නිහඬ සටන්

“අක්කේ..මට රුපියල් හත්දාහක් එවන්නකො.”

වැඩ ගොඩක පැටලිලා හිටිය නිසලි ඒ කෙටි පණිවිඩය දිහා බලාගෙන හිටියේ කේන්තියෙන්.ඔය මැසේජ් එක දැන්මම කියවලා උත්තර නොයවා හිටියොත් නංගි ආයේ ආයේ පණිවිඩ සහ ඇමතුම් ගන්න පටන් ගන්නවා.එයාට ඕන දේ කොහොමහරි ඕනෑ කියලා හිතීම ඒ වයසේ හැටි වෙන්න ඇති.නොකර ඉන්නේ කොහොමද! එකම නංගි වුණාම.

“පූර්ණිගේ වෙඩින් එකට යන්න සාරි ගන්න යන්නේ කවද්ද නිසලි..”

ඒ අස්සේ එහා මේසේ ඉන්න චමත්කා එහෙම අහනවා.මොන සාරිද! ඔන්න ඔය පරණ සාරියකට ජැකට් එකක් මහගන්නවා කියලා නිසලි හිතුවා.වැඩ මොනතරම් තිබ්බත් විලාසිතා වගේ මාතෘකාවකදි ඔෆිස් එකේ කෙල්ලො ඇවිස්සෙන්නේ මී වදේ වගේ.ඊටපස්සෙ වැඩ කොහොම වුණත් ඇඳුම් ගැන මාතෘකාව දිගට දිගට ඇදිලා යනවා.ඒවා කතා කිරීමත් තේරුමක් නැහැ නිසා නිසලි ඉවසීමෙන් නිහඬ වෙනවා.

“නිසලි නම් පිස්සුවෙන් වගේ ඉතුරු කරනවනෙ.ඇඳුමක් දිහා ඇහැක් ඇරලා බලන් නෑ..”

කවුරුහරි එහෙම කියන හඬ ඇහුණට නිසලි ඒ ගැන හොයන්න බලන්න ගියේ නැහැ.කියනවානම් කියන්න මොනතරම් දේවල් තියනවද? ඒත් කියලා තේරුමක් නැහැ.සමහර දේවල් කතා කිරීම තේරුමක් නෑ කියලා නිසලි තේරුම් අරන් ටික කාලයක්.

“මේ වීකෙන්ඩ් කොහෙහරි යමු..”

නිසලි ඒ යෝජනාව නෑහුණු ගාණට පරිගණකය අස්සටම ඔලුව ඔබා ගත්තා.ඕවා ලස්සන යෝජනා වෙන්නේ අනිත් ගෑනු ළමයින්ට.නිසලිට ඒවා මහා බරක් විතරයි.ඇවිදිනවා කියන්නෙම මොනතරම් නාස්තියක් ද? නිසලිට හිතෙන්නේ එහෙමයි.

“නිසලි ඇයි ඔයා ට්‍රිප් එක යන්න නොඑන්නේ?”

එහෙම කවුද කියලා පැහැදිලි නැතත් කවුරු හරි එහෙම අහන්න සද්දෙ නිසලිට ඇහුණා.නිසලි මොකුත් නොකියා ඉන්න හිතලා ආයේ කතා කරා.ඕවට කතා නොකරත් ප්‍රශ්න!

“ගමේ යන්න ඕන..”

නිසලි එහෙම කියනකොට අප්සරා නිසලි දිහා බැලුවේ සමච්චල් සිනාවත් එක්ක. හැමදේම මගාරින්න බලන් ඉන්න නිසලිට අද නම් මොනවම හරි කියන්න ඕනේ කියලා අප්සරා හිතාගත්තා.නිසලි ඕනෑම තැනකදි ගමේ යෑම ඉස්සරහට දාලා හැමදෙයක්ම මඟ අරිනවා.ගම කවුරුත් උස්සගෙන යන්නෙ නැහැ කියන්න හිතුණත් ඊටවඩා සැර දෙයක් කියන්න අප්සරාට හිතුණා.

“අනේ මන්දා ඉතිං ඔයාගෙ ජීවිතේ.බෝඩිමෙන් ඔෆිස් එකට, ඔෆිස් එකෙන් බෝඩිමට.ඒ ගිහිල්ලත් ටියුෂන් කර කර නැහෙනව.එක දවසක්වත් ඔයා කඩෙන් වත් කනව? එච්චර මහන්සි වෙලා ඊට පස්සෙ උයනවා කියලා ඔයාගේ බෝඩිමේ යාලුවෝ කියනවා.කොහෙවත් එක්ක යන්නත් බෑනේ..”

එහෙම කියපු අප්සරා නිසලිට ලං උනේ උපදේශයක් දෙන්න වගේ.

“මිනිස්සු ඉතුරු කරන්න ඕනේ තමයි නිසලි.ඒ උනාට තමන්ව නැති කරගන්න එපා සල්ලි ඉතුරු කරන්න ගිහින්.”

නිසලි මොකුත්ම නොකියා සේදුම් කාමරයට ගියා.හොඳටම අඬන්න ඕන වුණාම
අඬන්නේ නැතුව ඉන්න හොඳ නෑ කියලා නිසලි දන්නවා.නිසලි හිතේ දුක හේදෙනකන්ම ඇඬුවා.අඬලා අඬලා කණ්නාඩියේ පේන තමන්ගේ රූපේ දිහා බලාගෙන හිටියා.

“තමන්ගේ අයට කරන්න ඕන තමයි නිසලි.ඒ වුණාට ගාණකට මිම්මකට.ඔයාගෙ මුළු පවුලම යැපෙන්නෙ ඔයාගෙන් කියල දන්න නිසයි මේ කියන්නේ.ඒ වුණාට මුළු සල්ලි ඔක්කොම එයාලට වියදම් කරන්න එපා.එයාල එයාලගෙ පාරවල් හදාගෙන ඔයා ගැන නොබලා හිටියොත් ඔයා මොකද කරන්නේ..”

නිසලි වයසටත් වඩා දුක් විඳිනකොට ඇගේ මිතුරියක් එහෙම අහපු හැටි නිසලිට මතකයි.මේ වගේ ඇනුම්පද නැතුව එහෙම අහන අයත් ඉන්නවා.

තාත්තා පිළිකාවක් හැදිලා නැති වුණේ ගෙදර ආදායම් මාර්ග හැම එකක්ම බිඳ වට්ටමින්.මොනවාහරි කරලා ළමයි තුන්දෙනෙකුට උගන්නන එක අම්මා තව දුරටත් කරන්න ඕනද කියල නිසලි හිතනවා.ඒ වගේ වෙලාවට වැඩියෙන් හම්බ කරගන්න ව්දියක් හොයනවා මිසක හම්බ කරන හැම සතයම ගෙදරට වියදම් වීම ගැන නිසලිට දුක හිතෙන්නේ නෑ.

“නාස්ති වෙන්නේ ඔයාගේ ජීවිතේ..”

කිට්ටුම අය එහෙම කියනවා.නිසලි ඒක එහෙමමද කියලා කල්පනා කරනවා.

“මාර ලෝබ ගෑනියෙක්.අයිස්ක්‍රීම් එකක් ගන්න කලෙක්ෂන් දැම්මටවත් එන්නෙ නෑ..”

ඔෆිස් ප්‍රජාව එහෙම කියන බව නිසලි දන්නවා.ඒ කතාවට රිදුණත් නිසලි ඇස් පිහදාගෙන හිනා වෙනව.

“මා පමණක් දන්නා මගේ නිහඬ සටන් වලට ජයවේවා..” ෆේස්බුක් එකේ එහෙම දැක්ක තැනක් නිසලිට මතක් වෙනවා.

“මේ හැම සටනක්ම නිහඬ සටනක් වුණාවේ.සමහරවිට මම දවසක දිනයි..”

නිසලි ඇස් පිහදා ගත්තේ එහෙම හිතන ගමන්.අමාරු කාලයක ගිලිහී පැටලී නොගිහින් නිහඬ සටනක ඉන්න හැමෝටම සැනසීමක් ලැබෙන්න ඕන කියලා නිසලි හිතුවේ මුහුණ සෝදාගෙන පිටතට එන ගමන්

More Stories

Don't Miss


Latest Articles