයකින්. චමරි ඒවා මායිම් කරේ නැහැ.ගිහාන්ට මානවඩු අනාවැකිය කියන්න චමරි තීරණය කළා.

“මං බැඳලා මාස තුනෙන් මැරෙනවද අදම මෙතනම මැරෙන්න අරිනවද කියලා ඔයා තීරණය කරන්න.මගේ උපන් වෙලාව වැරදිලානම්.”

සජිතා ඒ තර්ජනයත් නොසලකා හැරියා.ඒත් මැටිනිටි වාට්ටුවක වෛද්‍ය පුහුණු කාලය ගෙවමින් හිටිය බෝඩිමේ මිතුරියක් තමන්ට වුණු අකරතැබ්බයක් කිව්වේ ඒ අතර.

“අද අම්මා කෙනෙක් හිටියා..බේරන්නම බෑ කියල අපි හිතුවේ.දඟලල දඟලලා අමාරුවෙන් ගොඩ දාගත්තා සර්ලා මැඩම්ලා ටික.පස්සෙ තමා මතක් වුණේ බබාගෙ උපන් වෙලාව ලියාගෙන නෑ කවුරුත්ම.ඊටපස්සෙ මිස්ලා අනුමානෙට ලිව්වා.අනේ ඉතින් ඒ වෙලාවට හදයි නේද ළමයගෙ කේන්දරේ..”

සාවිත්‍රි එහෙම කියලා හිනා වෙනවා.

“එක අතකට ඒ ළමයා අපල අරන් ආව ළමයෙක් යැ.ඔහොම තත්වෙකදි අම්මගෙ ජීවිතේ බේරෙන්නේ නැති තරම්.ඒ ළමය අම්මගෙ ජීවිතේ රැක ගත්තා කියල හිතමු.”

සාවිත්‍රිගේ කතාව එක්ක උපන් වෙලාව කියලා තියන සටහන වැරදිය හැකි බව සජිතාට හිතෙන්න ගත්තා.අම්මලා විරුද්ධ වුණා තමයි.ඒත් සජිතා ගිහාන්ව කසාද බැන්දා.මුල් මාස තුන ගිහාන්ට වාහනය පදවන නොදී,මදුරුවෙක් කන්න නොදී,හෙම්බිරිස්සාවක් තරම හැදෙන්න නොදී රැකගන්න සජිතා පුදුම මහන්සියක් ගත්තා.ෆෝන් එක ආන්සර් නොකරන තත්පරයක් ගාණේ ගිහාන්ට කරදරයක් කියල වැළපෙන්න පටන් ගත්තා.ඒත් මාස තුන ගෙවුණා.

“මානවඩු කාරයා තාම කේන්දර බලනවා..”

සජිතාගේ මල්ලි අක්කා බලන්න ආපු ඊයේ පෙරේදා දවසකත් එහෙම කියලා බැන බැන හිටියා.යාලුවෝ හිත හදපු නිසා ගිහාන්ගේ හිතුවක්කාරකම දරාගන්න සජිතා තීරණය කළා.ඒත් මානවඩුගේ අනාවැකි නිසා වෙන් වුණු ජෝඩු කොච්චර ඇතිද?

“ඇත්තටම කිරිබත් හදන්නම්..”

සජිතා එහෙම කිව්වේ හිනා වෙන ගමන්.අවුරුදු අටකුත් මාස තුනක විවාහ ජීවිතේ හයවෙනි අවුරුද්දෙදි ගිහාන්‍ ඩෙංගු උණ රෝගයෙන් පීඩා වින්දා.අන්න ඒ වෙලාවේ මානවඩුගේ කේන්දර අනාවැකිය මතක් වෙමින් තිබුණත් ලෙඩ රෝග කාටත් පොදුයි කියලා හිතන්න තරම් සජිතා එතකොට පරිණත ගැහැනියක්.

“ඔය සාස්තර ඇත්ත වෙච්ච තැනුත් ඇති.ඇත්තටම කරන මිනිස්සුත් ඇති..”

කිරිබත් හදන්න පොල් ගාන ගිහාන් සජිතාගේ ඒ කතාව අහලා හිනා වෙන්න පටන් ගත්තා.

“වැඩිපුර ඉන්නේ මානවඩු වගේ මිනිස්සු..ඒවා අහලා අඬ අඬා හැංගෙන මෝඩ කෙල්ලොත් ඉන්නවනෙ..”

ලැජ්ජාව වගහන්නත් එක්ක සජිතා හයියෙන් හිනාවෙන්න පටන් ගත්තා.අට අවුරුද්දකට කලින් මේ සන්තෝසය නැති කරන්න අනාවැකියකට පුලුවන් කියලා හිතනතරමට මෝඩ වීම ගැන දැනෙන ලැජ්ජාව වහගන්න සජිතා හයියෙන් හිනා වෙන්න පටන් ගත්තා.

More Stories

Don't Miss


Latest Articles