කදෝකිමි ඇස් – 07

0
5210
කදෝකිමි ඇස්

ජාලිය සියලු වැඩ පසෙක තබා ආරණ්‍යා වෙත යමින් සිටියේ ය.ඇගේ පසුම්බිය කොතැනක හෝ අමතකව ඇති බව කියමින් ආරණ්‍යා හඬන්නී ය.ටැක්සියක නැඟී නැවත නිවසට පැමිණෙන්නට හැකි වුවත් ඇය කරන්නේ හුන් තැනටම වී හැඬීම ය.සැබෑවටම ඇයට විශාල කරදරයක් සිදුව නැති බවත් අසිහියේ තරම හන්දා පසුම්බිය කොහේ හෝ හලාගෙන ඇති බවත් නිසලි වහා දුරකථනය රැගෙන නොකියන්නට මේකලා ද බියෙන් සසැලෙන තරමට ආරණ්‍යා හඬන්නට වූවා ය.

“අනේ මන්දා මේ ළමයත්..”

ඇය ඔය තරමට සිහිය නැති අන්දමේ වැඩ කිරීම පවා මේඝගේ ගිණුමට දමමින් මේකලා කල්පනා කළා ය.ඔහු මුණ නොගැසෙන්නට ආරණ්‍යා අපූරුවට ජීවත් වූ කෙල්ලකි.

මේකලාගේ සිතුවිලි අහුර බිම වැටුණේ නිවසේ ස්ථාවර දුරකථනය නාද වෙන හඬට ය.එයට බොහෝ වෙලාවට අමතන්නේ ඇගේ වෘත්තීය ජීවිතයට සම්බන්ධ අය ය.පාඨකයන්ගෙන් ඇමතුම් එන්නේ ඒ දුරකථනයට නිසා එයට පිළිතුරු දීම මේකලාටම පවරන්නට දෙදරුවන් වග බලා ගනී.

“මිසිස් මායාදුන්න.”

එහා ඉමෙන් මතුව ආවේ බොහෝ ආචාරශීලී යොවුන් කටහඬකි.”කදෝකිමි ඇස්” වැඩිපුර කියවන්නේ යෞවනයන් බව විචාරක මතය ය.එය එසේ නොවන බවට ප්‍රකාශකයා තර්ක කළ ද විචාර අසාධාරණ නැතැයි මේකලාට සිතෙන්නේ මෙවන් මොහොතක ය.

“මම මිසිස් මායාදුන්නගෙ පාඨකයෙක්.පුංචිම කාලේ ඉඳන්.මේ දැනුත් කදෝකිමි ඇස් මගේ වාහනේ තියනව.ඒත් මේ වෙලාවෙ නම් කතා කරේ ඔබතුමීට පොත් ගැන කියන්න නෙවෙයි.හදිසි පණිවිඩයක් දෙන්න..”

මේකලා වහා ඒ ගැන විමසිලිමත් වූවා ය.තරුණයා දිගින්දිගටම අර ආචාරශීලී කටහඬින් කියවා යයි.

“මම කැෆේ ඩී එකේදී වොලට් එකක් ඇහින්දා.චෙක් කරනකොට ඒක මිසිස් මායාදුන්නගෙ දුවගේ කියලා පේනවා.වොලට් එකේ මිසිස් මායාදුන්නගෙ ෆොටෝ එකක් තියනවා, අයිඩී ඇඩ්‍රස් එකත් ඔයාලගෙ ගෙදර.ආරණ්‍යානෙ දුවගේ නම..”

මේකලා සැනසීමට පත් වූවා ය.බැංකු කාඩ්පත් අවලංගු කිරීම් සහ හැඳුනුම්පත් යළි සැකසීම් ගැන කියමින් ආරණ්‍යා වැළපී දැන් මොහොතකි.ආචාරශීලී යෞවනයෙකු එය ලබා ගැනීම ම මොනතරම් සහනයක්දැයි ඇය සිතී ය.

“මට ඕනනම් මේක ගෙදරට ඇවිල්ලා දෙන්න පුලුවන්..”

ඔහු කියයි.නමුත් දෛවය එතරම් පහසු හමුවීම් නිර්මාණය කරන්නට අකමැති ය.

“පුතා,මගේ මහත්තයා දැන් දූ ගන්න කැම්පස් එකට යන ගමන්.මම එයාට කියන්නම් ඔයාව මුණ ගැහෙන්න.නම්බර් එක කියන්නකො.”

මේකලා එසේ කියද්දී එහා ඉම හුන් තරුණයා,මේඝ ඇයට බාධා කළේ ය.

“කොළඹ කැම්පස් එකේ ලෝ ෆැකල්ටි එකේනෙ ආරණ්‍යා ඉන්නෙ.මම එතනට යන්නම් මිසිස් මායාදුන්න.එතනින් වොලට් එක ගන්න කියල ආරණ්‍යාගෙ තාත්තට කියන්න.”

මේඝ එසේ කියා ජාලියගේ දුරකථන අංකය රැගෙන සබඳතාවය විසන්ධි කර දැමී ය.මේකලාට තමන්ගේ නම අසන්නට අමතක වූ බව ඔහුට සිහි වූයේ ඒ මොහොතේ ය.එය ගැටළුවක් නොවේ.තමන් ඇමතිය යුත්තේ ඇගේ සැමියාට ය.

“අනේ පුතේ! ඔයා තාම අර ගෙදර වැඩ පොත අමතක කරලා ඉස්කෝලෙ ගිය කාලෙ වගේනෙ.පොඩි දේටත් හූ තිය තිය අඬනව.”

ජාලිය සරසවි පිවිසුම් දොරටුව ළඟදී ආරණ්‍යාට කීවේ ඇගේ පසුම්බිය ඇය අත තබන අතර ය.ආරණ්‍යා විශ්මයට පත් වූවා ය.

“අප්පච්චි ඕක ගෙදරද තිබ්බෙ.අයියෝ මඟ හැලිලා ඇති කියල මම බෑන්ක් කාඩ් එකත් කැන්සල් කරා..”

එය අවන්හලක තිබූ බවත් ආගන්තුක තරුණයෙකු එය සොයාගෙන අම්මාට ඇමතූ බවත් ජාලිය හෙළි කළේ ය.සැහැල්ලුවට පත් ආරණ්‍යා දෙවුර සලා හිනැහුණා ය.

“සෙලිබ්‍රිටි කෙනෙකුගෙ ළමයෙක් වුණාම හරි වාසි නේද අප්පච්චි.අනේ ඒ ළමයට තෑන්ක්ස් කරාද ඔයා..”

ඔහු පසුම්බිය දී කඩිනමින් යන්නට ගිය බව පැවසූ ජාලිය යමක් සිහිව නැවතුණේ ය.තරුණයා ඔහුට ඇමතූ දුරකථන අංකය තිබේ.ඔහු එය දියණියට දුන්නේ ය.

“කතා කරල තෑන්ක්ස් කරන්නං අප්පච්චි.අම්මටත් හොඳයිනෙ ඒක.එයාගෙ ෆෑන් කෙනෙක් වෙන්න ඇතිනෙ.”

නමක් නොලියූ අංකය අතට ගත් ආරණ්‍යා යළි සරසවිය තුළට පිවිසුණේ ඔහු අමතන සිතකිනි.හොඳ මිනිසුන් ලෝකයේ අඩු නැතැයි අම්මා කියන කතාව ගැන ඇයට සිහිව ආයේ ය.දුරකථනය අතට ගෙන නොදන්නා තරුණයාට ස්තූති කරන්නට සැරසෙද්දිම රවාගත් දෑසක් ඈ කෙරේ යොමුව ඇති අන්දම ඇයට පෙනිණ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here