බිම්මල් – 45

ජ්‍යෝති විසින් තල්ලු කරගෙන පැමිණි රෝද පුටුව කුඩා ශාලාව තුළට ඇතුලු වන විටම මල් වෙඩිල්ලක් පුපුරා ගියේ මා තිගැස්මට ලක් කරමිනි. මට මගේ දෙනෙත් අදහා ගත නොහැකි විය. ශාලාව තුළ හිඳගෙන සිටින්නන් කවරෙක්දැයි හඳුනා ගැනීමටත් පෙරම රෝස මල් කළඹක් රැගෙන මා ඉදිරියට පැමිණියේ වෛද්‍ය කුෂ්වාන්ත් සිං ය. මගේ හදවත මොහොතකට නතර විය.

“Happy Birthday ඩිනාලි”

රෝස මල් කළඹ පිළිගැන්වූ ඔහු මට සුබ පතද්දී මගේ දෙනෙතට නැගෙන්නට ඇත්තේ සතුටු කඳුලු විය යුතුය. ඔහු මට රෝද පුටුවෙන් බසින්නට සහය විය. වෛද්‍ය පීහු ෂර්මා මගේ කර වටා වූ සලුව මගේ හිසට දැමුවාය.

“Thank you”

දෑසින් කඳුලු වැගිරෙද්දී මම යන්තමින් පවසා ගතිමි. වෛද්‍ය කුෂ්වාන්ත් සිං මගේ අතින් අල්ලාගෙන මා ශාලාව තුළට කැඳවාගෙන ගියේය. සියලු දෙනාගේ දෙනෙත් යොමු වී තිබුනේ මා දෙසටය. රෝස මලින් සැරසූ අසුනක් මත වෛද්‍ය කුෂ්වාන්ත් සිං මා හිඳුවද්දී අත් පොලසන් හඬ ඇසුනේ මුහුදෙහි රළ නගන්නාක් මෙනි. මම වටපිට බැලුවෙමි. හිඳගෙන සිටි අය අතුරින් මගේ දෙනෙත් එක්වරටම යොමු වූයේ හිසකෙස් රහිත වූ හිසින් යුතුව හෝ යන්තමින් වැවුනු හිසකෙසින් යුතුව හිඳගෙන සිටි රෝගීන් වෙතය. ඔවුන්ගේ මුහුණු වල වූ සතුට හා බලාපොරොත්තු සහගත ස්වභාවය දෑසට කඳුලු නංවන්නක් වුව ද මම ඔවුන් දෙස බලා සිනාසෙන්නට තැත් කළෙමි.

“Happy Birthday”

වෛද්‍ය පීහු ෂර්මා ද ඇගේ සැමියා සහ කුඩා පුතු ද පැමිණ මට රෝස මල් කළඹක් පිළිගන්වා සුබ පැතූහ. වෛද්‍ය ගුන්ටාජ්, ඔහුගේ බිරිඳ, පූනම්, ජ්‍යෝති, පිළිගැනීමේ නිළධාරිනිය පමණක් නොව වෛද්‍යවරුන්ද, හෙදියන් ද, රෝහල් කාර්ය මණ්ඩලයේ සියලු දෙනාම පැමිණ මට සුබ උපන් දිනයකට ආශිර්වාද කරද්දී මගේ දෙනෙත් කඳුලු පටලයකින් වැසී තිබිණ. මේ තරම් ආදරයක්… මේ තරම් පිළි ගැනීමක්… එක් අතකට පිළිකා රෝගය ආශීර්වාදයක් වූවා නොවේද?

යන්තමින් හිසෙහි කෙස් වැවී ඇති මැදිවියේ මාතාවක් පැමිණ මා අතට රෝස මල් කළඹක් පිරිනැමුවේ මා මවිතයට පත් කරමිනි.

“මගෙ දූ… හිතන පතන හැමදෙයක්ම ඉෂ්ඨ සිද්ද වෙන්න ඕන. ජීවිතේම මල් යහනාවක් වෙන්න ඕන. සතුට නිරන්තරයෙන්ම මගේ දූ ළඟම තියෙන්න ඕන. වාසනාවන්ත සුබ උපන් දිනයක් වේවා මගෙ දූට…”

ඇය කවරෙක්දැයි හඳුනා ගත නොහැකිව මම වටපිට බැලුවෙමි. වෛද්‍ය කුෂ්වාන්ත් සිංගේ දෙනෙත් මගේ දෙනෙත් හා මොහොතකට හමු විය.

“මට බොකේ එකක්, තෑගි ගොඩක් එව්වට දුවට ගොඩක් පින්.”

මට සියල්ල තේරුම් ගියේ එවරය. හේෂාන් සහ අරුණෝදි මා වෙනුවෙන් රැගෙන ආ මල් කළඹත්, තෑගි සියල්ලත් ජ්‍යෝති ගෙන ගොස් දෙන්නට ඇත්තේ ඇයට විය යුතුය. මගේ දෑත් අල්ලා සිප ඇය සිය අසුන කරා ගිය පසු වෙන් වෙන්ව ආචාර කළ නොහැකි වුව ද, මම හිඳගෙන සිටින පිළිකා රෝගීන්ට හිස නමා ආචාර කළෙමි.

මා තවමත් පසු වූයේ කැළඹීමෙනි. මගේ දෙනෙත් කුඩා ශාලාව තුළ ඒ මේ අත දිව ගියේ සැනෙකිනි. මගේ ප්‍රියතම පැහැය වූ රෝස පැහැය තේමා කරගෙන මුලු ශාලාවම රෝස පැහැයෙන් සරසා තිබූ හෙයින් සියල්ල දිස් වූයේ සුරංගනා ලෝකයක් පරිද්දෙනි.

“මට මේ කිසිම දෙයක් හිතාගන්න බෑ ඩොක්ට.”

මා අසළට පැමිණි වෛද්‍ය කුෂ්වාන්ත් සිංට මා පැවසුවේ කඳුලු අතරිනි.

“මම මේ තරම් වටිනා කෙනෙක්ද?”

“වටිනවා. ලෝකයක් වටිනවා.”

මට පමණක් ඇසෙන්නට ඔහු පැවසුවේ සෙමෙනි.

“අද ඔයා පේන්නෙ රෝස කුමාරියක් වගේ. සතුටින් ඉඳිමු ඩිනාලි. මේ ඇවිත් ඉන්න හැම කෙනෙක්ම ඔයාට ආදරෙයි. අපේ ස්ටාෆ් එක… පේෂන්ට්ස්ලා හැමෝම මෙතනට ඇවිත් ඉන්නෙ ඔයාට  ආදරේ අරගෙන…”

“මට හිතාගන්න බෑ ඩොක්ට.”

“තව හිතාගන්න බැරි දේවල් මොන තරම් ඉදිරියෙදි සිද්ද වෙයිද?”

මම සෘජුව වෛද්‍ය කුෂ්වාන්ත් සිංගේ දෙනෙත් දෙස බැලුවෙමි. ඔහුගේ අතිශයින් දීප්තිමත් දෙනෙත් වෙනදාටත් වඩා දීප්තිමත්ව දිස් විය. රෝහලට පැමිණි මුල්ම දිනයේ දී මා වශී කළ ඒ දෑස් වල වුයේ සතුටක්ද, ආදරයක්දැයි සිතන්නට මම උත්සාහ කළෙමි. අලු පැහැති යුරෝපීය ඇඳුමින් සැරසී සිටි ඔහුගේ හිස පැළඳි තුර්බාන් තොප්පිය නිසා කවදාටත් වඩා ඔහු වඩාත් කඩවසම් ලෙසින් දිස් විය.

“ඇයි මේ මා දිහා බලා ඉන්නෙ?”

ඔහු ඇසුවේය. මම වටපිට බැලුවෙමි. කතා බහ කරමින් සිනාසෙමින් සිටින පිරිසට අපගේ කතා බහ නෑසෙනු ඇතැයි සිතද්දී මගේ සිතට සැහැල්ලුවක් දැනිණ.

“ඩොක්ට අද හරිම ලස්සනයි. රාජ කුමාරයෙක් වගේ.”

“ස්තුතියි. ඔයත් ලස්සනයි. රෝස කුමාරියක් වගේ.”

ඔහුගේ දෙනෙත් සැනෙකින් වේදනාබර විය. වෛද්‍ය කුෂ්වාන්ත් සිං ට ජාන්සි සිහියට නැගෙන්නට ඇත්දැයි මම සිතුවෙමි.

“අද අපේ මිස් ඩිනාලිගෙ උපන් දිනය… අපි හැමකෙනෙක්ම ඇයට සුබ පතන ගමන්ම අපි අද කාලා බීලා නටලා සින්දු කියලා සතුටු වෙමු. ඇයව සතුටු කරන අතරම අපිත් සතුටු වෙමු.”

ශාලාව මැදට පැමිණි වෛද්‍ය පීහු ෂර්මා කෑගසා පැවසුවාය. 

රෝහල් කාර්ය මණ්ඩලයේ දෙදෙනෙක් විශාල උපන් දින කේක් එකක් රැගෙන පැමිණ මා ඉදිරියෙහි වූ ස්ටූලය මත තැබුවේය. රෝස පැහැයෙන් නිමවා තිබූ එය ද අලංකාර කර තිබුනේ රෝස මල් වලිනි. මට අම්මා සිහි විය. ‘ඩිනාලි කේක්ස්’ සිහි විය. අද මගේ උපන් දිනය බව අම්මාට අමතක වන්නට ඇත්ද? සුදු නංගීට අමතක වෙන්න ඇත්ද?

“ඇයි?”

මගේ මුහුණ දෙස බලා සිටි වෛද්‍ය කුෂ්වාන්ත් සිං ඇසුවේය.

“මුකුත් නෑ ඩොක්ට.”

“නැති වෙන්න බෑ. හිටිහැටියෙම මූණ අඳුරු වුනා.”

ඔහු මා දෙස බලා සිටියේ සැකය පිරුනු දෙනෙතින් යුතුවය. මට හේෂාන් සිහියට නැගෙන්නට ඇතැයි ඔහු සිතන්නට ඇත්ද?

“අම්මා මතක් වුනා ඩොක්ට. හැමදාම උදේට කතා කරනවා. අද ෆෝන් එකත් ඕෆ් කරලා.”

“අම්මා කෙනෙකුට කවදාවත් දරුවෙකුගෙ උපන් දිනේ අමතක වෙන්නෙ නෑ. සමහරවිට මග එනවා ඇති.”

“එන්න. අපි කේක් කපමු.”

වෛද්‍ය පීහු ෂර්මා අද හැසිරෙන්නේ යුවතියක මෙන් දඟකාර ලෙසිනි. ඇගේ පුතු වඩාගෙන සිටින ඇගේ සැමියා ඇගේ හැසිරීම දෙස බලා සිටින්නේ මුවග නැගි ආදරණීය සිනාවකින් යුතුවය. කෘතිම රෝස මලක් සහ රිබන් එකක් අමුණා අලංකාර කළ පිහිය වෛද්‍ය පීහු මා අත තැබුවාය. 

හැපි බර්ත්ඩේ ටූ යූ – හැපි බර්ත්ඩේ ටූ යූ

හැපි බර්ත්ඩේ ඩියර් ඩිනාලී – හැපි බර්ත්ඩේ ටූ යූ…

සියලු දෙනාම සුබ උපන් දිනයකට ආසිරි පතමින් සුබ පතද්දී මම කේක් එක කැපුවෙමි. මගේ අත වෙව්ලන්නාක් මෙන් දැනුනෙන් වෛද්‍ය කුෂ්වාන්ත් සිං මට කේක් කැපීමට සහය දුන්නේය.

“ඩොක්ට… අදම….”

ඇසකින් ඉඟි කළ වෛද්‍ය පීහු සිනාසුනාය. 

පළමු කේක් කැබැල්ල අතට ගත් මම වටපිට බැලුවෙමි. වෛද්‍ය පීහු ඇසින් වෛද්‍ය කුෂ්වාන්ත් සිං පෙන්නා සිටියාය. වටහා ගත නොහැකි හැඟීමකින් හදවත ගැහෙද්දී මම පළමු කේක් කැබැල්ල ඔහුගේ මුවට ළං කළෙමි. ඒ හා සමගම මා නෙත ගැටුනේ ශාලාවට පිවිස ඇසිපිය නොහෙලා බලා සිටින අම්මාත්, සුදු නංගීත්, වජිරාත්ය. වෛද්‍ය කුෂ්වාන්ත් සිං ද එම කේක් කැබැල්ලම ගෙන මා මුව තබද්දී මගේ දෙනෙත් යොමු වී තිබුනේ අම්මා දෙසටය.

අම්මා මා අසළට දිව ආවාය. මම ඇයටත්, සුදු නංගීටත්, වජිරාටත් කේක් කැව්වෙමි.

“මොකක්ද මෙතන වෙන්නෙ?”

මා විසින් කවන ලද කේක් කැබැල්ලෙහි රස විඳින සුදු නංගී රහසින් ඇසුවාය.

“මෙතන මේ බර්ත්ඩේ පාටි එකක්ද? එහෙමත් නැත්නම් වෙඩින් එකක්ද?”

සුදු නංගී රහසින් එසේ ඇසුවද, සුදු නංගීගේත්, අම්මාගේත් දෙනෙත් වල වූ සන්තෘෂ්ඨිය මම හඳුනා ගතිමි. සමීපතමයින් වූ වෛද්‍ය පීහුට, ජ්‍යෝතිට, පූනම්ට කේක් කැවීමෙන් අනතුරුව රෝහල් කාර්ය මණ්ඩලයේ සිටි කාන්තාවන් කේක් වලින් ද, කලින් පිළියෙල කර තිබූ රසකැවිලි වලින් ද සියලු දෙනාට සංග්‍රහ කරන අයුරු මම තෙත් වූ දෙනෙතින් යුතුව බලා සිටියෙමි.

“මට මේ කිසිම දෙයක් හිතාගන්න බෑ ඩිනාලි.”

අම්මා කඳුලු පිසිමින් පැවසුවාය.

“ඩොක්ට මම කේක් අරගෙන ආවා. දුවගෙ බර්ත්ඩේ එක වෙනුවෙන් හැමෝටම.”

අම්මා වෛද්‍ය පීහුට පැවසුවාය.

“ගේන්න…”

අම්මාත්, වජිරාත් රැගෙන පැමිණි රිදී පැහැති පෙට්ටි වල දමන ලද රිච් කේක් ද, වෙනත් රසකැවිලි ද රෝහල් කාර්ය මණ්ඩලයට සහ රෝගීන්ට බෙදා දුන්නේ සතුටිනි. වෛද්‍ය කුෂ්වාන්ත් සිං තමා අතට ලබා දුන් කේක් පෙට්ටියෙහි යටින් වූ වදන් කියවා බලා මගේ මුහුණ දෙස බැලුවේය.

“ඩිනාලි කේක්ස්.”

මුව නැගි සිනාව වසන් කරන්නට තැත් කරන ඔහු දෙස මම ආදරයෙන් බලා සිටියෙමි. සංග්‍රහ කිරීම් අවසාන වූ පසු මා වෙනුවෙන් ගීතයක් ගායනා කරන්නැයි වෛද්‍ය පීහු ප්‍රසිද්ධියේම ඉල්ලා සිටියාය. මට ජ්‍යෝති සිහියට නැගිණ. මෙවන් ගී අසන්නට දිනයක් උදා වන බව ඇය කල් තබාම පැවසුවේ මගේ උපන් දිනය වෙනුවෙන් මෙවන් සාදයක් සැලසුම් කරන බව දැන සිටි බැවින් විය යුතුය. මම ජ්‍යෝති දෙස බැලුවෙමි. සිය සැමියාට කිසිවක් පැවසූ ඇය මා දෙස බලා සිනාසුනාය. 

“සුහානී රාත් සින්දුව මං වෙනුවෙන් කියන්න ඩොක්ට.”

මම ඉල්ලා සිටියෙමි. සුදු නංගී මා දෙස බලා ඇසින් ඉඟි කළාය. වෛද්‍ය කුෂ්වාන්ත් සිං මයික්‍රෆෝනය අතට ගත්තේය. සියලු දෙනාගේම දෙනෙත් ඔහු දෙසට යොමු වී තිබිණ.

“අපේ ඩිනාලිට සුබ උපන් දිනයක් වේවා කියලා මම මුලින්ම ප්‍රාර්ථනා කරනවා.”

ඔහු පැවසුවේය.

“අප අතර ඉන්න ධෛර්යමත්, ආකර්ශණීය චරිතයක් ඩිනාලි. ඇගේ අනාගතය වාසනාවන්ත වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඩිනාලිගේ ඉල්ලීම අනුව මං මේ ගීතය ගායනා කරන්න තෝරා ගත්තා.”

අම්මාට මේ කිසිවක් වටහා ගැනීම අසීරු වූවාක් මෙන් විය. ඇය මා දෙසත්, වෛද්‍ය කුෂ්වාන්ත් සිං දෙසත් බැලුවාය.

සුහානී රාත් ඩල් චුකී

නාජානේ තුම් කබ් අඕගේ

ජහාං කී රුත් බදල් චුකී

නාජානේ තුම් කබ් අඕගේ

මම සිහින ලෝකයක පාව යමින් සිටියෙමි. වලාකුළු අතරින් ලා හිරු කිරණ පතිත වෙමින් තිබේ. මගේ උරහිස් මත මැවී තිබූ පියාපත් වලින් මම අහසට ඉගිල යමි. වලාකුලු වල සිට ඇද හැලෙන මල් වැස්සේ තෙමෙමින් මම තව තවත් ඉහළට පියාඹමි. සමන්පිච්ච මල් සුවඳ දැනෙයි. සුදෝ සුදු වලා කැටි අතර හා පැංචියක සේ පිනුම් ගසන්නට මට සිතේ. එපමණකට සතුටකින් හා සැහැල්ලුවකින් මගේ සිත පිරී තිබේ.

සුන්දර රාත්‍රිය ගෙවී ගොස් හමාරය

නුඹ කෙදිනක පැමිණේදැයි නොදනිමි

ලොව වටා සෘතු වෙනස් වී ඇත

නුඹ කෙදිනක පැමිණේදැයි නොදනිමි

විසිතුරු දසුන් තම චමත්කාරය පෙන්වා නින්දට ගොසිනි

බැබලෙමින් තිබූ තාරුකා තම රශ්මිය රැගෙන නින්දට ගොසිනි

සෑම ඉටි පහනක්ම දැල්වී නිවී ගොසිනි

නුඹ කෙදිනක පැමිණේදැයි නොදනිමි

නුඹ එන මග බලමින් 

මා මෙහි ආශාවෙන් හා නොසන්සුන්ව හිඳිමි 

සරත් සමයේ පැහැයෙන් 

වසන්තය වර්ණවත් වී ඇත

සුළඟද එහි දිශාව වෙනස් කොටගෙනය

නුඹ කෙදිනක පැමිණේදැයි නොදනිමි. 

මුලු ශාලාවම නිහඬය. වෛද්‍ය කුෂ්වාන්ත් සිංගේ ගී හඬට මා පමණක් නොව සියලු දෙනාම වශීකෘත වූවාක් මෙනි. ගීය අවසාන වෙද්දී මහා අත් පොලසන් නාදයක් නැගුණද, මට අත්පොඩි ගසන්නට අමතක විය. මම අම්මාගේ උරහිස මත හිස තබාගත්වනම සිටියෙමි. මගේ දෙනෙතින් කඳුලු ගලා ගියේය. අම්මා සිය ඇඟිලි තුඩු වලින් මගේ දෙනෙත් පිස දැමුවාය.

“ජීවිතේ හරිම පුදුමයි ඩිනාලි.”

ඇය පවසන හඬ මට ඇසිණ.

“රැජිණකට වගේ පිළිගැනීමක්… ඔයා මොන තරම්නම් වාසනාවන්තද කියලා මට හිතෙනවා.”

වෛද්‍ය කුෂ්වාන්ත් සිං ගීත ගායනය නිමා කර ඇති බවත්, වෛද්‍ය පීහුගේ සැමියා ගීතයක් ගායනා කරන බවත් මා දුටුවේ එවරය. මම ඔහු දෙස බැලුවෙමි. මා දෙසටම යොමු වී ඇති වෛද්‍ය කුෂ්වාන්ත් සිංගේ දීප්තිමත් නෙත් සඟල තුළ ගිලෙන්නට මට සිතිණ.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles