උමතු කිරිල්ලිය..

කසුන්ගෙන් ලැබුණ තුන්වෙනි ඇමතුමද මඟහැරුණ  ඇමතුමක්  ලෙස සටහන් විය. මම අතෙහි තිබූ ජංගම දුරකථනය දෙස ඔහේ බලා උන්නෙමි. හතරවෙනි ඇමතුමද එන්නේය.

“හෙලෝ …”

“අමායා … ඔයා කොහේද ?”

“ගෙදර …”

“කෝල් එකක්වත් නෑ ඊයේ ඉඳන්… මැසේජ් එකක්වත් නෑ… මොකද වුණේ …”

“මුකුත් නෑ…”

“මොකද ඔයා අසනීපෙන්ද ? රේඩියෝ එක වහලා දාලද ?”

ඔහු එවර සිනාසෙමින් විමසන්නේය. මමද ඒ සිනහවටම එක් වූයෙමි. අප දෙදෙනාම සිනාසුනෙමු. එහෙත් ඔහු සිනාසෙන්නේ කුමටදැයි දැන උන්නේ නැත. මම මගේ සිනහවට  හේතුව  දැන උන්නෙමි. 

තවදුරටත් කසුන්ව අල්ලාගෙන මා රිදවාගන්නට මම සූදානම් නැත. ඔහුගේ නොසලකා හැරීම් සියල්ල එක් ආදරණීය වචනයකින් අමතක කර දමන්නට මම සුදානම් නැත.  දවස් ගණන් තිස්සේ තනිව කියවමින් සිටින මා ගන්න නොගන්නා  ඔහු දරාගෙන සිටින්නට මම සූදානම් නැත. ඔහු නිසා හැඬෙන හැම දවසකම රැයෙහි දැනෙන වේදනාව තවත් සාමාන්‍යකරණය වීමට දිය යුතු නොහේයැයි මම තීරණය කර අවසන් ය. 

” හරි එහෙනම්… ඔය හිතේ තියෙන මනස්ගාත ඉවර වුණාම කෝල් එකක් ගන්නකෝ…”

කසුන් මට කිසිවක් පවසන්නට හෝ ඉඩ නොදීම ඇමතුම ව්සන්ධි කලේය. 

මම ජංගම දුරකථන පසෙකින් තැබුවෙමි. අන් දිනෙක නම් හැරෙන  තැපෑලෙන්ම මම කසුන්ව ඇමතීම කරන්නෙමි. ඇතැම්විට මඟ හැරුණු ඇමතුම් විස්ස, තිහ, හතලිහ පවා වන තරමට අමතන්නෙමි. මනසින් වෙහෙසී මා අඩපණ වනතුරුම මම එක දිගටම එලෙස අමතන්නෙමි. ඉන් පසුව එක දිගට කෙටි පණිවිඩද ගලපන්නෙමි. මුලදී ආයාචනාත්කමවද , පසුව ආවේගශීලිවද කියවන්නෙමි. ඉන් පවා විඩාවට පත් වූ පසු එය අතැර සිටින්නට උත්සාහ කරන්නෙමි. 

මම සුසුමක් හෙලමින් නැගිට්ටෙමි. වරද අප දෙදෙනගෙන් කා අත වුවද, මා බලාපොරොත්තු වන අවධානය ඔහුගෙන් නොලැබීම මට මානසික වදයකි. ඔහුගේ ජීවිතය තුළ ඔහුට එවන් අවධානයක් මා වෙතට හෙලීමද මානසික වදයක් විය හැක. ඒ නිසා මා නිහඬව සිටීම වඩා සුදුසු ප්‍රතිකර්මයකි. ඉන් දෙදෙනාටම සහනයක් දැනෙනවා විය හැක. ඇතැම් විට මා තදින් අල්ලා සිටින වර පට ගිලිහී යෑම අවසන කසුන් සහ මම වෙන් වෙන් දෙඅන්තයකට ඇදී යාමද සිදු විය හැක. 

මම පැය භාගයක් පමණ නා ගත්තෙමි. වර්ක් ෆ්‍රොම් හෝම් නිසා ඇති තරමට කල් ඇත. උදෑසන ආහාරය සකසන්නට කම්මැලි වූ නිසා කිරි වීදුරුවක් පමණක් පානය කලෙමි. බිස්කට්ටුවක් කටට ඔබා ගත්තෙමි. 

සකසා යැවිය තිබූ වාර්තා කිහිපයක් විය. වෙනදා නොවූ සැහැල්ලුවකින් ඒ සියල්ල අවසන් කලෙමි. ඒ අතරේ දිවා ආහාරය සකසා ගත්තෙමි. බත්, පරිප්පු, කංකුන් තෙම්පරාදු ව සමඟින් බිත්තරයක් බැද ගත්තෙමි. වෙනදා පුරුද්දට් කසුන්ට යවන්න සේයාරුවක්ද ගත්තෙමි. එහෙත් එය නොයවා සිටින්නට ආයාසයෙන් තීරණය කලෙමි. එවෙලෙහි යම් රිදුමක් සමඟ හිස් තැනක් දැනුණි. එහෙත්, ඒවා විඳ ගනිමින් ඉදිරියට යන්නට මම තීරණය කර අවසන් ය.

සවස තිබු වාර්තාවද අවසන් කර මම සුපිරි වෙළඳසැලකට ගොස් අවශ්‍ය කලමණා කිහිපයක් මිලදී ගත්තෙමි.  ඇනෙක්ස් එකට පැමිණෙන්නට පෙර යාබද ව ඇති උද්‍යානයේ හිඳගෙන නෝට් පෑඩයේ යමක් කුරුටු ගෑවෙමි. ඒ අතරේ අම්මාගෙන් ඇමතුමක් ලැබුණි.

“කසුන් කියලා තිබ්බා අක්කා එක්ක ඔයා දවස් දෙක තුනක ඉඳන් අමුතුයි කියලා .. ඇයි පුතේ ?”

රාජකාරි බහුල වීම මිසෙක අන් ගැටලුවක් නොමැති වග අම්මාට පැහැදිලි කරන්නට සෑහෙන්නම වෙලා ගත විය. කසුන් ගැන දැනුනේ කෝපයකි. ඔහුට මා ගැන වගක් නැති වීම පිළිගන්නට මම සූදානම් ය. එහෙත් මෙලෙසින් අක්කලා අප දෙදෙනා අතරට ඇද ගැනීම ඉවසන්නට නොහැක 

මම කසුන් ට ඇමතුමක් ගත්තෙමි.

” කියන්න ළමයා… ඉක්මනට කියන්න …”

කසුන් ගේ හඬෙහි සියුම් හතියක් විය වෙනදා නම් මට ඒ වෙනසම මහ මෙරකි. ඔහු ට කුමක් හෝ අසනීපයක්ද, වෙහෙසක්ද සිතමින් තැවෙන්නට මම දවස් ගණන් වැය කරමි. එහෙත් මම සිතා මතාම ඒ ගැන විම්ම්සීම මඟෑරියෙමි. 

” ඔයා අක්කාට කෝල් කරලා එක එක විකාර කියන්න තියාගන්න එපා කසුන් … ප්ලීස් .. මට මගේ පාඩුවේ ඉන්න දෙන්න් ..”

මම එතෙක් පවසා ඇමතුම විසන්ධි කලෙමි. කසුන් එක දිගටම ඇමතුම් ගනිද්දී මම ජංගම දුරකථනයම විසන්ධි කලෙමි. 

දැනෙන කෝපය කසුන් මතම පිටව යන්නට් දුන්නෙමි. 

දැන් ඔහු ගැන දැනෙන කලකිරීම අප දෙදෙනා වෙන් ව යෑමක් දක්වාම පරිවර්තනය වීම විය යුතුයැයි මම තීරණය කලෙමි.

මම ජංගම දුරකථනය විසන්ධි කරතිබියදීම නින්දට ගියෙමි. 

පසුදා උදෑසන ජංගම දුරකථනය පණ ගැන්වූයෙමි. 

කසුන්ගෙන් මඟ හැරුණු ඇමතුම් රැසක් විය.

එක් කෙටි පණිවිඩයක්ද විය 

“ඔයාගේ ප්‍රශ්නේ මොකක්ද කියලා මට තේරෙන්නේ නෑ… එක්කෝ ඒක ඔයා මට කියන්න ඕනි … එහෙම නැත්නම් අපි කතා කරලා තීරණයක් ගන්න ඕනි …”

කසුන් පවසනා තීරණය කුමක්දැයි මට වැටහුණි. වසර පහක් එකට සිටීම යනු සියල්ල ඉවසාගෙන එක්ව සිටිය යුතු විම නොවේය.

“හරි… අපි මේක නවත්තමු… “

මම එලෙස කෙටි පණිවිඩයක් යැව්වෙමි. ඇසිල්ලෙන් කසුන්ගෙන් ඇමතුමක් ආවෙය.

“හෙලෝ … “

” කියන්න කසුන් .”

කසුන් කිසිවක් කීවේ නැත.

“හෙලෝ …”

” ඔයාට අද ලොකු වැඩක් නැත්නම් මම හවස් වෙලා ඔය පැත්තේ එන්නද ?”

කසුන් එක්වරම විමසුවේය. වෙනදාට කසුන් මා මුණ ගැසීමට එනවායැයි පවසනවිට දැනෙන ප්‍රහර්ශණීය හැඟීම නම් එලෙසම දැනුණි. සමනල සේනා පියඹන්නට ගත්තේය. 

“හා..”

මම එතෙකින් නැවතුනෙමි. උදේ වරුවේ තිබූ සියලු රාජකාරි අවසන් කලෙමි. ඒ අතර වාරයේ කසුන්ගෙන් එකඳු ඇමතුමක් හෝ පැමිණියේ නැත. මමද ඔහු අමතන්නට උත්සාහ නොකලෙමි. 

දිවා ආහාරය සකසන්නට මට උනන්දුවක් වූයේ නැත. රාත්‍රී ආහාරය කසුන් අතින් නිමවන බව දන්නා නිසා විය හැක. මම වටලප්පමක් සාදා ශිතකරණයට දැම්මෙමි. 

කසුන් සහ මගේ චායාරූප දෙස බලමින් පැය හාගයක් පමණ ගෙවා දැම්මෙමි. සැබැවින්ම මට ඔහු සමඟ ඇති ගැටලුව කුමක්දැයි සිතුවෙමි. ඒ හැම චායාරූපයකම අප දෙදෙනාම සිනාසෙමින් සිටී. ඒ හැම සිනහවක්ම අතිශය අව්‍යාජ සැබෑ සිනහවන් බවට සැක නැත. එසේනම් අප හමුවූ හැම දවසකම උත්කර්ශණීය බවම වූ බවටද සැක නැත. 

එහෙත් මට යම් හිස්කමක් වූ බව මම දනිමි. 

කසුන් පැමිණ ඇති බව පවසමින් ඇමතුමක් විය.

කසුන් ඇතුළට පැමිණියේ බෑගයක් ද එක් අතක එල්ලාගෙනය. 

මම එය රැගෙන පසෙකින් තැබුවෙමි

“වතුර එකක් බොමු ..”

ඔහු එලෙස පවසමින් අසුනකට වැටුණේය.

මම වතුර බෝතලය ඔහු අතට දී පසෙකින් හිද ගත්තෙමි. කසුන් විනාඩි කිහිපයක් ම උන්නේ නිහඬවය. ඉන් පසුව ද ඔහු නිහඬවම නැගිට ගත්තේය. කුස්සියට ගියේය. වෙනදා මෙන් කුස්සියට ගොස් ඔහු පසුපස දැවටෙන්නට සිත උඩ පනින්නේය. එහෙත් මම දොරකඩට පමණක් වී බලා උන්නෙමි. කසුන් මා දෙස බලා සිනාසී කරමින් උන් වැඩය කලේය. කමිස අත් දෙක වැලමිටෙන් උඩට නවාගෙන ඔහු ඉස්සන් පිරිසිදු කරන්නේය. 

වෙනදා නම් මේ වෙද්දී අප දෙදෙනා මහා කිචි බිචියකය. එහෙත් අද සියල්ල නිහඬය. 

කසුන් උයා අවසන් වී ඇඟ සෝදාගත්තේය. ඔහු මගෙන් තුවාය ඉල්ලුවේ නැත. කෙටි කලිසමක් ඉල්ලුවේද නැත.

” කමු …”

මම ඔහු පසුපසින් වැටුනෙමි.

මම ඔහුට බත් කටක් හෝ කවන්නයැයි කියාගන්නට නොහැකිව පිඟානෙහි මුහුණ ඔබාගෙන බත් ඇනුවෙමි. 

ඉස්සන් තෙම්පරාදුවක් සමඟ ලූණු කොළ එළවලුවක් කිරට සකසා තිබුණි. කසුන්ට ඇත්තේ දිව්‍යමක දෑතකි. ඔනෑම දෙයක් රසවත්ව සකසන්නට හැක.

” ආහ්..”

කටට ගන්නට් පවා නොහැකි තරමේ සුපුරුදු බත් ගුලිය මගේ කට තුළට එබුවේය. එයට නම් කඳුළු නැඟුණි. කසුන් ගෙන් දුරස්ව යන්නට නොහැකි බව හිත උඩ පනිමින් කියන්නට ගත්තේය. එක් බත් කටකින් නොනැවතී ඔහු බත් කට කිහිපයක් ම කැව්වේය. 

” මොකද්ද ප්‍රශ්නේ අමායා …”

“මුකුත් නෑ…”

” එහෙනම් මොකද කිව්වේ මේක නවත්තමු කියලා …”

කසුන් විමසුවේ මා වෙත නැඹුරු වෙමිනි.

” ඔයාට ඉතින් මාව වදය්ක් නේ කසුන් … මගේ වැඩේ කොයි වෙලෙත් එක එක මනසිකාර කියව කියව ඔයාට වද දෙන එක… එතකොට ඔයා මාව ගනන් ගන්නේවත් නෑ.. මං කොච්චර කොහොම මොක කිව්වත් ඔයාට ගානක් නෑ.. මං කොච්චර තරහෙන් කියෙව්වත් ඔයා ඒ මැසේජ් බලලා ඉන්නවා.. පස්සේ ඔයාට හිතුනම ඔයා ආදරෙන් කතා කරනවා… ඊට පස්සේ මම නිවෙනවා … ආයේ මං මොකක් හරි එකක් අල්ලගෙන කියවනවා … ඔයා ඒ ගනන් ගන්නේත් නෑ…” 

කසුන් මා දෙසම බලා උන්නේය.

” ඔයා ප්‍රශ්නෙයි උත්තරෙයිදෙකම දන්නවා අමායා.. මං ඔයාට හරි ආදරෙයි… මට ඔයාව ඕනි …. මහ ගොඩක් ඕනි .. ඒකෙන් කියවෙන්නේ නෑ දවසේ විස් හතර පැයේම මට ඔයා දිහා ඇහැ ගහගෙන ඉන්න පුළුවන් කියලා .. ඔයා හිතන්න ඔයා මොනවටද රණ්ඩු කරන්නේ කියලා .. එක්කෝ ඔන්ලයින් ඉඳලා ඔයා එව්ව මැසේජ් එකක් බැලුවේ නෑ කියලා .. ඒම නැත්නම් රිප්ලයි නොකර උන්නා කියලා .. එහෙම නැත්නම් වේයිටින් කෝල් එකකට … ඔයා ඒම කියවන වෙලාවට මාත් කියවගෙන ආවොත් එහෙම ගිණි කඳු පුපුරනවා අමායා.. ඔයා ට කියවන්න දීලා මම බලාගෙන ඉන්නේ ඔයා කොයි වෙලේක හරි තේරුම් ගනීවි හිතලා.. ඒත් ඔයා තේරුම් ගන්නේ නෑ..

ඔයාට යන්න ඕනි නම් මම බලෙන් අල්ලගෙන ඉන්නේ නෑ.. ඒත් මං ආයේ ඉල්ලනවා අපිට සන්තෝසෙන් ඉන්න පුළුවන් .. අපි මුණ ගැහ්න දවස් වල් සතුටම විතරයි නේ තියෙන්නේ අමායා… “

කසුන් ඉක්මවා යමින් කිසිවක් පවසන්නට මට හැකි වූයෙ නැත.

සැබැවින්ම වරද මා අතද ? 

ඉවසීමක් නැති සැකයක් ඇත්තේ මටද ? 

මම කසුන්ගේ අතින් අල්ලා ගත්තෙමි.

” අපි ආදරේ කරන්නෝනි අමායා.. ඇඩික්ට් වෙලා ආදරේ කරන්න ඕනි.. හැබැයි අපි තව දේවල් තේරුම් ගන්න ඕනි… වැඩිපුරම ඔයා.. ඒ වගේම මමත්.. කිරිල්ලියෙක් වගේ ඔයා කියවන එක මට වදයක් නෙවෙයි ..ඒත් උමතු කිරිල්ලියක් උනාම ඒක අමාරුයි .. .”

කසුන් මා අල්ලා ගත් අත තවත් තද කරගත්තේය.

මිදෙන්නට අවැසි නැත.

| අපේක්ෂා ගුණරත්න |

More Stories

Don't Miss


Latest Articles