“ඔයා ඉපදුණු අවුරුද්දේ තමයි අපේ අම්මා පළවෙනි පොත ලීවෙත්..”
ආරණ්‍යා එසේ කීවා ය.මේඝ නම් ඇති දරුවන් අම්මාට ඕනෑතරම් ලිපි එවන බව ඈ දනියි.නමුත් ඒ හැම මේඝ කෙනෙකුගෙන්ම දඟකාර කලබල පුංචෙක්දැයි අසන අම්මා මේ මේඝ ගැන කලබල කළ අන්දම ආරණ්‍යාට අමතක කළ නොහැකි ය.
“මං ඉපදිලා තියෙන්නේ පොත අවුට් වෙලා හරියටම සති දෙකකින්..”
ආරණ්‍යා මේඝගේ උපන්දිනය ද ගණනය කළා ය.ඔහුගේ අම්මා හෝ තාත්තා ඇගේ අම්මාගේ තදබල රසිකයෙකු විය යුතු ය.කෙසේ නමුත් මේ හමුව ආරණ්‍යාට ගෙනාවේ සතුටකි.
“හෙට මගේ මල්ලාගෙ බර්ත්ඩේ එක.ප්ලෑන්ස් ඔක්කොම අවුල් වෙන්න තිබ්බා මං පර්ස් එක නැති කරගත්තනම්.ඔයාට තෑන්ක් යූ අයියෙ..”
ඇය මේඝට හද පත්ලෙන්ම ස්තූති කළා ය.ආරණ්‍යාගේ මල්ලිගේ නම සඳරැස් නේදැයි ඇසූ මේඝ තවත් ප්‍රශ්නයක් නොවූ ප්‍රශ්නයක් අසන්නට සිත් විණ.
“මේකලා ආන්ටිගෙ පොත් හැම එකකම ඉන්න කැරැක්ටර්ස් වල නම් පරිසරයෙ තියන නම් නේද?මම ඒක හරියට නෝට් කරල තියනවා..”
ඒ පොතකින් නමක් ලැබී ඇත්තේ ආරණ්‍යාටත් මල්ලීටත් පමණක් නොවේ.මේඝට ද ලැබී ඇත.මේඝ ආරණ්‍යා ද නොදන්නා කඩයිම් ප්‍රශ්නය ඉනික්බිතිව ඇසී ය.
“ඔයාගේ මල්ලිට ඇයි මේඝ කියලා නොදැම්මේ?”
නමුත් මේඝ ම ඊට පිළිතුර පැවසී ය.ආරණ්‍යා අසද්දී නම් අම්මා කියන්නේ එයට ඉඩක් නොලැබුණු බව ය.ඉඩ නොලැබීමට හේතුව කවදාවත් ම නොකියන්නට අම්මා ප්‍රවේසම් ය.
“එක අතකට අම්මාගේ පළවෙනි පුතා පොතේ මේඝ තමයි නේද?”
ආරණ්‍යා ඒ වචන වලට එකඟ වූයේ සිනාවකිනි.මේඝ කතාබහ කරන්නට ආසා හිතෙන වර්ගයේ කොල්ලෙකි.කොහොමටත් ඔහු හැඩකාරයෙකු බව ඇයට මතක ය.එකම වරද ඔහුගේ ජීවිතයට ඈඳී සිටින ගැහැනු ළමයා ය.යාලුවෙකු කරගන්නට මිස එතැනින් එහා දුරකට මේඝ කොහොමටවත් ම නොගැළපෙන බව ආරණ්‍යා සිතන්නේ හද ඉපදුණු සියුම් වේදනාවකිනි.
ඇය දුරකථනය විසන්ධි කළේ බරැති හදකිනි.අම්මා සමඟ මේඝ ගැන කියන්නට කොහොමටවත් නොහැකි බව ඇය සිතී ය.ජීවිතයේ පළමු වතාවට ඇයට අම්මාට නොකියන රහසක් තිබේ.
“මොනවද කල්පනා කරන්නේ?”
නිසලි ආරණ්‍යාගේ දෑසට එබුණේ ඒ මොහොතේ ය.ආරණ්‍යා කිසිත් නැති බව කියන්නට හිස වනද්දී නිසලි එය වරදවා වටහා ගත්තා ය.
“ඔයා අවුල් වුණා ද? සහස් බැන්නට.” නිසලි අසන්නේ වඩා මෘදු හඬකිනි.ආරණ්‍යාට කෝපයක් දැනෙන්නේ ඒ ඕනෑවට වඩා මෘදු හඬකට ය.කෙසේවත් ගැළවෙන්නට බැරි වරදකට මල්ලීව හසුකර අප්පච්චිට පැමිණිලි කළ පසු ආරණ්‍යාගේ මුහුණේ ඇඳෙන්නේ ද මෙවැනි සිනාවකි.ආරණ්‍යා මිතුරිය දෙස සැකමුසුව බැලුවා ය.
“අහන්නකො..සහස් බැන්නද?”
නිසලි අසන්නේ ආරණ්‍යාගේ කෝපය වඩා තදින් ඇවිලෙන විට ය.
“ඔයාලා බැන්නට මට මොකද අනේ..අම්මා අවුල්වෙලා මම බය වෙලා ඇති කියලා.පව් එයා..”
නිසලි නැවත ආරණ්‍යාගේ අතකින් අල්ලා ගත්තා ය.මෙවැනි චාටු වැඩ ආරණ්‍යාගේ කෝපය වහා අවුලන්නට සමත් ය.
“සහස් බැන්නම ඔයා අප්සට් යනව කියල හිතුවේ.”
ආරණ්‍යා මිතුරියට නොරිස්සුම් බැල්මක් දුන්නා ය.ඇය නීතිඥවරියක වීම පසෙක තබා මඟුල් කපුවෙකු වන්නට සැරසෙන බව ආරණ්‍යා නොදන්නා කාරණාවක් නොවේ.ඒ ගැන නිසලිට කියන්නට හොඳම මොහොත මේ බව ආරණ්‍යා සිතුවා ය.
“යාලුවෙක් තමන්ගේ සීමාවල් පන්නනකොට පොඩ්ඩක් තරහ යනව මිසක මට එයාගේ මෝඩ බැනිලි ගාණක් නෑ..”
නිසලි මිතුරිය දෙස බලා සිටියා ය.අනතුරුව තමන් සෑහෙන දවසක් තිස්සේ ආරණ්‍යාට තේරුම් කරන්නට යන කාරණාව ගැන කතා කරන්නට පටන් ගත්තා ය.
“සුදූ, ඔයාට ඔච්චරම හැඟීම් දැනීම් නැද්ද? ඒ කොල්ලා උඹට කැමති.ඒක යාලුකමක් නෙවේ..”
ආරණ්‍යා බෑගය ද රැගෙන නැඟී සිටියේ මිතුරිය දෙස නොබලා ය.සැබෑවටම බලහත්කාරයෙන් ප්‍රේමයක් ඇති කරන්නට උත්සාහ කිරීම මොනතරම් විසිළු සහගතදැයි ඇයට සිතිණ
“මෙහෙමනෙ..මට හැඟීම් දැනීම් හොඳටම තියනව.අන්න ඒ නිසා මට කියන්න තියෙන්නෙ මම එයා කියන්න හදන දේ තේරුණේ නෑ වගේ ඉන්නව කියල තමා..”
නිසලි පුදුමයෙන් බලා සිටියදී ම ආරණ්‍යා නැගිට එතැනින් පිට වූවා ය.ඇයට සහස් ගැන දැනෙන්නේ අනුකම්පාවකි.ඕනෑවට වඩා ආදරය අයදිමින් පසුපස ඒම තෝරා ගන්නට තරම් ඔහු පහළට වැටීම ගැන ඇයට ශෝකයක් දැනේ.ඔහු එවැනි තත්වයකට වැටිය යුතු නොවේ.