යුතුකම

මුලු ඔෆිස් එකේම කතා වෙන්නේ  ඊයේ හවස  නුරාධ්‍යා ඔෆිස් එකට  එහා හන්දියේදී වයසක සීයා  කෙනෙක්ව අත අල්ලන් පාර මාරු කරපු සිද්දිය.  එතනින් නැවතෙන්නේ නැතුව ඒ සීයාව  ත්‍රී රෝද රථේක නංවගෙන  ගෙදර එක්කන් ගියා  කියලත් කට කතාව යනවා.

” හැදිච්ච කෙල්ලෙක්ට යුතු දෙයක්ද ඉතින් ඔය ?”

සුභාෂිණි මිස් හැමෝටම කිය කියා යනවා ඇහෙනකොට සන්දීපා හිටියේ පුදුමාකාර  තරහකින්.  හරි හැටි වෙච්චි දෙයක්වත් නොදැන මෙහෙම චරිත සහතික ලියන එක සුභාෂිණි මිස්ට රාජකාරි ලැයිස්තුවෙන් පවරපු වගකීමක්ද කියලාත් සන්දීපා හිතුවා. 

සන්දීපා පරිඝනකය ක්‍රියාත්මක කරලා ජංගම දුරකථනය අතට ගත්තේ නුරාධ්‍යාට ඇමතුමක් දෙන්න.  ඒත් එක්කම විවෘත වුණ දොරෙන් අඬාගෙන් ඇතුළට එන නුරාධ්‍යා දැක්කම සන්දීපා එක පාරටම මුකුත් හිතාගන්න බැරුව ගල් ගැහුණා. ඊටත් පස්සේ දඩි බිඩියේ පුටුවෙන් නැගිටලා නුරාධ්‍යා ළඟට ගියා.

“ඇයි අනේ..?”

නුරාධ්‍යා කලේ ඉකි ගහමින් හඬපු එක. සන්දීපා අපහසුවෙන් ඇයව කෙලින් කරවගත්තා. සුභාෂිණි මිස්ලා තමන්ට ඇණුම් පද කියන බවත්, නන්නාදුනන මිනිස්සු ත්‍රී රෝද රථ වල නංවගෙන ගමන් යන්නේ පුරුද්දටද ඇහුව බවත් කියනකොට නුරාධ්‍යා ට තව ඉකි ගැහුණා. සුභාෂිණි මිස්ලාගේ ඕපාදූප කියවිල්ල ගැන දැනගෙන හිටියා වුනත්, එක පාරටම මෙහෙම ඒ ගැන නුරාධ්‍යා ගෙන් විමසාවි කියලා නම් සන්දීපා හිතුවේවත් නැහැ. 

ඊට පස්සේ නුරාධ්‍යා ගේ හිත සන්සුන් වෙනකල් විනාඩි කිහිපයක්ම සන්දීපා නිහඬව හිටියා. ඊටත් පස්සේ තමා සිදු වුන දේ ඇහුවේ. 

ඒ කවුරුන්ද කියලාතමා නොදන්නවා වුණත් කහ ඉර ළඟින් පාර මාරු වෙන්න උදව් කල බවත් , ඉන් පස්සේ ඔහු රෝගී බවක් දැනුණ නිසා ඒ ගැන විමසූ බවත්, නගරයට පැමිණියේ යම් කාරණාවක් වෙනුවෙන් බව ඔහු පැවසූ බවත් නුරාධ්‍යා කිව්වා. ඉන් පස්සේ ඔහුගේ නිවස තියෙන ඉසව්ව විමසුවාම ඒ තමන්ගේ නිවසට යාබද මාවතේ නිසා ඔහුවත් කැටුවම ත්‍රී රෝද රියට ගොඩ වූ බවත් ඇය කිව්වේ ඉකි ගැහෙන එක නවත්තගෙන.

“ඒක හරි.. ඒ උනාට නන්නාදුනන මිනිස්සුන්ට පමණට වඩා උදව් කරන එකත් ඩේන්ජර්…”

“ඒක මම දන්නවා සන්දීපා.. ඒ මම හැමදාම යන එන වීල් එකනේ…  ඉතින් ඒ අය්යා ඉන්න හින්දානේ මම බය නැතුව සීයාවත් ඇරලවන්න නග්ග ගත්තේ..”

“ඔව් ඒක හරි.. මෙහෙ ඉන්න ඕපාදූප වට්ටි අම්මලා ඕවා දන්නේ නෑනේ…”

“එහෙමයි කියලා ඒගොල්ලන්ට තියෙන අයිතිය මොකක්ද අප්පා මෙහෙම කතන්දර කියන්න…”

“ඒ සුභාෂිණි මිස්ගේ හැටි.. ඔයා දන්නවනේ…”

“ඔව්.. අර අකිලා බැඳපු ගමන් බබෙක් ලැබෙන්න ආව කියලා ඒ කෙල්ලට ජොබ් එකත් එපා වෙනකල්ම කතා හැදුවනේ…”

නුරාධ්‍යා එහෙම කියලා සන්දීපාව තනි කරලා ආයෙම තමන් උන්න කොටසෙන් එලියට ගියේ සන්දීපා ට ඉන්න කියලා. විනාඩි පහාලොවකින් විතර ආයෙම ආවා. ඊට පස්සේ ජංගම දුරකථනයේ පටි ගත කරපු හඬ පටයක් අහන්න දුන්නා. 

ඒ හඬ පටයේ තිබුණේ සුභාෂිණි මිස් ආයේම නුරාධ්‍යා කල දේ ගැන ප්‍රශ්න කරන එක සහ ඇගේ ඇණුම් පද.

“මොකද්ද කරන්න හදන්නේ..?”

“මේක සීඩී එකකට කොපි කරලා ඇමුණුම විදියට දාලා අමාත්‍යාංශ ලේකම්ටත් පිටපත දාලා බොස්ට ලියුමක් දෙනවා… මානසික පීඩාවට පත් වීම නිසා රාජකාරි කරන්න අපහසුයි, ස්ථාන මාරුවක් ලබා දෙන්න කියලා ..බලමුකෝ ඔය සුභාෂිණි මිස් මේ පාරවත් පාඩමක් ඉගෙනගනීද කියලා…”

නුරාධ්‍යා ඒ ලියුම හදන එක ගෙදර ගිහින් කරන්න ඉතිරි කරලා, දවසේ අනෙක් වැඩ වෙනුවෙන් අවධානය යොමු කරා. 

ඒ අතරේ තමයි හදිසියේම කාර්‍යමණ්ඩල රැස්වීමක් වෙනුවෙන් කැඳවීම් ආවේ. සුභාෂිණි මිස් නුරාධ්‍යා එක්ක හිනාවෙන්න උත්සාහ කලත් නුරාධ්‍යා කලේ නොදැක්කා වගේ උන්න එක. 

ආයතන ප්‍රධානියා හදිසි රැස්විමක් වෙනුවෙන් විනාඩි කිහිපයක් සඳහා පිරිස කැඳෙව්ව බව කිව්වා. කටයුතු වලට බාධාවක් වුනා නම් සමාවෙන්න කියලත් කිව්වා. 

ඊට විනාඩි කිහිපයකට පස්සේ රැස්වීම් ශාලාවට ඇතුළු වුන කෙනා දැක්කම සන්දීපා නුරාධ්‍යා ගේ අතින් හය්යෙන් අල්ලා ගත්තා. 

සංගීත ක්ශේතයේ උමතුවක් වුණ නේමින්ද ආකර්ෂණ. හැමෝම ඔහු දිහා පුදුම වෙලා බලාගෙන ඉන්නකොට ආයතන ප්‍රධානියා ඔහුව පිළිගත්තා. 

“අපේ සර්ට ස්තූතිවන්ත වෙනවා මට මේ අවස්ථාව ලබලා දුන්නට… ඇත්තටම මම හදිසියෙම ආයේ කොළඹ යන්න වෙලා තියෙන නිසා තමයි අද මේ වෙලාවෙම සර්ට කතා කරලා මේ අවස්ථාව ඉල්ලගත්තේ….

මට මේ කාරණේ මඟ ඇරලා අතපසු කරලා යන්නත් හිතක් නොතිබුණ නිසා..

මං පෙරේදා අපේ පවුලේ අය  එක්ක මෙහේ මගේ යාලුවෙක් ගේ ගෙදර ආවා…. ඒ අතරේ අපේ සීයා කාටවත් නොකියා වීල් එකක නැඟලා ටව්න් එකට ඇවිල්ලා..ඒ ඇවිල්ලා තියෙන්නේ ඉස්සරහ කාලේ සීයා ආව ගිය කඩයක් හොයාගෙන …… කොහොම හරි පර්ස් එකත් මිස් වෙලා…. ඒ අතරේ කලන්ත ගතියකුත් ඇවිල්ලා..පැය දෙක තුනක් තිස්සේ නිසා… ඒ වෙනකනුත් අපි හිතාගෙන හිටියේ සීයා කාමරේ නිදි බව..

පස්සේ, මේ ඔෆිස් එකේ මිස් කෙනෙක් අපේ සීයාව පරෙස්සමට ගෙදරට බස්සවලා තියෙන්නේ…. ඇත්තටම, වීල් එකේ මල්ලීව හොයාගෙන අද උදේ තමයි මිස්ව හොයාගන්න පුළුවන් වුනේ…

ඇත්තටම මේක මට ජීවිතේටවත් අමතක කරන්න බැරි සිදුවීමක්… 

ස්තූතිවන්ත වුනාට හිතට මදි..

තෑග්ගක් දුන්නා කියලා ඒකෙන් මේ කරපු දේ පිරිමැහෙන්නෙත් නැහැ…

ඒත් මට ඉන් එහා කරන්න දේකුත් නැහැ …

බොහෝම ස්තූතියි මිස් නුරාධ්‍යා .. ඔයත් ලස්සනයි, ඔයාගේ නමත් ලස්සනයි, ඔයාගේ හිතත් සෑහෙන්නම ලස්සනයි…  මං වෙනුවෙන් මේ තෑග්ග බාරගන්න .. අපේ සීයාවත් එක්කගෙන ඉක්මනට දාක ඔයාව බලලා යන්න එන්නම් අපි…”

නුරාධ්‍යා හිටියේ හීනෙක වගේ. සන්දීපා නුරාධ්‍යා ව කොනිත්තලා ඉස්සරහට යන්න මතක් කලා. ඒත් නුරාධ්‍යා ට නැගිටගන්න තරම් ප්‍රාණවත් බවක් දැනුනේ නෑ. දෙපා අයිස් සීතලට දැණුනෙ.

ආයතන ප්‍රධානියා ත් නුරාධ්‍යා ට කතාකරනවා ඇහුණා.

සන්දීපා බලෙන්ම නුරාධ්‍යා ව නැගිට්ටුවා.

ඒ අතරේම සන්දීපා සුභාෂිණි මිස්ගේ මූණ දිහාව බැලුවා.

සුභාෂිණි මිස්ගේ මූණ එහෙම විරූපී වෙලා තියෙනවා නම් මීට කලින් කවදාවත් දැකලා නැති බව සන්දීපා ට මතක්  වුණා.

More Stories

Don't Miss


Latest Articles