බිම්මල් – 01

නීල වර්ණ අහස්තලය පසුබිම් කර ගත් සුදෝසුදු පුලුන් කැටි බඳු සුදු වලාකුළු පාව යන ආකාරය දෙස මම බලා සිටියෙමි. උස් කඳු මුදුනක පිහිටා ඇති අප නිවසේ සඳලුතලයේ සිට බලද්දී අවට පරිසරයම දිස්වන්නේ චිත්‍රයක් මෙනැයි හේෂාන් දිනක් පැවසූ ආකාරය මට සිහියට නැගිණ. සැබවින්ම මේ මුලු පරිසරයම චිත්‍රයක් නොවේද? පහල නිම්නයේ වූ තෙරක් නොපෙනෙන කුඹුරු යාය නිල්ම නිල් පැහැතිය. ඉහළ සිට බලද්දී ඈතින් ඈතින් පිහිටා ඇති නිවෙස් දිස් වන්නේ සෙල්ලම් ගෙවල් මෙනි. තවත් මාස කීපයකින් මේ සුන්දර නිවසත්, සුන්දර පරිසරයත් අතහැර දමා යන්නට සිදුවෙනවා නොවේදැයි සියුම් සංවේගයක් සිතට දැනුනද, හේෂාන් සමග ඔහු විසින් අලුතින් ඉදි කරන ලද නිවසේ ගත කරන ජීවිතය මීටත් වඩා සුන්දර වනු ඇතැයි මට සිතිණ.

මගේ උරහිස මත කිසිවකු අත තබනු දැනී මම හිස හරවා බැලුවෙමි. සුදු නංගී භාග්‍යා සිනාමුසු මුහුණින් මදෙස බලා සිටියාය.

“කල්පනාව… කල්පනාව… මං දන්නවා ගෑනු දරුවා ඔය හැටි කල්පනා කරන්නෙ මොනවද කියලා.”

මගේ ගෙල බදාගත් සුදු නංගී පැවසුවාය.

“කියනවා බලන්න. මොනවද?”

“මනමාලියක් වෙලා යන දවස ඉක්මනටම එනවානම් කියලා කල්පනා කළා නේද?”

“මම එහෙම හිතුවෙ නෑ. මං කල්පනා කරේ මේ ගෙදර දාලා යන්න හිත හදාගන්නෙ කොහොමද කියලා.”

“බොරුකාරි..”

මා අතහළ සුදු නංගී සඳලුතලයේ වැටට බර වූවාය.

“බොරු කියලා රවට්ටන්න හැදුවට ඔය ඇස් දෙකෙන් මට ඔයාගෙ හිත පේනවා…”

“ඇස් දෙකෙන් කොහොමද හිත පේන්නෙ?”

“මට පේනවා.”

“හොඳයි. කියනවා බලන්න තව මොනවද මගේ හිතේ තියෙන්නෙ කියලා.”

“තියෙන්නෙද?”

මගේ දෙඋරහිස් මත දෑත් තැබූ සුදු නංගී මගේ දෑසට එබී මොහොතක් බලා සිටියාය.

“අර හීනයක් වගේ ලස්සන වෙඩින් සාරි එක ඇඳලා සුරංගනාවියක් වගේ ලස්සන බ්‍රයිඩ් කෙනෙක් වෙලා හේෂාන්ගෙ අත අල්ලගෙන…”

“ඇති. ඇති. මගේ විතරක් නෙමෙයි. හැම ගෑනු ළමයෙක්ටම තියෙන්නෙ ඒ හීනෙම තමයි.”

“ඒ වුනාට මගේ හීන ඊට වඩා වෙනස්.”

“කියනවා බලන්න. මොනවද ඔයාගෙ හීන?”

“එහෙම කියන්න බෑ. දන්නවද? තනියම ඉන්න හැමවෙලාවෙම මම ගොඩක් හීන දකිනවා.”

සුදු නංගී නැවතත් සඳළුතලයේ වැටට බර වූවාය. ඇගේ රෝස පැහැ ගැන්වුන මුහුණ, සිත තුළ ඇති විචිත්‍රවත් සිතිවිලි වල සුන්දරත්වය පෙන්වන කැඩපතක් මෙනි. බොහෝ සැහැල්ලු ජීවිතයක් ගත කරන ඇගේ සිහින කවරාකාර සිහිනයන් වන්නට ඇත්දැයි මම කල්පනා කළෙමි. 

“ඩිනාලි… තවම තේ බිව්වෙ නෑ නේද?”

අම්මා සුදු නංගීත්, මාත් අසළට පැමිණියාය. පසුගිය දිනෙක මාත්, සුදු නංගීත් සමග ගිය සාප්පු සවාරියේදී අලුතින් මිළ දී ගත් කුර්තාවක් ඇඳ සිටි අම්මාගේ සුන්දර මුහුණ දෙස මම මොහොතක් බලා සිටියෙමි. තරුණ දියණියන් දෙදෙනකු ගේ මවක් වුවද, තවමත් තරුණියක සේ සුන්දර අම්මා අප දෙදෙනාගේ මව නොව සොයුරියක් යයි කෙනෙකුට සිතෙන තරමටම තරුණය. රූප සම්පන්නය.

“මොකද මේ බලා ඉන්න හැටි? මේ කුර්තා එක ලස්සන නැද්ද ඩිනාලි?”

අම්මා ඇසුවාය. 

“ලස්සන වැඩියි. ඒකයි මං මේ බලා හිටියෙ.”

මම පැවසුවෙමි. අම්මා ආඩම්බරයෙන් හිස ගැස්සුවාය. ලා දම් පැහැති කුර්තාවෙහි ඉදිරිපස එම්බ්‍රොයිඩර් කර ඇති සුදු පැහැති මල් මෝස්තරය බොහෝ සිත් ඇදගන්නා සුලු එකකි. අම්මා හැඳ සිටින සුදු පැහැති කලිසම නිසා කුර්තාවෙහි ලස්සන වඩාත් කැපී පෙනෙයි.

“මං ෂොප් එක පැත්තෙ ගිහින් එන්න කියලා. තේ බීලා බෙහෙත් ටික බොන්න ඩිනාලි. දැන් බඩ රිදිල්ල අඩුද?”

අම්මා මගේ උරහිස මත අත තැබුවාය.

“අම්මා බය වෙලා. කලබලේට ගිහින් බෙහෙත් අරන් ආවට මට ඒ හැටි අමාරුවක් නෑ.”

“ඒකට කමක් නෑ. මේ පුංචි හරි අසනීපයක් හදාගන්න ඕන දවස් නෙමෙයි. යමු. තේ නිවෙනවා.”

සුදු නංගී අප දෙදෙනාට පෙර පහත මාලයට දිව ගියාය. තේ පානය සඳහා වජිරා කිසියම් රසකැවිල්ලක් පිළියෙල කර ඇති බව ඇය දනියි. වහා දිවගොස් ඉන් වැඩි කොටසක් අනුභව කිරීමට ඇය පුරුදුව සිටින්නේ අම්මාත් මාත් තරහ ගැන්වීමට මිස කෑදර කමකට නොවේ. 

“යමු.”

අම්මා මගේ උරහිස මත අත තැබුවාය. ඊයේ සවස් කාලයේ ඇති වූ දරා ගත නොහැකි බඩරිදීම කවර හේතුවක් නිසා ඇති වූ එකක්දැයි අප පවුලේ වෛද්‍යවරයාට පවා තේරුම් ගත නොහැකි වූයෙන් අම්මා බිය වී සිටියාය. දෑසට කඳුළු නංවන්නට තරම් බලවත් වූ වේදනාව අඩ හෝරාවක් පමණම පැවැති අතර, අප වෛද්‍යවරයා හමුවට යනවිටත් එය සමනය වී නොතිබිණ. මා පරීක්ෂා කොට බොහෝ වේලාවක් කල්පනා කරමින් සිටි ඔහු බෙහෙත් නියම කලේ මට මෙන්ම අම්මාට ද අවවාද කරමිනි.

“සමහරවිට අජීර්ණයක් වෙන්නත් පුලුවන්. කෝකටත් ආයෙම මේ විදියෙ පේන් එකක් ආවොත් බල බලා ඉන්න එපා. ළමයව එක්ක එන්න මිසිස් ඉද්දමල්ගොඩ.”

වෛද්‍යවරයා එසේ පැවසුවේ මට සෑදී තිබූ උදරයේ වේදනාව අසාමාන්‍ය එකක් නිසාදැයි මට සිතිණ. බෙහෙත් රැගෙන පැමිණි පසු නැවතත් එම වේදනාව ඇති නොවීම එක් අතකට වාසනාවකි.

“අද ඔන්න වජිරා පෑන් කේක් හැදුවා ඩිනාලිට කන්න කියලා.”

මේසයට හිඳගත් අම්මා පැවසුවාය. සුදු නංගී ඒවනවිටත් පෑන් කේක් කිහිපයකටම වග කියන්නට ඇතැයි මට සිතුණේ ඒවනවිටත් පෑන් කේක් තසිමෙන් අඩක් පමණම හිස් වී තිබූ හෙයිනි.

“මෙයා දැනටමත් බාගයක්ම කාලා ඉවරයි.”

පෑන් කේක් තසිම මා වෙතට දිගු කළ අම්මා පැවසුවේ වසන් කරගන්නට තැත් කරන සිනාවකින් යුතුවය. මම ඉන් එකක් අතට ගතිමි. වජිරා සාදන පෑන් කේක් කන්නට මා තුළ ඇති ආශාව අම්මා දනියි. තවත් නොබෝ කලකින්ම විවාහ දිවියට පත්ව නිවසින් පිටව යන මා වෙනුවෙන් මා කැමති දේවල් පිළියෙල කරන්නට අම්මා වජිරාට උපදෙස් දෙන්නට ඇතැයි මට සිතිණ.

“හේෂාන්ටත් ටිකක් අරන් තියන්න කියලා වජිරට කියන්න ඕන.”

දෙවන පෑන් කේක් එක ද අතට ගත් මම පැවසුවෙමි. අම්මා සිනාසුනාය.

“වජිරට කියන්න ඕන නෑ. හේෂාන් සර්ට ටිකක් අරන් තියන්න ඕන කියලා හදපු ගමන්ම අරන් තිබ්බෙ.”

අම්මා පැවසුවාය.

“මේ කියන්නෙ ඇත්තද වජිරා?”

තේ බන්දේසිය රැගෙන මේසය අසළට පැමිණි වජිරාගෙන් සුදු නංගී ඇසුවාය.

“ඔයා ඕන නැති වැඩ කරන්න ගිහින් ෂුවර් ලොකුගෙන් බැනුම් අහනවා.”

“ලොකු බබා මට එහෙම බනින්නෙ නෑ.”

මා ඉදිරියෙන් තේ කෝප්පය තැබූ වජිරා සිනාසුනාය.

“මගේ බෝයි ෆ්‍රෙන්ඩ්ට එහෙම වැඩි සැලකිලි දක්වන්න ආවොත් නම් මම වජිරව කෝටු මස් කරලයි පස්ස බලන්නෙ.”

සුදු නංගීගේ වදන් වලට සිනාසුන තරමට අම්මාට පෑන් කේක් කැබැල්ලක් සිරවී කැස්ස සෑදිණ. 

“ඔයාට එහෙම කෙනෙක් ඉන්නවද කියලා අපි දන්නෙ නෑනෙ.”

කැස්ස නතර වූ පසු අම්මා පැවසුවාය.

“එව්වා රහස්. වෙලාවට කලාවට මං ඒවා කියන්නම්.”

“ඔය සුදු බබාගෙ බොරු මැඩම්.”

වජිරා පැවසුවාය. සුදු නංගී විහිලුකාරියක් බව අප පවුලට සම්බන්ධ සියලු දෙනාම දන්නා කරුණකි. සැබවින්ම අප ජීවිත වල පාලුව කාන්සිය දුරු වන්නේ සුදු නංගී නිසාය. ඇය සෑමවිටම මාත්, අම්මාත් සිනා ගන්වයි. හමුදා නිළධාරියකු වු තාත්තාගෙන් අසීමිත පීඩාවට ලක්ව සිටි අවධියේ  පවා අම්මාගේ සිතේ දුක නිව්වේ මා නොව සුදු නංගීය. එකල අම්මා විඳි දුක් පීඩාවන් නිසා මා පසු වූයේ හැඬූ කඳුලිනි. ලෝකයා හමුවේ බොහෝ සොඳුරු මිනිසකු වූ තාත්තා නිවසේදී කුරිරු මිනිසකු වූයේ කෙසේදැයි තවමත් මට සිතා ගත නොහැකිය. අම්මා තම ජීවිතයේ දුක් පීඩාවන් පිළිබඳව ඇගේ ඥාතීන්ට කිසිදිනෙක හෙළි නොකලෙන් තාත්තාගේ දෙබිඩි ජීවිතය පිළිබඳව දැන සිටියේ අම්මාත්, සුදු නංගීත්, වජිරාත් පමණකි.

“ඇයි අම්මා කටවහගෙන ඉන්නෙ? කියන්න. හැමෝටම කියන්න. හැමෝම හිතාගෙන ඉන්නෙ මේජර් වංශනාථ කියන්නෙ සත්ගුණවත් උපාසක මහත්තයෙක් කියලනෙ.”

එක්තරා බියකරු රාත්‍රියක තාත්තාගෙන් පහර කෑ අම්මාගේ හිස පැලී ලේ ගලා යද්දී ඇය සනසවන සුදු නංගී ඉල්ලා සිටි අයුරු මට තවමත් ඇසෙන්නාක් මෙනි. 

“කාටවත් කිව්වා කියලා පලක් නෑ සුදූ. මිනිස්සු අපි හිතන තරම් හොඳ නෑ. එක්කො මට හිනාවේවි. එහෙම නැත්නම් ඇවිලෙන ගින්නට පිදුරු දාවි. අපේ ප්‍රශ්න වලට අපිමයි පිළිතුරු හොයා ගන්න ඕන.”

“එහෙම නම් ඔයා තාත්තගෙන් ඩිවෝස් වෙන්න.”

“ඩිවෝස් වෙන්න? අපූරුවට තියේවි.”

අම්මා පැවසුවාය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles