“නංගි..ජානු රිතිකා කියලා ගර්ල් කෙනෙක්ව පේනවද ඔයාට එෆ් බී එකේ..”
අක්කා අහන්නේ එක්සෑම් එකක් නිසා යස්සයා වැහිලා හිටිය මගෙන්.ෆේස්බුක් ඩිඇක්ටිවේට් කරලා ඇප් එකත් මකපු මට මෙයාගෙ ප්‍රශ්න වලට තව යක්කු දෙතුන් දෙනෙක් ආරූඪ වෙනවා.
“මම ෆේස්බුක් නෑ..”
අක්කා ඒ වචනේ අහන්න ලෑස්ති නෑ.විභාගෙට යකා ගහපුදෙන් කියලා මම සේරම පැත්තක තියලා ෆේස්බුක් ඩවුන්ලෝඩ් කරනවා.ඊටත් පස්සේ එකවුන්ට් එක ඇක්ටිවේට් කරනවා.ජානු රිතිකා දිලිසි දිලිසි ඉන්නකොට අක්කාගේ මුහුණ කළු වෙලා යන්න පටන් ගන්නවා.
“ඕකිට අපේ අශේන් ලයික්ස් දාලද? හාට් එහෙම..කමෙන්ට් තියනවනම් ස්ක්‍රීන්ෂොට් ගන්න..”
අක්කා ඔය නැටුම නටන්නේ කීවෙනි පාරටද කියලා මට මතක නෑ.කලින් පාර අරන් ආව නම ජානු නෙවෙයි.ඒත් වෙන මොකක් හරි නමක් තිබ්බ කෙල්ලෙක්.අෂේන් අයියාගේ හාට් ගැනලා ගැනලා වාර්තාවක් හදලා එදා අක්කා නිදාගත්තේ ඉකි ගහ ගහ කියලා මට හොඳට මතකයි.
“මට ඕවා කරන්න බෑ අක්කෙ.වැඩ තියනව.ආ! ඔයාම කරගන්න.”
එහෙම කියන ගමන් මට වැදගත්ම ප්‍රශ්නයක් අහන්න මතක් වුණා.ඇයි අක්කට ඒ ජානුව සර්ච් කරලා බලන්න බැරි?අක්කා ඒ ප්‍රශ්නෙට මුහුණ දෙක කරගෙන ටික වෙලාවක් හිටියා.ඊටත් පස්සේ ජානු තමන්ව බ්ලොක් කරා කිව්වේ කේන්තියෙන්.
“මොනවද අක්කේ මේ විකාර වැඩ.ඔයා ඒ ගමන රණ්ඩු අල්ලන්න තියාගත්තෙ ඒ ළමයා එක්කද?”
මම අහනකොට අක්කා ජානු කියන්නේ ළමයෙක් නෙවෙයි නැටිච්චියක් කියලා මට මතක් කරා.ජානු එක එක රහට හදන කෑමවලට අශේන් අයියා දාන කමෙන්ට්ස් ඔක්කොම ඉවසාගෙන හිටියත් ජානුගේ අලුත්ම ප්‍රොෆයිල් පික්චර් එකට දාපු කමෙන්ට් එක අක්කාට ඉවසා ගන්න අමාරුයිලු.
“ඔයත් ජානු වගේ විකාරයක්නෙ.මේ බලන්නකො කොල්ලො කීයක්නම් මැසේජ් කරලද? මේවා කවිශ්ක දකින්නෙ නැද්ද?”
මගේ ෆෝන් එක අතට අරගෙන අක්කා සීමාව ඉක්මවා යන්න පටන් අරගෙන.මම මගේ දුරකථනය උදුරලා ඇගේ අතින් ගත්තා.
“ඕක මගේ පර්සනල් දෙයක් අක්කේ.ඔයා ඇයි මගේ මැසේන්ජර් වට්ස් ඇප් බලන්නේ.ඇත්තටම කවිඳු නම් මට මැසේජ් කරන කිසිම කෙනෙක් ගැන දන්නෑ.එයාට වැදගත් නෑ ඒවා.එයා දන්නවා යාළුකම් සහ ආදරේ ගැන.”
අක්කා මගේ කතාවට කට ඇද කරලා හිනා වුණා.කොල්ලො මැසේජ් එකක් දාන පමාවට උත්තර යවන මම,ජානු වගේ ගෑනු හින්දා අෂේන් අයියා වගේ අහිංසක පිරිමි නරක් වෙනවා කියලා අක්කා කියන්නේ තද විශ්වාසයකින්.කවිශ්ක වගේ කෙල්ලගේ පදේට නටන පිරිමින්ටත් අක්කා ඒ අස්සේ දෙස්දෙවොල් තියනවා.
“අක්කේ, අඳුනන මනුස්සයෙක් හිතවත්කමට දෙයක් ඇහුවම උත්තර දෙනව කියන්නේ මඟුල් නටනව කියන එක නෙවෙයි.ඔය ෆේස්බුක් ප්‍රශ්නෙ ගත්තොත් ඒකේ හාට් දාන්නේ ඒ අප්ලෝඩ් එකට කැමති කියන්න.ඒ නැතුව මාව බඳිනවද අහන්න නෙවෙයි.අයියට හාට් දාන අය හොය හොයා ඒ කෙල්ලන්ට බනින්න ගියාම ඔයාමයි නිකන් සවුත්තු වෙන්නේ..”
ඒත් අක්කා ඒ කතාව පිළිගන්න ලෑස්ති නෑ.අශේන් අයියාව නරක් කිරීමේ වගකීම සම්පූර්ණයෙන් රටේ ලෝකේ ගෑනු ළමයින්ට පවරමින් අක්කා හැසිරෙන්නේ වියරුවෙන් වගේ.අක්කා කොහොම හදාගන්නද කියලා හිතෙනකොට මටත් ඇති වෙන්නේ වේදනාවක්.
“අක්කේ,ඔයාට අශේන් අයියා ඔච්චර සැක ඇයි?”
අක්කා මම දිහා බලාගෙන හිටියෙත් සැකෙන්.ඊටත් පස්සේ ගෑනුන්ට පිරිමින්ව කොච්චර නරක් කරන්න පුලුවන්ද කියලා මට හේතු සහිතව කියා දෙන්න පටන් ගත්තා.
“ඔයා ලෝකෙට විහිලුවක් නොවී ඕන එකක්..”
මම කිව්වේ බැරිම තැන.ඒත් අක්කාගේ තත්ත්වය දවසින් දවස වැඩි වුණා.අක්කා ෆේස්බුක් ගියේම ඔත්තු බලන්න.ලස්සන ගෑනු ළමයි එක්ක රණ්ඩු අල්ලමින් අයියාගේ ෆේස්බුක් ගිණුම ගැන ඇහැ ගහගෙන ඉන්න අක්කා සීමාව ඉක්මවමින් ඉන්න බව තේරුම් ගියාම මම තීරණයකට ආවා.
“රණ්ඩු කරාට ප්‍රශ්න විසඳෙන්නේ නෑ අයියේ.අක්කා ඉන්නේ සාමාන්‍ය තත්වෙක කියලා ඔයා හිතනවද?”
ඒ ප්‍රශ්නය අශේන් අයියා වඩා හොඳින් බාර ගැනීම අක්කාගේ වාසනාව.ඔහුට අක්කා අන්තිමටම එපා වෙලා ඉන්න වෙලාවක වුණත් අක්කාට අවස්ථාවක් දෙන්න තීරණය කිරීම ගැන මට ඇති වුණේ සතුටක්.
අක්කාගේ කෙළවරක් නැතිව සැක කිරීම ඉවරයක් වෙන දවසක් එයි. එතකන් ඉවසීමෙන් මඟ බලන්න අශේන් අයියට සිද්ධ වෙයි.ඒත් දරුණු සැකය ඉක්මනින් ඉවර වෙන දවසක් වෙනුවෙන් මඟ බලන එක අක්කාගේ විකාර හැසිරීම් ඉවසනවට වඩා බොහොම පහසු වෙයි.