“අම්මා..කොල්ලෙක් බලෙන් ආදරේ ඉල්ලන් පස්සෙන් එනවනම් මොකෝ කරන්නේ?”
කල් තියා නිවසට විත් සඳරැස් ගෙදර එන්නට පෙර ඔහුගේ උපන්දින කේක් ගෙඩිය උදුනට දමන අතර ආරණ්‍යා ඇසී ය.මේකලා ඒ වචන අසා තිගැස්සුණා ය.කෙළවරක් නැති සෙලිබ්‍රිටි කොල්ලන් ගැන මිස ආදරය සම්බන්ධයෙන් කිසිවක්ම කියා නැති දියණිය දැන් ආදරය ගැන කතා කියන්නී ය.මේකලාගේ සිතට බියක් දැනිණ.කුඩා කෙල්ල මහ කෙල්ලක වීම ඇයට උසුලා ගැනීම අපහසු ය.
“අර පර්ස් එක අහුලපු කොල්ල පස්සෙන් එනවද?”
ඇය වහා ඇසී ය.උදුනේ උණුහුම නැතිව කේක් තැටිය පිළිස්සෙන තරමේ උණුසුම් හිනාවක් ආරණ්‍යා මුළුතැන්ගෙය පුරා විසිරවූවා ය.
“පිස්සුද ලොකු නෝනා.ඒ කොල්ලා හරි ඩීසන්ට් මනුස්සයෙක්.ඔයාගෙ පොත් ගැන පිස්සුවෙන් වගේ කියෝලා ඉක්මනින් ෆෝන් එක තිබ්බා.ඒ කොල්ලට තිබ්බ සතුට ලස්සන කෙල්ලෙක්ගෙ පර්ස් එක ඇහින්ද එක නෙවේ.ඒ කෙල්ල මේකලාගෙ දුව වුණු එක.ඔන්න බලන්න අම්මා ඔයා නිසා මට කොල්ලෙක් යාලු කරගන්නවත් නෑ..”
ආරණ්‍යාගේ සරදම මේකලා දරාගත්තේ සිනාවකිනි.නමුත් ඒ සරදමට ආරණ්‍යා කියන්නට ගිය ලොකු කතාවක බර නොමැකේ.ඈ වහා ඒ කතාව ඇද ගත්තා ය.
“කවුද එහෙම පස්සෙන් එන්නේ?”
ආරණ්‍යා සහස් ගැන කියන්නට පටන් ගත්තා ය.ඔහු ආදරය බව නොකියයි.නමුත් මහා අයිතිවාසිකම් සහිතව හැසිරේ.ආරණ්‍යාට එය මහා වදයකි.මිතුරෙකුගේ සීමාව බලහත්කාරයෙන් උල්ලංඝනය කරන සහස් තවදුරටත් මිතුරුකමක තබා ගන්නට පවා ඇයට අපහසු ය.
“මම සහස්ට කෙලින්ම කතා කරනවා අම්මෙ..”
ඇය කෝපයෙන් කීවා ය.මේකලා දියණියගේ අතකින් අල්ලාගෙන මඳ වෙලාවක් සිටියා ය.කියන්නට බොහෝ කල් පෙරුම් පිරූ කතාව අද දියණියට කිය යුතුම වේ
“ආදරේ කියන්නේ බොහොම පරිස්සමින් කරන්න ඕන දෙයක් සුදු මැණික.හොඳ යාලුවො යාලුකමට හොඳයි තමා.ආදරවන්තයෝ වුණානම් ඒ හොඳ යාලුවෝ හොඳ ආදරවන්තයෝ නොවෙන්නත් පුලුවන්.යාලුවෙක් ආදරවන්තයෙක් කරගන්නකොට පරිස්සමින්.යාලුකමවත් ඉතිරි නොවෙන්න පුලුවන්..”
අම්මාට එසේ කියන්නට දිගු අතීත කතාවක් ඇතැයි මේකලා නොකීවා ය.නමුත් ඇය එපමණක් කීවා ය.ඇය සහස් ගැන නොදනී.නමුත් ආදරය පතමින් දැඩි අයිතිවාසිකම් කියමින් පසුපස වැටුණු හොඳ යාලුවෙකු අවසානයේ ඉතිරි කළ වේදනාවක් හොඳින්ම දනී.
“මගේ මේ වයසට බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්න ඕනද අම්මා..”
ආරණ්‍යා ඊටත් පසු අමුතුම ප්‍රශ්නයක් ඇසුවා ය.මේකලාට උපන්නේ සිනාවකි.ඇය දියණියගේ මනස්කාන්ත රූපය දෙස බලා සිටියා ය.මෙපමණකට සුන්දර කෙල්ලකට ප්‍රේමවන්තයෙකු නැති වීම සැබෑවටම අරුම කාරණයකි.නමුත් එය එසේ වී තිබේ
“මට ඉතින් බෝයි ෆ්‍රෙන්ඩ්ස්ලා දෙන්නෙක්ම ඉන්නවත්නෙ අම්මා.ඒ දෙන්නව සප්‍රයිස් කරන්නයි,කන්න ආස දේවල් හදන්නයි, ඇඳුම් තෝරන්නයි, සාත්තු කරන්නයි අවුරුද්දේ තුන්සිය හැටපස් දවසම ගියාම ඇත්තටම මට කොහෙන්ද ආදරේ කරන්න වෙලාවක්. අප්පච්චියි මල්ලියි දෙන්නා මට මෙච්චර ආදරේ නිසා වෙන්නැති අම්මා,මට ඇත්තටම කොල්ලෙක් ගැන හිතෙන්නෙම නෑ..”
මේකලා දියණිය දෙස සිනාවතකින් බැලුවා ය.ආදරය සම්බන්ධයෙන් දියණිය රැවටීමකට අසුවේදැයි ඈ බිය වූයේ අද ඊයේක නොවේ.”කෙල්ලෙක් ඉන්නෙ” යැයි ස්කෑන් පරීක්ෂණය දා නාරි වෛද්‍යවරයා පැවසූ මොහොතේ ය.නමුත් දියණිය ඒ මාවත දෙස ඇහැක් ඇර නොබලමින් උස්මහත් වූවා ය.
“ඒ වුණාට ඔයාව තව අවුරුදු හතරපහකින් කාටහරි දෙන්න ඕන පුතේ අපි..”
ආරණ්‍යා කේක් සුවඳ පැතිර යන මුළුතැන්ගෙය පුරා සිනා විසුරවා හැරියා ය.
“අප්පච්චි වගේ අම්මව බලාගන්නව වගේ කෙනෙක් තව මේ ලෝකේ ඉන්නවනම් අම්මා හොයන්නකො.”
එසේ කී දියණිය කේක් ගෙඩියේ තත්ත්වය බලන්නට අසුනින් නැගිට්ටේ අම්මාට අභියෝගයක් දෙමිනි.
“කුස රජ්ජුරුවො කීවා වගේ කතාවක් කියන්නම් අම්මේ.අම්මා ඇත්තටම ආදරේ කරන තාලේ ගතිගුණ තියන කොල්ලෙක් අම්මම මට හොයලා දෙන්න.මං අෆෙයා එකක් පටලෝගෙන මල්ලිට ඔයාලව තනියම අයිති කරගන්නනම් ඉඩ දෙන් නෑ මම..මම බඳින්නෙ ප්‍රපෝසල් එකකින්..”
තමන් සැබෑවටම ආදරය කරන පන්නයේ කොල්ලෙකු ගැන අසද්දි මේකලාගේ දෑසේ රුවක් ඇදී මැකී යන්නට විණ.ඔහුගේ කුඩා අනුරුව දියණියට දෛවය මුණ ගස්වා ඇතැයි ඈ ඒ මොහොතේ නොදැන හුන්නා ය