බිම්මල් – අවසාන කොටස

මෙහි රැගෙන පැමිණ තිබූ ඇඳුම් අතරින් ඉදිරිපස රතු පැහැති මල් එම්බ්‍රොයිඩර් කර තිබූ සුදු  කුර්තාව මා තෝරා ගත්තේ එම ඇඳුම මගේප්‍රියතම ඇඳුමක් වූ හෙයිනි. රෝහලට ගෙන යායුතු ඇඳුම් තෝරා ගනිද්දී වජිරා සූදානම් කළ ඇඳුම් අතරට මා එය ද එක් කළේ යළිත් කිසිදිනෙක එය අඳින්නට අවස්ථාවක් උදා වෙතැයි කිසිදු බලාපොරොත්තුවක් ඇතිව නොවේ.

“හොස්පිටල් එකේදි මේ ඇඳුම් නම් අඳින්න බැරි වෙයි බබා.”

මා එය සූදානම් කර තිබූ ඇඳුම් මත තබද්දී වජිරා එසේ පැවසූ බව මට මතකය.

“මම දන්නවා.”

එවේලෙහි මා පැවසූ බව ද මගේ මතකයට නැගිණ.

“ඒ වුනාට මං මේකට ආසයි.”

“කමක් නෑ. අඳින්න බැරි වුනත් බබා ආස නම් මම මේ ඇඳුමත් දාන්නම්.”

වජිරා පැවසුවේ දෑස් වල කඳුලු පුරවාගෙනය. අම්මා මෙම කුර්තාව රැගෙන දුන්නේ මගේත්, හේෂාන්ගේත් විවාහ මංගල්‍යය වෙනුවෙන් ඇඳුම් ගන්නට ගිය ගමනකදීය. මිල ඉතා අධික වුව ද,මගේ සිත එය කෙරෙහි ආකර්ෂණය වී තිබූ බව ඉවෙන් මෙන් වටහා ගත් අම්මා කිසිදු පැකිළීමකින් තොරව එය මා වෙනුවෙන් මිළ දී ගත්තාය.

“අපරාදෙ.”

ආපසු පැමිණෙන ගමනේදී මා පැවසූ අයුරු මට සිහි විය.

“මොකක්ද අපරාදෙ?”

මෝටර් රථය පදවන අම්මා යන්තමින් හිස හරවා බලා මගෙන් විමසූ ආකාරය තවමත් මගේ මතකයට නැගෙයි.

“මං හිතුවෙ නෑ අම්මා ඒක ගනීවි කියලා. අපරාදෙ. ඇඳුම් තුන හතරක් ගන්න තිබුන සල්ලි.”

“මේක ඔයාට වැදගත්ම දවසක අඳින්න. එතකොට මාවත් මතක් වේවි.”

අද මගේ ජීවිතයේ වැදගත්ම දිනයක් බව මට ඉවෙන් මෙන් දැනෙයි. එහෙත් එය කවරාකාරයකින් වැදගත් විය හැකිදැයි සිත තුළ ඇති වන්නේ ගැටලුවකි. මා සිතිවිල්ලේම සූදානම් වී අවසන් වෙද්දී ජ්‍යෝති දොර හැරගෙන කාමරයට පැමිණියාය.

“ලස්සනයි මැඩම්.”

මගේ හිසේ සිට පාදාන්තය දක්වා විමසුම් බැල්මක් හෙලූ ජ්‍යෝති පැවසුවාය.

“මැඩම්ට ඒ ඇඳුම අපූරුවට ගැලපෙනවා.”

“ස්තුතියි ජ්‍යෝති.”

“සාමාන්‍යයෙන් කෙනෙකුගෙ කොණ්ඩෙ නැති වුනාම ලැබෙන පෙනුමට වඩා වෙනස් පෙනුමක් මැඩම්ට තියෙන්නෙ. කොණ්ඩෙ නැති වුනාට පස්සෙයි මැඩම්ගෙ ඇස් වල ලස්සන පේන්නෙ කියලා අපේ මිස්ලා කතා වෙනවා.”

මට වෛද්‍ය කුෂ්වාන්ත් සිං සිහි විය. ඔහු ද දිනක් එසේ පැවසූ බව මගේ මතකයට නැගිණ.

“දැන් ඉතින් තිබුනටත් වඩා ලස්සනට කොණ්ඩෙ ඒවි. අපි ය

“යමුකෝ…”

ජ්‍යෝති මා අතින් අල්ලා ගත්තාය. විවිධාකාර සිතිවිලි මගේ සිතට පිවිසියද, ඇය මා විදුලි සෝපානය කරා කැඳවාගෙන ගියාය. විදුලි සෝපානය පහළට නොව ඉහළට ගමන් කරද්දී මම ජ්‍යෝතිගේ මුහුණ දෙස බැලුවෙමි.

“ඩොක්ට කුෂ්ගෙ ගෙදර?”

මම ඇසුවෙමි.

“හ්ම්…”

ජ්‍යෝති මුව තද කරගෙන දෑසින් සිනාසුනාය. මගේ පැමිණීම අපේක්ෂාවෙන් වෛද්‍ය කුෂ්වාන්ත් සිං බලා සිටියේය. මා මෙන්ම සුදු ඇඳුමකින් සැරසී සිටි ඔහු වඩාත් තරුණ සහ ආකර්ෂණීය පෙනුමකින් දිස් විය.

“එන්න ඩිනාලි. මං ඔයා එනතුරු බලාගෙන හිටියෙ.”

ඔහු මගේ දෑතින්ම අල්ලා ගත්තේය. මම ජ්‍යෝතිගේ මුහුණ දෙස බැලුවෙමි. ඇය සිනාව උතුරන දෑසින් අප දෙස බලා සිටියාය.

“මං යනවා. දැන් ඉතින් ඩොක්ටට භාරයි අපේ මැඩම්ව. ඕන කරන හැමදෙයක්ම සූදානම් කරලා තියෙන්නෙ. ෂේක් නම් ෆ්‍රිජ් එකේ.”

“තෑන්ක් යූ ජ්‍යෝති. බය වෙන්න එපා. මං ඔයාගෙ මැඩම්ව හොඳින් බලාගන්නම්.”

සිනාසුන ජ්‍යෝති විදුලි සෝපානයෙන් ගමන් නොකොට පියගැට පෙළ බැස දිව යන දෙස මම බලා සිටියෙමි.

“මට ඔයා එක්ක කතා කරන්න ඕන ඩිනාලි. මෙතන ඉඳගෙන කතා කරනවද? අපි බැල්කනි එකට ගිහින් කතා කරනවද?”

ඔහු ඇසුවේය. 

“බැල්කනි එකට යමු.”

මම පැවසුවෙමි. වෛද්‍ය කුෂ්වාන්ත් සිං මගේ අතින් අල්ලා ගත්තේය.

“ඔයා එතනට කැමති බව මම දැනගෙන හිටියා.”

මා සඳලුතලයට කැඳවාගෙන ගිය වෛද්‍ය කුෂ්වාන්ත් සිං කලින් පිළියෙල කර තිබු අසුනක මා පහසු ලෙස හිඳවූයේය. මගේ දෙනෙත් වලට කඳුලක් නැගුනේ ඔහුගේ ආදරය දරා සිටිය නොහැකි බැවිනි.

“ටිකක් ඔහොම ඉන්න.”

වෛද්‍ය කුෂ්වාන්ත් සිං නිවස තුළට ගියේය. රන් තැටියක් බඳු වූ සඳ, පුලුන් වලා කැටි අතරින් එබී බලන අපූරුව දෙස මම බලා සිටියෙමි. සඳ එළියෙන් ඈතින් දිස් වන ජාන්සි වැව දෙනෙත් නිවාලන සුන්දර දසුනක් නොවේද?

“ස්ට්‍රෝබෙරි ෂේක්. මමයි හැදුවෙ.”

වෛද්‍ය කුෂ්වාන්ත් සිං රැගෙන පැමිණි පානය මට පිළිගන්වා ඔහුද මා අසළින් හිඳ ගත්තේය. ඔහු වදනක් හෝ කතා කරන තුරු මා බලා සිටියද, බොහෝ වේලාවක් ගත වන තුරුම ඔහු නිහඬව ඈත අහස දෙස බලා සිටියේය. 

“ඩිනාලි…”

බොහෝ වේලාවකට පසු ඔහු කටහඬ අවදි කළේය.

“කොහොමද අද ඔයාගෙ බර්ත්ඩේ පාටි එක?”

“හරිම ලස්සනයි. වෙනස්ම ලෝකෙකට ගියා වගේ මට දැනුනා ඩොක්ට. ස්තුතියි ගොඩාක්. මට දැනුනෙ මං වෙනම ලෝකෙකට ගියා වගේ.”

“ඔයාගෙ ගෙදරින් ගෙනාව කේක් රසයි කියලා හැමෝම කිව්වා.”

“ඩිනාලි කේක් රසයි කියලා හැමෝම කියනවා.”

“සත්තකින්ම.”

වෛද්‍ය කුෂ්වාන්ත් සිං නැවතත් කල්පනාවට වැටුනේය. මම යන්තමින් හිස හරවා ඔහු දෙස බැලුවෙමි. ඔහුගේ දෙනෙත් අහස මධ්‍යයෙහි දිදුලන සඳපහන දෙසට යොමුව තිබිණ. වෛද්‍ය කුෂ්වාන්ත් සිං ලතවෙමින් සිටින්නේ සිත තුළ ඇති කිසිවක් පවසා ගත නොහැකිව වන්නට ඇත්දැයි මම සිතුවෙමි.

“ඩිනාලි…”

සෑහෙන වේලාවකට පසු ඔහු කටහඬ අවදි කළේය.

“මේ කතාව කොහොම පටන් ගන්නද කියලයි මං කල්පනා කරේ… මේකයි. ඔයාට බොහෝ දුරට හොඳයි. ඔයාට ඕනනම් දැන් ගෙදර යන්නත් පුලුවන්.”

මගේ හදවත සැනෙකින් කඩා වැටිණ. වෛද්‍ය කුෂ්වාන්ත් සිං, වෛද්‍ය පීහු ෂර්මා ඇතුලු කාර්ය මණ්ඩලය මගේ උපන් දින උත්සවය සැලසුම් කරන ලද්දේත්, මා අද මෙහි කැඳවා ගත්තේත් මගේ සමු ගැනීම වෙනුවෙන්ද?

“ඒ… ඒ කියන්නෙ ඩොක්ට?”

“මං…. මං…. කියන්නෙ දැන්… සනීප නිසා… ගෙදර යන්න පුලුවන් කියලා…”

ඔහු තැතනුවේය.

“ඩොක්ට මං යනවට කැමතිද?”

මට ඇසිණ.

“පේෂන්ට් කෙනෙක් හොස්පිටල් එකේ ඉන්නෙ ගෙදර යන්නෙ කොයි වෙලාවෙද කියලා ඇඟිලි ගැන ගැන බව මං දන්නවා. ඒකට මට බාධා කරන්න බැහැනේ.”

“ඔව්…” 

මම යන්තමින් වදන් ගලපා ගතිමි. 

“තෑන්ක් යූ ඩොක්ට. මාව මෙච්චර කාලයක් බලා ගත්තට. මාව සනීප කරාට. මගේ හිතට ධෛර්යය දුන්නට. මට….”

අවසන් වදන් පවසද්දී මට හැඬිණ. මෙතෙක් දිනක් මා මනසින් ගොඩ නගා ගත් සුන්දර ලෝකයම මගේ දෙපා මුල කඩා වැටෙමින් ඇතැයි මට සිතිණ.

“ඒ… ඒ  කියන්නෙ ඩිනාලි ගෙදර යන්න කැමතියි?”

මට වදනක් හෝ කතා කර ගත නොහැකි විය. දෑස් වලින් කඳුලු කැට කඩා වැටුනද එය වෛද්‍ය කුෂ්වාන්ත් සිංගෙන් වසන් කර ගන්නට මට උවමනා විය.

“ඔයා… යන්න කැමති වුනත්… ඔයා යනවට… මගේ… කැමැත්තක් නෑ.”

ඔහු ආයාසයෙන් පැවසුවේය.

“මටත් ඩොක්ටව දාලා යන්න බෑ.”

වෛද්‍ය කුෂ්වාන්ත් සිං ඔහු හිඳගෙන සිටි පුටුව වඩාත් මා සමීපයට ඇද ගත්තේ මගේ උරහිස මත අත තබමිනි..

“මං දන්නවා. ඩිනාලි… මට… එක… දෙයක් කියන්න තියෙනවා… මං ඔයාට වයසින් වැඩියි.”

“ඒක… මට ප්‍රශ්නයක් නෙමෙයි ඩොක්ට. මං ඩොක්ටට….”

මම වදන් ගිල ගතිමි. මගේ සිත තුළ ඔහු කෙරෙහි ඇති ආදරය වදන් වලට හරවා ගැනීම මට අසීරු විය.

“මං දන්නවා…”

ඔහු මගේ අතැඟිලි සිය අතැඟිලි හා පටලා ගත්තේය. එහි උණුසුමෙන් මා දැවී යන්නාක් මෙන් මට දැනිණ.

“මට එක ප්‍රශ්නයක් තියෙනවා ඩොක්ට.”

“කියන්න… මොකක්ද ඩිනාලි?”

“මට කවදාවත් දරුවෙක් හදන්න බෑ.”

“ඒක මට ප්‍රශ්නයක් නෙමෙයි.”

ඔහු පැවසුවේය.

“අපි දෙන්නා මේ හොස්පිටල් එකට එන පේෂන්ට්ස්ලා ගැන දරුවො විදියට හිතමු. අපි ඒගොල්ලන්ව ආදරෙන් බලා ගනිමු.”

වෛද්‍ය කුෂ්වාන්ත් සිං සිය කලිසම් සාක්කුව යවා රතු පැහැති විල්ලුද පෙට්ටියක් එතුළින් ගෙන මා අත තැබුවේය.

“මේ මොකක්ද?”

මා ඇසුවේ කුතුහලයෙනි.

“අරගෙන බලන්නකො. පුංචි තෑග්ගක්. ඔයාගෙ බර්ත්ඩේ එකට මට මොනවත් දෙන්නත් බැරි වුනානෙ.”

මම විල්ලුද පෙට්ටිය හැර බැලුවෙමි. එහි මධ්‍යයේ වූ ඉතා අලංකාර මුදුව සැනෙකින් මගේ දෙනෙත් පැහැර ගත්තේය. සඳ එළිය පතිතව එය දිදුලන අපුරුව දෙස මම වශීකෘතව බලා සිටියෙමි. 

“ඔය ඩයමන්ඩ් රිංග් එකක්. මට මගේ අම්මා දුන්න එකක්. කවදාහරි දවසක මං ආදරේ කරන කෙනාට දෙන්න කියලා අම්මා මැරෙන්න කලින් මට ඕක දුන්නෙ.”

මට ජාන්සි සිහියට නැගුනේ නිතැතිනි.මෙම මුදුව ඇයට පළඳවන්නට ඔහු සිහින දකිමින් සිටින්නට ඇතැයි මට සිතිණ. එහෙත් අකාලයේ ජීවිතය හැර ගිය ඇය සිහි කර ඔහුගේ සිත පාරන්නට මට නොසිතිණ.

“ලස්සනයි. ඩොක්ටම දාන්න…”

ඔහු අභියස මම බොළඳ දැරියක වී සිටිමි. මා වම් අත දිගු කරගෙන සිටියදී අඩ සිනාවෙන් යුතුව ඔහු දියමන්ති මුදුව සියතට ගත්තේය.

“මේක ආදරය වෙනුවෙන්… අපි මැරි කරන දවසට මීටත් වඩා ලස්සන… වටිනා මුද්දක් මං ඔයාගෙ ඇඟිල්ලට දානවා ඩිනාලි.”

මගේ වෙදැඟිල්ලෙහි සීරුවෙන් මුදුව පැළඳූ ඔහු මගේ අත සිය මුහුණට ළං කර ගත්තේය.

“තෑන්ක් යූ ඩොක්ට…”

“තවමත් ඔයා මට ඩොක්ට කියලද කියන්නෙ ඩිනාලි?”

“එහෙම කියන්න එපාද?”

“එපා. ඊට වඩා ආදරණීය ආමන්ත්‍රණයක් ඇත්තෙම නැද්ද?”

“මම කල්පනා කරන්නම්… ඩොක්ට කැමති මම මොකක් කියලා කතා කරනවටද?”

මම බොළඳ දැරියක මෙන් විමසුවෙමි.

“ඔයා කැමති ඕනම විදියකට මං කැමතියි.”

“එහෙනම්… මං සතුට කියලා කතා කරන්නද?”

“සතුට?”

“ඔව්. ඩොක්ටමනෙ දවසක් කිව්වෙ කුෂ්වාන්ත් කියන්නෙ සතුට කියලා.

“ඇත්ත. ඒත් ඒ නම දිග වැඩියි.”

“මං කුෂ් කියලා කියන්නද?”

“හ්ම්…”

ඔහු සිනාසුනේය. පුරා සඳෙහි ආලෝකය සඳලු තලයට පතිත වෙමින් තිබිණ. සුදු සඳ දියෙන් නැහැවුනු ජාන්සි වැවත්, අවට පරිසරයත් පුදුමාකාර සුන්දරත්වයක් මවා පෑවේය. 

වෛද්‍ය කුෂ්වාන්ත් සිං නැගිට සඳලුතලයේ වැටට බර වූයේ අවට පරිසරයෙහි සුන්දරත්වය දෑසින් වැළඳ ගනිමිනි. මම ද නැගිට ඔහු අසළට ගියෙමි.

“කුෂ්…”

මම සෙමෙන් ඔහු ඇමතුවෙමි. ඔහු හිස හරවා මදෙස බැලුවේය. දුටු පළමු දිනයේදීම මගේ සිත ආකර්ෂණය කළ ඔහුගේ දීප්තිමත් දෙනෙත් වඩාත් දීප්තිමත්ව සඳ එළියෙහි බැබලුනේය.

“ඩිනාලි…”

“මේ තුම්සේ ප්‍යාර් කර්තී හූ.”

මම සෙමෙන් පැවසුවෙමි. ඔහු සෙමෙන් සිනාසුනේය. 

“මාත් ඔයාට ආදරෙයි ඩිනාලි.”

මෙතෙක් ආලෝකය විහිදුවමින් තිබූ සඳපහන සුදු වලා කැටියක් තුළ සැඟව ගිය අපූරුව දෙස මම බලා සිටියෙමි. ඔහු සිය දෑත් අතරට මා මැදි කර ගත්තේ මහත් සන්තෘෂ්ඨිදායක හැඟීමෙන් වන්නට ඇත. තවත් ස්වල්ප වේලාවකින් වලාකුළු අතරින් මිදුනු පුරා සඳ, සුදු සඳ දියරෙන් අප නහවන්නට වූයේ  අපට ආශීර්වාද කරමින් යයි මට සිතිණ.

අවසානයි. 

දින හතළිස් හතක් පුරා ආදරණීය ඔබ වෙත තිලිණ කළ ‘බිම් මල්’ නවකතාව අද දින නිමාවට පත් වෙයි. ඩිනාලි සහ කුෂ්වාන්ත් සිං සමග ඒකාත්මික වෙමින් ආදරණීය ඔබ පළ කළ අදහස් මේ කාලය තුළ මා කියවූයේ මහත් ආදරයෙනි. පෞද්ගලිකව ඔබ වෙත මගේ ආදරයත්, ස්තුතියත් පළ කරන්නට උවමනා වුව ද, කාර්ය බහුලත්වය නිසා මගේ අදහස් ඔබට පෞද්ගලිකව පළ කරන්නට නොහැකි වීම ගැන කණගාටුවෙමි. ආදරණීය ඔබ සියලු දෙනාම හැමදාමත් මට ශක්තියක් බව කිවමනාය.

Smartlady කණ්ඩායමේ ආදරණීය කෞමදීටත්, නිබන්ධිකා ඇතුලු සියලු දෙනාටත් ආදරණීය පාඨක ඔබටත් ස්තුතියි.

ප්‍රියංකා අමරතුංග

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles