බිම්මල් – 46 කොටස

කෙනෙකුගේ ජීවිතය යනු මෙතරම් ආශ්චර්යජනක සිදුවීම් වලින් පිරුණුදෙයක් දැයි මම කල්පනා කරමි. ජීවිතයට එළඹෙන දුක් කම්කටොලු හා බාධා ඇතුළත අපූර්වත්වයෙන් පිරී ගිය  සිදුවීම් රැසක් ඇති  බව බොහෝ දෙනෙකු නොදැන සිටියි. මම ද කලක් එසේ සිතුවෙමි. දුක හා කඳුලට උරුමකම් කියමින් ඒ හා බද්ධ වී සිට ජීවිතයෙන් නික්ම යාම නොව ඒ අඳුර අතරින් ආලෝකයක් දකින්නැයි සියලු දෙනාගෙන්ම ආයාචනා කරන්නට තරම් මගේ සිත පිරිපුන් වී තිබේ. ඒ පිරිපුන් බව ඇති කළේ  ලේඩි ජාන්සි අනුස්මරණ රෝහලයි. වෛද්‍ය කුෂ්වාන්ත් සිං පමණක් නොව වෛද්‍ය පීහු ෂර්මා ඇතුලු රෝහල් කාර්ය මණ්ඩලයම මෙහි නේවාසිකව ප්‍රතිකාර කරන රෝගීන්ගේ මනස ශක්තිමත් කිරීමට දරන වෑයම පැසසිය යුත්තක් නොවේද?

මා වෙනුවෙන් සැලසුම් කර තිබූ උපන්දින සාදය නිමා වූ පසු අම්මා, සුදු නංගී සහ වජිරා සමග මගේ කාමරයට පැමිණි පසු මට සිතන්නට බොහෝ දෑ තිබිණ. එහෙත් ආදරය ද රැගෙන පැමිණි අම්මාගේ විස්මිත දෙනෙත් ද, සුදු නංගීගේ විහිලු තහලු ද, වජිරාගේ ආදරය ද මට කිසිවක් සිතන්නට ඉඩ නොතැබීය. මම වරෙක මා කොනිත්තා බැලුවේ මෙය සිහිනයක්දැයි සිතමිනි.

“මට මේ හැම දෙයක්ම පුදුමයි.”

කාමරයට පැමිණ හිඳගත් අම්මා පැවසුවාය.

“කෙනෙකුට යම් දෙයක් අහිමි වෙන්නෙ ඊට වඩා හොඳ දෙයක් ලබන්න කියලා ඉස්සර අපේ සීයා නිතරම මට කියනවා.”

ඇය පැවසුවාය. ජනේලය අසළ සිටගෙන ජාන්සි වැව වැසී යන තරමට පිපී ඇති සුදු රතු නෙලුම් මල් යාය දෙස බලා සිටින සුදු නංගීට හා වජිරාට ඇය පැවසූ වදන් නොඇසෙන්නට ඇත.

“මටත් පුදුමයි.”

මම පැවසුවෙමි. අම්මා සිනාමුසු මුහුණින් යුතුව මගේ අත සෙමෙන් පිරිමැද්දාය. කැනියුලාව සවි කර තිබූ ස්ථාන වල වූ කලු පැහැති පැල්ලම් ඇගේ නෙත ගැටෙන්නට ඇතැයි මම සිතුවෙමි.

“ගෙදර ගියාම මේ තැන් වලට මොනවා හරි ගාන්න ඕන. සුදු හඳුන් උරච්චි කරලා ගෑවොත් හරි යාවි.”

“ඔව් අම්මා. හමේ විතරක් නෙමෙයි. හිතේ තියෙන කැළැල් ඔක්කොමත් මොනවා හරි ගාලා  මකා දාන්න ඕන.”

“මට පේන හිටියට ඒක දැනටමත් කුෂ් කරලා වගෙයි තියෙන්නෙ.”

අම්මා අඩ සිනාවෙන් යුතුව පැවසුවාය. මගේ මුහුණ රතු වන්නට ඇතැයි මට සිතිණ.

“ඩොක්ට කුෂ් හරිම හොඳයි අම්මා.”

මම පැවසුවෙමි. ඇය සෘජුව මගේ මුහුණ දෙස බලා සිටියාය.

“මම ඩිනාලිගෙන් එක ප්‍රශ්නයක් අහන්නද?”

“අහන්න අම්මා…” යි පැවසුවද මගේ හදවත ගැහෙන්නට වූයේ ඇය ඇසීමට සැරසෙන ප්‍රශ්නය නිසැකවම වෛද්‍ය කුෂ්වාන්ත් සිං පිළිබඳව විය යුතුයයි ඉවෙන් මෙන් දැනුන හෙයිනි.

“ඔයා ඩොක්ට කුෂ්ට ආදරේ කරනවද?”

අම්මා පිළිතුරක් අපේක්ෂාවෙන් මගේ මුහුණ දෙස බලා සිටියාය. මගේ මුහුණ රතු වන්නට ඇත. 

“ඩොක්ට හරි හොඳයි.”

මම පැවසුවෙමි. අම්මා සිනාසුනාය.

“හොඳ බව මං දන්නවා. මං අහන්නෙ ඔයා එයාට ආදරේ කරනවද කියලා විතරයි.”

“ඩොක්ට හරි කරුණාවන්තයි.”

“ඒක හැමෝම කියන දෙයක්. මං අහන්නෙ ඔයා එයාට ආදරේ කරනවද කියලා විතරයි.”

“මම දන්නෙ නෑ අම්මා.”

“හංගන්න බැරි දේවල් දෙකක් තියෙනවලුනේ පුතේ.” 

අම්මා සිනාසෙමින් නැගිට්ටාය.

“කැස්ස හැදුනම හංගන්න බෑ කියනවනේ. අනිත් එකත් ඒ වගෙයි කියලා දැනගෙන හිටියොත් හොඳයි.”

“ඒක සම්පූර්ණ ඇත්ත. ඔප්පු කරන්න ඕන නම් මගේ ළඟ හොරෙන් ගත් ෆොටෝස් තියෙනවා ලොකූ…”

නෙලුම් මල් දෙස බලමින් සිටින බව පෙනුන ද, සුදු නංගීගේ දෙසවන් මගේත්, අම්මාගේත් කතා බහ කෙරෙහි විය යුතුය.

“තියෙනවනම් එවනවකො බලන්න.”

මා පැවසුවේ එම සේයාරූ බැලීමට ඇති වූ ආශාව නිසාය.

“එවන්නම්. හැබැයි ඉතින් එඩිට් කරලා එවන්න ඕන. කොහොමද අම්මා දෙන්නගෙ ලව් එක… අම්මෝ… මට නම් ලැජ්ජා හිතුණත් එක්ක.”

“සුදු…”

අම්මා සැර කළද, ඇගේ මුහුණ සිනාවෙන් පිරී තිබිණ.

“අපි යන්නත් ඕන පුතේ. භාර ගත්ත කේක් ඕඩර් දෙක තුනක්ම තියෙනවා.”

“මගෙත් ජොබ්ස් දෙක තුනක්ම තියෙනවා. මෙතනට ආවට පස්සෙ මෙතන කෝලම් දැක්කට පස්සෙ ඒ හැමදේම අමතක වුනා.”

මා කරා පැමිණ මගේ ගෙල බදාගත් සුදු නංගී පැවසුවාය.

“එක අතකට මමයි වැරදිකාරි. අනුමානයක් නෑ. මෙහෙට ආව දවසෙම මෙයා තේරුමක් දන්නෙ නැතිව මේ තුම්සේ ප්‍යාර් කර්තී හූ කියලා කියන්න ඇති. අර අහිංසකයත් ඒක අහලා මුලා වෙන්න ඇති.”

“අනේ සුදු බබා. විහිලු කරලා අපේ බබාව ලැජ්ජා කරන්න එපා.”

වජිරා පැවසුවාය. 

“අපි යමු. ඩොක්ට පීහුගෙන් අහලා යන්න ඕන. ඔයාව කවදා විතර ගෙදර එක්ක යන්න පුලුවන්ද කියලා.”

මගේ මුහුණ මැලවෙන්නට ඇත. මා දැනටමත් මෙහි ගත කරන ජීවිතය සමග බද්ධ වී ඇත්තේ පුදුමාකාර ලෙසිනි. මෙයින් පිටව ගොස් ගෙවන ජීවිතයක් පිළීබඳව මට සිතා ගත නොහැකි තරම් යයි සිතුණද ඒ බව අම්මා සමග පවසන්නට මට නොසිතිණ.

අම්මාත්, සුදු නංගීත්, වජිරාත් නික්ම ගියේ ඔවුන් වෙනුවෙන් පිළියෙල කරන ලද දිවා භෝජනය ද ගැනීමෙන් අනතුරුවය.

“අද ගොඩක් මහන්සි වුනානෙ මැඩම්. දැන්වත් ඉතින් ටිකක් නිදාගන්න බලන්න.”

ඔවුන් නික්ම ගිය පසු කාමරයට පිවිසි ජ්‍යෝති පැවසුවාය.

“අද ලස්සනම ලස්සන දවසක් තමයි. නින්දකට ඇස් දෙකට ඉඩ දෙන එකක් නෑ හිත. ඒ වුනාට විවේකය ඕනනේ මැඩම්. දැන් ඉතින් නිදාගන්න.”

ජ්‍යෝති මගේ හිස අත ගා නික්ම ගියාය. යහන මත වැතිරුණද, ඇය පැවසුවාක් මෙන්ම මගේ දෙනෙත් වලට කතා කරන හිත ඉඩ නොදෙන සෙයකි. දෑස් පියාගත් කළ මට මැවී පෙනුනේ වෛද්‍ය කුෂ්වාන්ත් සිංගේ රුවයි.

මගේ දුරකතනයට වට්ස්ඇප් පණිවුඩ පෙලක්ම පැමිණෙන හඬ ඇසිණ. ඒ සියල්ල එවා තිබුනේ සුදු නංගීය. උපන්දින සාදයේ ඇය විසින්  ගත් ඡායාරූප රැසක් ඇය එවා තිබිණ. ඒ සියල්ල අතරින්  වඩාත්ම මගේ සිත ඇද බැඳ ගත්තේ සාදය අවසානයේ වෛද්‍ය කුෂ්වාන්ත් සිං මගේ කර වටා අත යවා මා කැඳවාගෙන පැමිණෙන ඡායාරූපයයි. රෝස පැහැයෙන් හා සුදු පැහැයෙන් යුත් බැලූන් රැසක් පසුබිම් කර ගත් එම ඡායාරූපයෙහි මගේ දෙනෙත් වල වූ කෝල බවත්, ඔහුගේ දෙනෙතින් පළ වූ ආදරයත් මනාව කැපී පෙනිණ.

“ආදරයත් අහස වගෙයි – ඉමක් කොනක් නෑ…”

ඡායාරූප වලට යටින් සුදු නංගී සටහනක් යොදා තිබිණ. මට මග හැරුණු වට්ස්ඇප් පණිවුඩ කිහිපයක්ම ලැබී තිබූ අතර, ඉන් එකක් පැමිණ තිබුනේ හේෂාන්ගෙනි. පසුගිය උපන් දිනයේදී මුහුදු වෙරළේදී ඔහු විසින් ගන්නා ලද සෙල්ෆි ඡායාරූපයේ තම රූපය ඉවත් කොට තිබූ එහි වූ ඉඩෙහි වූයේ ඔහු විසින් අලුතින් සම්බන්ධ කරන ලද රෝස මල් ගොන්නකි. “Happy Birthday Dinali”

යනුවෙන් සටහන් කර තිබූ සේයාරුව දෙස මම බලා සිටියෙමි.

“thank you” යනුවෙන් පිළිතුරු යවන්නට සිතුණද අවසානයේ මම එම පණිවුඩය මකා දැමුවෙමි. හේෂාන් සමග ගත කළ උපන් දිනයන්හිදී ඔහු මා සතුටු කරන්නට කළ කී දෑ සිහියට නැගෙන්නට වුව ද  ඒ සියල්ලම රැවටීමක් නොවේදැයි මම කල්පනා කළෙමි. හේෂාන් හමුවෙන්නට පෙර මගේ උපන් දිනයන් ගත වූයේ අම්මා. සුදු නංගී සහ වජිරා සමගින් පමණකි. මා වෙනුවෙන් ඉතා අලංකාර කේක් එකක් සාදා අලුත් ඇඳුමක් රැගෙන දුන් අම්මා එක් වරක් පමණක් මට හාවුන් ජෝඩුවක් තිලිණ කළ බව මට සිහි විය. රතු ඇස් සහිත සුදු හාවුන්ගේ ක්‍රියාකාරකම් දකිමින් මා කෙතරම් ප්‍රීති වූයේ ද යත් අම්මා දෑසෙහි කඳුලු පුරවාගෙන මා දෙස බලා සිටි අයුරු තවමත් මගේ මතකයට නැගෙයි. බිරිඳගේ සිතුම් පැතුම් පවා වටහා ගත නොහැකි වූ තාත්තා මගේ හා යුවළ මා පාසල් ගොස් සිටියදී සිය මිතුරකුට දුන්නේ මගේ හදවත කඩා බිඳ දමමිනි. ඔහුට අම්මාගේ හෝ මගේ හෝ සුදු නංගීගේ උපන් දිනයන්හි විශේෂයක් නොවීය.

“පිස්සු වැඩ මේවා…”

මගේ එක් උපන් දිනයක් වෙනුවෙන් අම්මා විසින් සාදන ලද ලැවැන්ඩර් ලේඩි කේක් එක මොන තරම් නම් සුන්දර ද යත් මාත්, සුදු නංගීත් එය නරඹමින් ප්‍රීති වෙද්දී ඔහු එය රැගෙන විසි කර දැමූ ආකාරය තවමත් මතකයට නැගෙයි. ඒ වනවිට මගේ වයස අවුරුදු දහහතක් පමණ හෝ දහ අටක් පමණ වන්නට ඇත. එදින මා කෙතරම් හැඬුවේද යත් මට හුස්ම ගැනීමට පවා නොහැකිව අම්මාට මා පවුලේ වෛද්‍යවරයා වෙත කැඳවාගෙන යාමට ද සිදු විය. එහට හේතුව විමසද්දී අම්මා වෛද්‍යවරයාගෙන් හේතුව වසන් කළේ තාත්තාගේ ගෞරවය රැකිය යුතු බැවින්ද? ඇය වෛද්‍යවරයා සමග පවසා සිටියේ මට තෑගි වශයෙන් ඇය විසින් රැගෙන දුන් විලවුන් බෝතලය බිඳී කැඩුනු පසු මා හැඬූ නිසා හුස්ම ගැනීමට අපහසු වූ බවයි.

“පුතේ… ලස්සන දේවල්  ආස කරන දේවල් හැමදෙයක්ම අස්ථිරයි කියන එක හොඳින්ම මතක තියා ගන්න ඕන. ඔයා තවම පුංචියි. ජීවිතේ ඉදිරි කාල වලදි හිමි වීම් වලට වඩා අහිම් වීම් වැඩි වැඩියෙන් අත් විඳින්න සිද්ද වේවි. දැන්ම තියාම හිත හදා ගන්න පුරුදු වෙන්න ඕන. හොඳද?”

පවුලේ වෛද්‍යවරයා මගේ හිස අත ගා පවසා සිටියේ ඔහු කල් තබාම මගේ අනාගතය දුටු බැවින් ද?

මට අරුණෝදි සිහියට නැගිණ. කුඩා කළ සිටම මගේ මිතුරිය වූ ඇය මගේ සෑම උපන් දිනයකටම අප නිවසට පැමිණ හෝ දුරකතනයෙන් සුබ පැතීමට පුරුදුව සිටියාය. අද මගේ උපන් දිනය බව සිහියට නැගෙන්නට ඇතත් වරදකාරී සිත මට සුබ පතන්නට ඇයට ඉඩ ලබා නොදෙන්නට ඇතැයි මට සිතිණ.

දොරට තට්ටු කරන හඬත් සමගම මම අතීතයෙන් මිදුනෙමි. දොර විවෘත්‍ත කරන හඬත් සමගම මා දුටුවේ මගේ දෙනෙත් අපේක්ෂා කළ රුව නොව වෛද්‍ය පීහු ෂර්මාගේ රුවයි. ඇය පුලුල් සිනාවකින් මුව සරසාගෙන මගේ යහන අසළට පැමිණියාය.

“කොහොමද ඩිනාලි? අද සතුටින් හිටියද?”

ඇය මා ඉදිරියෙන් හිඳ ගත්තාය.

“ජීවිතේ වැඩියෙන්ම සතුටින් හිටිය දවස අද වෙන්න ඇති ඩොක්ට.”

“නෑ… වැඩියෙන්ම සතුටු වෙන දවස් ඉදිරියේදී සිද්ද වෙනවා ඩිනාලි. ඒකනෙමෙයි. ඔයාගෙ රිපෝට්ස් වල හැටියට ඉක්මනින්ම ගෙදර යන්න පුලුවන් වේවි. මං හිතනවා ඔයාට ඒක සතුටුදායක ආරංචියක් වේවි.”

වෛද්‍ය පීහු ෂර්මා යටැසින් මදෙස බලන අයුරු මම දුටුවෙමි. ඇය මගේ සිත පරීක්ෂා කර බලන්නාක් මෙන් මට දැනිණ.

“ඇත්තටම?”

“ඔව්. ඇයි ඩොක්ට කුෂ් කිව්වෙ නැද්ද?”

මට වදන් ගලපා ගත නොහැකි විය. මම නැතැයි යන්න අඟවමින් හිස දෙපසට වැනුවෙමි. මේ සියල්ලම මා ආපසු යන බැවින් සැලසුම් කළ ඒවාදැයි මට සිතින.

“ඉක්මනින් කියාවි.”

මගේ අත අල්ලා ගත් වෛද්‍ය පීහු සිනාමුසු මුහුණින් යුතුව මගේ අතැඟිලි පිරිමැද්දාය.

“ඩිනාලි ජාන්සි ගැන දන්නවද?”

මඳ වේලාවක් කල්පනා කරමින් සිටි ඇය ඇසුවාය.

“ඔව්…”

“මොනවද දන්නෙ?”

“හැමදෙයක්ම. මට ඩොක්ට කුෂ් ජාන්සි ගැන හැමදෙයක්ම කිව්වා ඩොක්ට. ඩොක්ට කුෂ්ගෙ හිත හරි පුදුමයි. මේ හොස්පිටල් එකත් ටජ් මහලක් වගෙයි කියලා මට හිතුනා. ඒක ආදරය වෙනුවෙන්  ගොඩ නගපු දෙයක් නිසා.”

“ආදරේ මිනිස් හිත් වෙනස් කරනවා ඩිනාලි. මම මැරි කළෙත් ආදරේ කරලා. මගේ හස්බන්ඩ් මෙහේ ලැබ් එකේ වැඩ කරන්නෙ. ගෙදර අයත් එක්ක මහා සටනක් කරලා තමයි මං මගේ ආදරේ ජය ගත්තෙ.”

“ඩොක්ට හරිම වාසනාවන්තයි.”

මම පැවසුවෙමි.

“ඇයි?”

“හොඳ හස්බන්ඩ් කෙනෙක්, ලස්සන හුරතල් දරුවෙක් ඉන්න එක තරම් ගෑනියෙකුට තවත් වාසනාවක් නෑ ඩොක්ට.”

“ඔයාටත් ඒ හැමදේම ලැබේවි ඩිනාලි.”

“නෑ.”

මම කඳුලු අතරින් පවසා ගතිමි.

“හස්බන්ඩ් කෙනෙක් ලැබුනත් මට කවදාවත් දරුවෙක් ලබන්න බැරි බව ඩොක්ටට මතක නැති වුනාද?”

වෛද්‍ය පීහු කම්පාවෙන් මදෙසද බලා සිටියාය. අනතුරුව ඇය මගේ නිකටෙන් අල්ලා හිස එසවූවාය.

“සමාවෙන්න. මං ඔයාගෙ හිත රිද්දන්න ආව ගමනක් නෙමෙයි මේක. තමන්ගෙ කුසින් දරුවෙක් බිහි කරන්න බැරි වුනත් පිටස්තර දරුවන්ට අම්මලා වුන ගොඩක් දෙනා ලෝකෙ ඉන්නවා ඩිනාලි.”

“ඒත්… මගේ හස්බන්ඩ් ඒකට කැමති නොවුනොත්?”

“ඩොක්ට කුෂ් එහෙම කෙනෙක් නෙමෙයි.”

සිනාසුන වෛද්‍ය පීහු නැගිට කාමරයෙන් පිටතට දිව ගියාය. ඇය කාමරයෙන් පිටව ගිය පසුත් ඇය අවසන් වරට පැවසූ වදන් මගේ දෙසවන් තුළ දෝංකාර දෙමින් ඇසිණ. විචිත්‍රවත් ලොවක මනසින් සැරිසරමින් සිටියදී ජ්‍යෝති දොර හැරගෙන කාමරයට පිවිසියාය.

“මැඩම්… හත වෙනකොට ලස්සන ඇඳුමක් ඇඳගෙන ලෑස්ති වෙලා ඉන්න වේවි.”

ඇය ද පැවසුවේ සිනාමුසු මුහුණින් යුතුවය.

“ඇයි?”

“ගමනක් යන්න.”

ජ්‍යෝති පැවසුවාය. කිසිවක් සිතා ගත නොහැකිව මම විවෘතව තිබූ ජනෙල් තිර අතරින් පිටත බැලුවෙමි. සැන්දෑව වියැකී යමින් රාත්‍රිය එළඹෙමින් තිබේ. මෙම රාත්‍රිය මගේ ජීවිතයේ තීරණාත්මක රාත්‍රියක් විය හැකිද?

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles