කුඩා බිළිඳා ඉපදුණු පසු සැමියා හා දරුවා ප්‍රතික්ෂේප කළ තරුණ මවක්

කුටුම්භයක් තුළ එක්ව ජීවත් වීමට නොහැකි බව වැටහෙනවා නම් බොහෝ යුවලවල් කරන්නේ නිරන්තර අඩදබර ඇති කර ගැනීමයි.අපේ සමූහයට නිතර ලැබෙන බොහෝ නිර්නාමික ගැටළුවල ඇත්තේ මෙවැනි තත්වයකදී කරන්නේ කුමක්දැයි අවබෝධ කර ගැනීමට නොහැකිව ගැටළු වල පැටලුණු කාන්තාවන්ගේ කතන්දරයි.සැබෑවටම දික්කසාදය කියන්නේ රකුසෙක් ටද? නීතිඥ හසිතනී උපේන්ද්‍රා ජයරත්න මහත්මිය ඇගේ වෘතිය ජීවිතයේ අත්දැකීම් ඇසුරින් අද ඔබට කියන්නේ එවැනි කථාන්දරයක්. සත්‍ය කතාවේ අනන්‍යතාවය සැඟවෙන පරිදි නිර්මාණශීලී වෙනස්කම් සිදු කර ඇති බව සලකන්න.

කල්පනී සහ සාරංග විවාහක යුවලක්.කල්පනීගේ පියා ධනවත් වැවිලිකරුවෙක්.ඇගේ ජීව විද්‍යාත්මක අම්මා දෙමළ තරුණියක් වූ බව පැවසෙනවා.ඒ නිසා කල්පනීට තිබුණේ දැකුම්කළු සමක්.හැබෑවටම ඇය ඒ සමේ වර්ණය නිසාම ඉතා කැපී පෙනෙන පෙනුමක් ඇත්තියක වුණා.කල්පනීගේ පියා සහ දමිල තරුණිය අතර වූ සම්බන්ධයක ප්‍රතිඵලයක් ලෙස කල්පනී උපත ලබා තිබුණු අතර ඇගේ නීත්‍යානුකූල මව ඇයව හදා වඩා ගැනීම ප්‍රතික්ෂේප කර තිබුණේ ද නැහැ.ඇතැම් විට ඔවුන් දෙදෙනා අතර අර්බුද ද පවතින්නට ඇති.කල්පනී කුඩා දැරියක කාලයේ සිටම බෝනික්කන් සහ ටෙඩි බෙයාලාට කිසිම කැමැත්තක් දක්වා නැහැ.සාමාන්‍යයෙන් කුඩා දැරියන් ඒවාට ඉතාම ආදරය කළත් ඇය කුඩා කාලයේ පටන්ම ඒවා ප්‍රතික්ෂේප කර තිබුණා.

තරුණ වියට එළැඹි ඇය සාරංග සමඟ විවාහ වී තිබෙනවා.ඔවුන් මුණ ගැසී තිබුණේ විවාහ යෝජනාවක් හරහා.නමුත් ඒ විවාහ යෝජනාව ම ආදර සම්බන්ධයකට හැරී තිබුණා.ඔවුන් විවාහයෙන් පසුව වෙනම ගෙදරක පදිංචියට ද ගොස් තිබුණා.කල්පනී නිතරම විලාසිතා වෙනස් කළ තරුණියක්.ඇයට ඉවීම ආදියට එතරම් හැකියාවක් තිබුණේ ද නැහැ.නමුත් මිල මුදල් ඇති නිසා එය ගැටලුවක් කර නොගත් කල්පනීගේ තාත්තා ඔවුන්ට සේවිකාවක් ද ලබාදී තිබුණා.වෘත්තියෙන් වෛද්‍යවරයෙකු වූ සාරංග ද ඒවා එතරම් ගණනකට ගත්තේ නැහැ ඔවුන්ව මට මුලින්ම මුණ ගැසුණේ ඉඩමක් සම්බන්ධ කටයුත්තකදී.එදා මට පවා සිතුනේ ඔවුන් හොඳින් ගැලපෙන යුවලක් බවයි.විවාහ වී ඉතාමත් ඉක්මනින් කල්පනී මවක් වී තිබුණා.දරුවා ලැබුණු පසු කල්පනී දරුවාට මවුකිරි දීම ප්‍රතික්ෂේප කර තිබුණා.එයට හේතුව නම් සත්‍ය වශයෙන්ම මට දැන ගැනීමට ලැබුණේ නැහැ.එයට සාරංගගේද විරෝධයක් මුල දී එල්ල වී තිබුණේ නැහැ.දරුවාට මාස හතරක් වෙද්දි කල්පනී එක්තරා තීරණයකට එළඹී තිබුණා.

ඒ වෙනම නවාතැනක් රැගෙන පිටව යාමටයි.

එසේ පිටව ගොස් ටික කාලයකින් දික්කසාද නඩුවක් පැවරීම සඳහා ඔවුන් මා වෙත පැමිණියා.කල්පනීට පසු ප්‍රසව විශාදය ඇතැයි සැක කළ මම ඇය සමඟ කතා කළා.නමුත් එවැනි ගැටලුවක් නොමැති බව සාරංග ඇයව වෛද්‍යවරුන්ට ඉදිරිපත් කර තහවුරු කරගෙන තිබුණා.ඔහුද වෘත්තියෙන් වෛද්‍යවරයෙකු වන නිසා ඒ සම්බන්ධයෙන් සාරංගටද හොඳ දැනුමක් වූ බව නොකියාම බැහැ.

සැබෑවටම කල්පනී පවුල් ජීවිතයකට හෝ දරුවාට කැමැත්තක් නැති බව මට අවබෝධ වුණා

“මම ඇත්තටම සතුටු වෙනවා මගේ ජීව විද්‍යාත්මක අම්මා විඳව විඳව මාව තියාගෙන ඉන්නේ නැතුව මම අරං හදාගත්තු අම්මා තාත්තට මාව දීපු එක ගැන.ඒත් මට මාව හදාගත්තු අම්මලා තාත්තලාට ණය ගෙවන්න බෑ.ඒ වගේම තමයි මගේ ඇඟ මගේ.ඒ නිසා එයාලට ඕනි විදියට මම හැසිරෙන්නේ නැහැ.එයාලට ඕන විදියට ඉගෙන ගත්තා.එයාලට අවශ්‍ය කෙනා කසාද බැන්දා.දැන් මේ ඇති.”

කල්පනී දිගින් දිගටම එසේ පැවසුවා.

ගැටුමකින් තොරව දික්කසාදය ලබා ගන්නට ඔවුන්ට වුවමනා වුණා.දික්කසාද නඩුව කාලාන්තරයක් තිස්සේ ඇදගෙන යාමටත් ඔවුන්ට අවශ්‍ය වුණේ නැහැ.ඒ නඩුව සම්බන්ධයෙන් අපි කටයුතු කළේ මේ ආකාරයෙන්.දරුවා සාරංගට පැවරූ කල්පනී හැම දේපලක්ම දරුවා නමට පැවරුවා.තෑගි ඔප්පු වලින් ඒ දේපළ දරුවාට පැවරුණු අතර නිසි වයසේදී ඒවා දරුවාට පැවරෙන ලෙස සකස් කළා.දෙදෙනාගේම එකඟතාවයෙන් දික්කසාද නඩුවට සූදානම් වූවා.ද්වේශ සහගත ලෙස හැරයාම ලෙස කල්පනීට විරුද්ධව සාරංග ඒ නඩුව පවරනු ලැබුවා.72 සිවිල් නඩු විධාන සංග්‍රහයේ 72 වගන්තිය යටතේ නඩුව හබ නොකරන බවට කල්පනී විසින් පිළිගනු ලැබුවා.නඩුවේ දී දරුවාගේ සම්පූර්ණ භාරකාරිත්වය සාරංග ලබා ගත්තා.දරුවාගේ නෛතික හා ශාරීරික භාරකාරිත්වය සාරංග ඉල්ලා සිටි අතර ඒ සියල්ලටම බිරිඳ එකඟ වනු ලැබුවා.

සාමාන්‍යයෙන් මම දැක තිබෙනවා කාන්තා සමූහ වලදී බොහෝ කාන්තාවන් විමසන ප්‍රශ්නයක්.

“දික්කසාදයකදී පුතා ලැබෙන්නේ තාත්තට දුව ලැබෙන්නේ අම්මට ද?”

එවැන්නක් කිසිසේත්ම නොමැති බවත් මේ අවස්ථාවේදී කිව යුතුමයි.දරුවාගේ සුභසිද්ධිය සැලසෙන පරිදි දරුවාව වඩා හොඳින් පෝෂණය කළ හැකි තැනැත්තාට දරුවාගේ භාරකාරත්වය ලැබෙනවා.නෛතික සම භාරකාරත්වය දෙදෙනාටම පැවරෙනවා. එක් අයකුට ශාරීරික භාරකාරිත්වය පැවරෙනවා.බොහෝ අවස්ථාවල දී දරුවන්ගේ භාරකාරත්ත්වය විසඳෙන්නේ අන්න ඒ ආකාරයෙන්.මේ නඩුවේදී කල්පනීට දරුවගෙන් ඉවත් ඉවත් විය යුතු නිසා තමයි දරුවාගේ නෛතික හා ශාරීරික භාරකත්වය සහමුලින්ම සාරංග ලබාගත්තේ.

කිසිවෙකුගේ විරෝධයකින් තොරව පැවති නිසා මේ නඩුව මාස නමයකින් පමණ අවසන් වුණා.නඩුව පවරා දින දුන් පසු ඔවුන් එය විභාග කිරීම සඳහාත් ඉක්මන් දිනයක් ඉල්ලා සිටියා.දෙපාර්ශවයම එකඟතාවය මත දික්කසාද නඩු මොකද හොත් එය වැඩි කාලයක් ගත නොවී විසඳා ගන්නට පුළුවන්.දේපල නඩු වෙනම විසඳා ගනු ලැබුවා.දික්කසාද තීන්දුව ලැබෙද්දි පවා කල්පනී ලංකාවේ සිටියේ නැහැ ඇය යුරෝපා රටකට පිටත් වී ගොස් තිබුණා.සැබෑවටම ඇගේ දරුවා ගැන ඇයට කිසිම හැඟීමක් තිබුණේ නෑ.එය ඉතා වෙනස් අත්දැකීමක්.නමුත් ඇය සමාජ සම්මතය අනුව නරක ගැහැනියක් නොවේ.ඇයට වෙනත් සම්බන්ධතා හෝ කිසිවක් ම ඒ අවස්ථාවේදී පැවතුණේ නැහැ.ඇයට තිබුණු එකම ගැටලුව වූයේ අම්මා කෙනෙක් වීමට අකමැති වීම සහ පවුල් ජීවිතේකට ඇති අකමැතිකමයි.

“දරුවෙක් මගේ කුසට ආවට මම ඒ දරුව නැති කලේ නෑ.මම එයාට ජීවිතේ දීලා එයාගේ තාත්තට එයා බාර දීලයි රටෙන් යන්නේ.”

ඇය අවසානයේ දී පවා මා සමඟ පැවසුවේ එවැන්නක්.ඇය ආකල්ප අතින් වෙනස් වුණත් ඉතාම සුන්දර ගැහැනියක බව නොකියාම බැහැ.

“සාරංග වෙන කෙනෙක්ව කසාද බැඳලා හොදින් ඉන්නවා දැක්කොත් ඔයාට දවසක ඉරිසියාවක් ඇති වෙන එකක් නැද්ද?”

මම දිනක් ඇගෙන් මෙසේ විමසුවා.ඉරිසියාවක් ඇති වන්නට සාරංග සම්බන්ධයෙන් තමන්ගේ බව හැඟෙන කිසිම සිතුවිල්ලක් තමන්ට නැති බවයි ඒ වෙලාවේ මට කල්පනී පැවසුවේ.ඇගේ නිවසේ තිබූ තත්ත්වය අනුව ඇයට මුලින්ම ඇසුරු කරන්නට ලැබුණු පිරිමියා වූයේ සාරංගයි.ආදරය සහ ලිංගිකත්වය යන හැඟීම් ඇය මුලින්ම විඳගෙන තිබුණේ ඔහු හරහා.නමුත් දරුවා ඔවුන්ගේ ලෝකයට පිවිසීමත් සමඟ ඇයට කුටුම්භය යන සිතිවිල්ල එපා වී තිබුණා.

ඒ නිසා නික්මයාම ඇයගේ තීරණය වුණා.ඇය මේ වෙද්දි විවාහකද නැද්ද හෝ ඇයට පෙම්වතෙක් සිටිනවාද නැද්දවත් මම දන්නේ නැහැ.

කල්පනී ඔවුන්ගේ ජීවිතයෙන් නික්ම ගිය පසු සාරංග සහ කුඩා පුතුගේ ජීවිතය ඉතාම සුන්දර ආකාරයට විසඳී තිබුණා.සාරංග සමග එකම රෝහලේ සේවය කළ හෙදියකගේ සැමියා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු ලෙස සේවය කරද්දී ඩෙංගු රෝගය සෑදී මිය ගියේ සාරංගගේ දික්කසාද නඩුව විභාගයට ගනිමින් පැවති කාලයේමයි.දැඩි සිත් පීඩාවෙන් සිටි ඒ හෙදිය වූ ප්‍රාර්ථනා හිත හදා ගැනීමට සාරංගගේ කුඩා පුතුට බොහෝ සමීප වී තිබුණා.මේ කාලයේ කල්පනීද ලංකාවේ සිටි අතර ඇයද ඒ මිත්‍රත්වය ඉතා ඉහළින් අගය කළා.තම සමීපතමයාගේ වෙන්වීම ආකාර දෙකකට විඳගනිමින් වේදනාවෙන් සිටි ප්‍රාර්ථනා සහ සාරංග එකිනෙකාට ලං වූයේ දික්කසාද නඩුව අවසන් වූ කාලයේමයි.ඒ ප්‍රේම සම්බන්ධය ඉක්මන් විවාහයකින් කෙළවර වුණා.ප්‍රාර්ථනා රැකියාවෙන් ඉවත් වී පුතු වෙනුවෙන් කැප වුණු අතර පුතුගේ උප්පැන්න සහතික පවා ප්‍රාර්ථනාගේ නමින් වෙනස් වුණා.තමන්ගේ ජීව ජීවවිද්‍යාත්මක මව ගැන දරුවාට කිසිවක් ම අනාගතයේ දී හෙළි නොවන්නට ප්‍රාර්ථනා සහ සාරංග කටයුතු කරමින් සිටිනවා.ප්‍රාර්ථනා දැන් තවත් දරුවකුගේ අම්මා කෙනෙකු වුවත් ඇගේ වැඩි ආදරය ලොකු පුතුට බව පවුලේ සමීප මිතුරන් පවසන කතාවක්.කල්පනි ඉඳහිටක ලංකාවට පැමිණෙනවා.ඇය පුතු දකින්නට පවුලේ මිතුරියක ලෙස යන්නේ ඒ ගමනට ප්‍රාර්ථනා කිසිම අකමැත්තක් නොදක්වන නිසාමයි.සාරංගගේ සිතේ ද ඇය කෙරෙහි කිසිම අමනාපයක් ඇත්තේ නැහැ.ඔවුන් ඔවුන්ට පහසු ලෝකයන්හි සතුටින් ජීවත් වන බවනම් මට සහතිකයි.

එකිනෙකාට අපහාස කර ගනිමින් දිගින් දිගටම ගැටුම් ඇති කර ගනිමින් ජීවත් වීම වෙනුවට ඔවුන් ඔවුන්ට සුදුසු මාර්ගය තෝරා ගත්තා.සැබෑ මනුෂ්‍යත්වය වන්නේ එය නොවේ ද?

Related Articles

Don't Miss


Latest Articles