මීදුම් මාරුත -3

සකුණ භාවනාගේ නිවසේ දොරට සන් කළේ අක්කා නගෝ දෙදෙනාම නැති බව දැනගෙන ය.අම්මාට පෙර පිටතට ආවේ ලියෝ ය.ලියෝ දෙඅත් ඔසවා සකුණගේ ඇඟ මතට ගොඩ වන්නේ සන්තෝසයෙන් දෑස් නටවන අතර ය.සකුණ ලියෝගේ හිස පිරිමදිමින් බරාඳයේ පුටුවක අසුන් ගත්තේ ය.

“චූටි ගෙදර නෑ පුතේ..”

මාලිකා පිටතට ආවේ එසේ කියමිනි.සකුණ එන්නට ඇත්තේ භාවනාගේ උපන්දිනය වෙනුවෙන් බව ඇය දනියි.නමුත් ඇය අද මැදියම් රැය වනතුරු නිවසට එන්නට ඉඩ නැතැයි මාලිකා සිතුවේ විස්සෝපයෙනි.

“මාත් එක්ක තරහ වෙලාදත් කොහෙද…”

සකුණ එසේ කියන්නේ ලියෝ සුරතල් කරමිනි.මාලිකා කිසිත් නොකියා ඔහු දෙස බලා හුන්නා ය.සකුණ අපූරු තරුණයෙකි.පුතුන්ට ඇලුම් කරන ඇයට සකුණ ද අහිමිව යතැයි අනියත බියක් නොදැනෙනවාම නොවේ.

“පුතා ඊයේ රෑ ආවේ නැති නිසාද? දැන් ඕකට දවස් ගාණක් පලි ගනියි.ඉස්සර මට මොනවහරි අරන් දෙන්න බැරි වුණාමත් එහෙමයි.මතක තියන් පලි ගන්නේ..”

මාලිකා කියද්දී සකුණ සිහින් සිනාවක් පා කළේ ය.

“සේරම හරි කියල හිතුවට තාම සේරම හරි ගිහින් නෑ අම්මේ.ඒ හින්දා ඔහොම එකතු වෙවී විකාර නටනවට මං කැමැත්තක් නෑ.ඒවා කිව්වම එයාට කේන්ති යනව ඉතින්..සේරමත් හරි, කාව්‍යා ඉන්න තැන අපි දැන්මම නටන්න දඟලන්න තියාගන්න එක හරි නෑ.”

සහෝදරියට නොදැනෙන සත්‍යය කාව්‍යා ගැන අවබෝධ කරගත් සකුණ ගැන මාලිකාට දැනෙන්නේ ආදරයකි.ඇය සුසුමක් හෙළුවේ කියන්නට කිසිත් නැති බැවිනි.

“අද කාව්‍යාත් පරක්කුද අම්මේ..උදේනම් මට මුණ ගැහිලා මං ඔෆිස් එකටම ඇරලුවා.”

සකුණ එසේ කියද්දී මාලිකා ඔහු දෙස බැලුවේ අසරණ දෑසකිනි.ඇය මේ මඟ බලා හිඳින්නේ ද භාවනා එනතුරු නොවේ.කාව්‍යා එනතුරු ය.ඇයට කාව්‍යා ගැන දැනෙන්නේ දරා ගන්නට අසීරු ශෝකයකි.

“මං මේ මඟ බලන් ඉන්නේ ඒකයි පුතේ, අද ගෙදර යන්නෝනෙ කිව්වා.මෙලහකටත් ගිහින් ඇති.මාත් එක්ක ඉරිදා යං කිව්වට ඇහුවෙ නෑනෙ..”

භාවනාට වඩා තමන්ගේ පාසල් කාලයේ මිතුරිය වු කාව්‍යාට ඇත්තේ ඉතා සියුමැලි හිතක් බව සකුණ දනියි.ඔහු තත්පර කිහිපයක කල්පනාවකින් පසු මාලිකා දෙස බැලී ය.

“දැන් හතටත් කිට්ටුයිනෙ අම්මා.ගිහින් එක්කන් එමුද? අම්මා ඉන්න නැත්තං මං යන්නම්..”

මාලිකා හිස සැලී ය.සකුණ මොහොතක්වත් පමා නොවී මෝටර් රථයට නැඟුණේ ය.

කාව්‍යා,දිය නාගෙන ඇය කැමතිම සැහැල්ලු ගවුමෙන් සැරසුණේ කැඩපතට හිනැහෙමිනි.තමන්ගේ නිවසට බොහෝ කාලයකට පසු පැමිණි සතුටින් ඇය සොම්නස් සහගතව හුන්නා ය.නටන කේතලයේ හඬට ඇය මුළුතැන්ගෙයට එබුණේ මුහුණට බොරු තරහක් මවා ගනිමිනි.

“මං එනකම් තේ ටිකක් හදන්න බෑ නේද ඉතිං…”

සෙනුර මුළුතැන්ගෙයි පුටුවේ වැටී හිඳින්නේ කම්මැලිකමිනි.ඒ කුසීත මන්දස්මිතයෙන් කාව්‍යාගේ හදවතම පිරී යන බව ඇයට දැනේ.ඇය දියව යන්නේ ඒ දෑසේ ඇඳෙන ප්‍රේමණීය බැල්මට ය.

“ඔයාගෙ තේ එකේ රහ මට ගන්න බැරි එකේ මං මොකටද ඉතිං තේ හදන්නෙ..”

කාව්‍යා තේ කෝප්ප සේදුවේ ප්‍රවේසමිනි.බොහෝ කාලයක් භාවිතා නොකිරීම නිසා ඒවායින් පැරණි වූ සුවඳක් හමා එයි.ඒ සුවඳ අලුත් වනවාට ඇය කැමති ය.

“දොස්තර මහත්තය හොස්පිටල් එක බදාගත්තම ගෙදර බඩුමුට්ටුත් පරණ වෙනව.මටත් ගෙදර ඉන්න කම්මැලි හිතෙනවා.”

ඇය තේ සකසන්නේ නෝක්කාඩු කියමිනි.සෙනුර සිහින් සරින් හිනැහෙන හඬ ඇසේ.ඇය තේ කෝප්පය රැගෙන සෙනුර වෙත එන්නේ ඉල්ලීමක් කරන්නට සිතමිනි.

“සෙනූ, සින්දුවක් කියන්නකො.දෑත දරා කියන්න..”

එහෙත් සෙනුරට ගී ගයන්නට ඉඩ නොදීම මෝටර් රථයක නළා හඬ ඇසෙන්නේ කාව්‍යා තිගැස්මකට ලක් කරමිනි.කළුවර වැටෙමින් ඇති බව සිහිව ඇය නිවස පුරා විදුලි පහන් දල්වා වාහනය ගැන විපරම් කරන්නේ ජනෙල් තිරයෙනි.

“අම්මා කිව්වා කාව්‍යාව එක්කන් එන්න කියල.අස්පස් කරානම් යංද?”

කාව්‍යා විවර කළ දොරෙන් ඇතුළට නෑවිත්ම සකුණ අසයි.කාව්‍යා නෙත් බිමට බර කරගන්නේ ශෝකයෙනි.

“මං අද ඉන්න හිතුවෙ සකුණ..”

සකුණ කාව්‍යා දෙස බලන්නේ ප්‍රවේසමිනි.අනතුරුව වචන පාවිච්චි කරන්නේ ද ප්‍රවේසමිනි.

“භාවනා අද ගෙදර එනපාටක් නෑ කවී..මං ඒකමයි ආවෙ.අම්මා තනියමනෙ.අපි යංද?”

කාව්‍යා ගෙදර යා යුත්තේ ඈ මෙහි තනිව හිඳීම නිසා නොවේ.අම්මා එහි තනිව නිසා ය.ඒ වචන කාව්‍යා පිළිගත් බව වැටහෙද්දී සකුණට සැනසීමක් දැනෙයි.

“මං තේ හැදුවා සකුණ.බීලම යං..”

එකම පෙනුමැති මග් දෙකෙන් එකක් කාව්‍යා සකුණ අත තබද්දී ඔහුට දැනුණේ වේදනාවකි.මේ ලෝකයට පොදු වේදනාවක් බව ඇත්තකි.නමුත් තමන්ගේ මිනිසුන්ට ඒ වේදනාව උරුම වීම දරන්නට අපහසු බව ඔහුට සිතේ.

“ඔයා තේ බොන්නකො සකුණ.මම කිචන් එක අස් කරලා එන්නම්..”

කාව්‍යා නිවස තුළට යද්දී සකුණ තේ කෝප්පය ද රැගෙන සාලයේ සක්මන් කරන්නට පටන් ගත්තේ ය.සෙනුර ඡායාරූපයකට වී සිනාමුසුව බලා ඉන්නා අයුරු සකුණට පෙනුණේ බොඳ වූ දෑසකිනි.පාසල් කාලයේ මතක එක පෙළට ගලා එද්දී ඔහුට මෙතැන රැඳීම පවා අපහසු බව දැනේ.

“ඉස්සර වෙන්න හිතපු එකේ උඹට නොගිහින් ඉන්නත් තිබුණා සෙනුර..”

සකුණ සිතුවේ සෙනුරගේ ඡායාරූපය පිරිමදිමිනි.

අනෙක් කොටස්

More Stories

Popular

Don't Miss




Latest Articles

මුතු බෙලි හදවත – 21 වන කොටස

ආදිත්‍යා ට මුලින් ම දැනුණේ සිය දෙපා සීතල වෙනවා ය. ඒ සීතල වීමත් එක්ක අයිස් සේ ගල් වීමක් ද සිදු විය. ඇගේ...

මතක දිගහැරුම 74 – අප්සාරි සිංහබාහු තිලකරත්න

හැත්තෑ හතරවන දිගහැරුම ,කණ්ඩායමෙන් ඉවත් කිරීම නිසා දැඩි ලෙස මානසිකව පීඩාවට පත්වී සිටි හෂාන්ට ධෛර්ය දීම සඳහා දෙමව්පියන්...

මීදුම් මාරුත -18

"දඟම කාලේ නේද උදාරා දැන්.."මොළකැටි සිනා නගන බිළිඳියගේ සුරතලය දෙස බලා ඉන්නා අතර කාව්‍යා ඇසුවේ ආදරයෙනි.උදාරා ද ඒ...

හිත ගිය තැන්

අශානි ඉක්මන් ගමනින් ගේට්ටුව ඇරගෙන ඇවිත් මහ ගෙදරට ගොඩ උනා.ඇගේ පැමිණීම බලාපොරොත්තුවෙන් කල්‍යාණි බලාගෙන හිටියේ දොරකඩට වෙලා." පයින්...

මවකගේ ලෝකය – 7 වන කොටස

පවුලේ ඥාති දියණියකගෙ විවාහ මංගල උත්සවයකට යන්න අපි ලකලැහැස්ති වුණේ උනන්දුවෙන්. දුවට ගැලපෙන විදිහට ලස්සන විලාසිතාවක ඇඳුමක් තෝරල දෙන්න මං හුඟක් මහන්සි...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content