සිනෙලි පන්ති කාමරයට ආවේ හිත හොඳටෝම රිද්දාගෙන.හෙට ජිම්නාස්ටික් තරග පැවැත්වෙන බව එයා දන්නවා.ඒත් තවදුරටත් සිනෙලිට ජිම්නාස්ටික් කරන්න බෑ.
“දැන් ඔයා ලොකු ළමයෙක්..”
පහුගිය දවස්වල ගේ අස්සෙම හිරවෙලා හිටිය සිනෙලිට අම්මා එහෙම කීවේ උදේ පාන්දර නාවලා ලස්සන ගවුමක් අන්දලා තුරුලට අරගෙන.ලොකු ගෑනු ළමයෙක් ජීවත් වෙන්න ඕනෑ හැටි කියලා දුන්නු අම්මා ඊටත් පස්සෙ සිනෙලිට ලොකු නීතියක් දැම්මා.
“ප්‍රවීනා ටීචට කියන්න දුව ආයේ ජිම්නාස්ටික් කරන්නෙ නැහැ කියලා.”
සිනෙලිට ඇස්වලට උනපු කඳුලු වාවාගන්න අමාරු වුණා.ජිම්නාස්ටික් කරන්න සිනෙලි පටන් ගත්තේ දෙකේ පන්තියේ චූටි බට්ටියක් කාලේ ඉඳලා.සිනෙලිගෙ නමට සමස්ත ලංකා ජයග්‍රහණ එකපිට එක ලියැවෙනකොට සිනෙලිට දෙතුන්පාරක්ම ජාත්‍යන්තර තරගවලටත් යන්න ඉඩ ලැබුණා.
“මම කවදාහරි ඔලිම්පික් වලට යනවා.”
සිනෙලි එහෙම හිතාගත්තේ ජාත්‍යන්තර තරගවලින් රටට උපරිම කීර්තිය අරගෙන එන අතරේ.කේක් පාර්සලයක් එක්ක ඉස්කෝලෙට ආපු සිනෙලි පුටුවකට වැටිලා කල්පනා කරන්න පටන් ගත්තේ මේක ප්‍රවීණා ටීචට කොහොම කියන්නද කියලා.
“ඔයාට මියුසික් පුලුවන්නෙ පුතේ.මේ මාසෙ ඉඳන් ජිම්නාස්ටික් වෙනුවට කලනි ටීචගේ වයලින් ක්ලාස් යං..”
ඒක ගෑනු ළමයෙකුට අපූරුම දෙයක් කියලා අම්මා තීරණය කරලත් ඉවරයි.ඒත් ඔලිම්පික් පදක්කම්ලාභී සිනෙලි කරුණාරත්න වෙන්න හීන දකින සිනෙලිට වයලින් ගහන්න ලොකු ආසාවක් නෑ.එහෙම වයලින් ගැහුවත් එලීෂා තරම් ලස්සනට ඒ වැඩේ කරන්න බෑ කියලා සිනෙලි දන්නවා.ඉතින් එහෙම හීනයක් බිඳෙන්න දෙන්නේ කොහොමද?
“අද ජාත්‍යන්තර කාන්තා දිනය.මේ අවුරුද්දේ ජාත්‍යන්තර කාන්තා දිනයේ තේමාව වෙන්නේ Break the bias.ආදරණීය සහෝදරියනි.අපි අපේ සීමා මායිම් බිඳගෙන ඉස්සරහට යන්න ඕන.කවමදාවත් අපේ හීන විනාශ කරගන්න නරකයි.අපි දකින හීන වලින් අපිට ලෝකෙ දිනන්න පුලුවන්.
කුමුදි පාසල් වේදිකාව උඩට වෙලා කතාවක් පවත්වනවා.ප්‍රධාන ශිෂ්‍ය නායිකා කුමුදි අක්කා දිහා සිනෙලි බලන් හිටියේ පුදුමාකාර උද්‍යෝගයක් ඇතිව.කුමුදි අක්කා කියන විදියට හීන බිඳ ගන්න නරකයි.අටේ පන්තියේ පුංචි කුමුදි එහෙම හිතන්න පටන් ගත්තා.ගවුමේ රතුපාට පැල්ලමක් තිබිලා ගේ අස්සෙ හිර වුණු සතියකට පස්සේ ඔලිම්පික් පදක්කම්ලාභී ක්‍රීඩිකාවක් වෙන හීනේ අත් ඇර ගන්න සිනෙලිට පුංචි වුණත් හිත හදා ගන්න අමාරුයි.
කුමුදි කතා කරපු වචනවල අයිතිය අසේකා ගුරුතුමියගේ.දියණියන්ට ලෝකය පුරා පියාඹන්න හයිය දෙන ඒ වචන ලියන්න අසේකා මිස්ට තියන ශක්තිය ගැන හිතන ගමන් තමන්ට ඒ වචන කතා කරන්න ඇත්තටම පුලුවන් ද කියලා කුමුදි හිතන්න ගත්තා.
“අද ඇයි ඉස්කෝලෙ යන්නේ?”
උදේම අම්මා ඇහුවේ එහෙම කතාවක්.අද කාන්තා දිනයට ඉස්කෝලේ විශේෂ රැස්වීමක් බවත් නොගිහින් බැරි බවත් රැස්වීමේ කතාව බාර තමන්ට බවත් කුමුදි කියනකොට අම්මා දේශනය පටන් ගත්තා.
“කතා පවත්ත පවත්ත හිටියට හීන මවන විදියට ටීවී අස්සට රිංගන්න නම් ඉඩක් නෑ කුමුදි.ඉස්කෝලෙ හෙඩ් ගර්ල් වුණාට මට වැඩක් නෑ.ෆස්ට් ෂයි කැම්පස් නොගියොත් දරුකමිනුත් අයින් කරල දානව.මොකද අපිට දෑවැදි දෙන්න ලස්ස ගණන් නෑනෙ.හරියට ඉගෙන ගෙන දොස්තර කෙනෙක්වත් වුණොත් තමයි හොඳ කසාදයක් කරගන්න පුලුවන්..”
ඊටපස්සෙ අම්මා රූපවාහිනී තිරයේ දකින කාන්තාවන් ගණනාවකට චරිත සහතික ලියන්න ගත්තා.නරක ගෑනියෙක් වෙන්න හීන දකින බව අහ අහා කුමුදි ඉස්කෝලේ ආවා.ඒත් තාමත් නිවේදිකා හීනේ හිත අස්සේ තියනවා.
අසේකා ගුරුතුමිය කුමුදිගේ කතාවට අත්පොළොසන් දුන්නේ සන්තෝසයෙන්.කරුණු ගොනු කරල දුන්නාම කතා කරන්න කුමුදිට තියෙන්නේ පුදුම හැකියාවක්.කුමුදිට ජීවිතේ හීන ලුහුබැඳ යාම ගැන ලියලා දුන්නට මේ මොහොතේ අසේකා ඉන්නෙත් ප්‍රශ්නයකට මැදි වෙලා.
“අර කල්හාරගේ ගෙදරින් ආයෙම කතා කරා.”
උදේ පාසල් එන්න දඩිබිඩියේ ලෑස්ති වෙන අසේකාට දුරකථන ඇමතුමක් දුන්නු අම්මා එහෙම කිව්වා.ඊටත් පස්සේ කල්හාරගේ විවාහ යෝජනාවට කැමති වෙලා ඕස්ට්‍රේලියාවේ පදිංචියට යාම ගැන අම්මා කතා කරේ පුදුම උනන්දුවකින්.
“මං ඉගෙන ගත්තෙ මගේ රටට සේවයක් කරන්න.මට කසාදයක් කරගෙන මෙහෙන් යන්න ඕන නැහැ.”
අසේකා එහෙම කියනකොට අම්මා හොඳටෝම බනින්න පටන් ගත්තා.හොඳ විවාහයක් කරගෙන යහපත් බිරිඳක් හැටියට හොඳ රටක ජීවත් වීම වෙනුවට ගුරුවරියක් වෙලා සොච්චම් වැටුපක් තෝරා ගැනිල්ල ගැන අම්මා හිටියේ කේන්තියෙන්.
“මේ වගේ ප්‍රශ්න එක්ක සීමා බිඳින්නෙ කොහොමද?”
අසේකා විදුහල්පතිනිය දිහා බලාගෙන කල්පනා කරා.නාලිනි ගොඩගේ මහත්මිය සුපුරුදු තේජාන්විත බැල්මෙන් දියණියන් දිහා බලාගෙන ඉන්නවා.ඇය එක්ක මේ ගැටලුව කතා කරන්න තිබුණානම් කියලා අසේකාට හිතුණා.
විදුහල්පතිනිය පාසල් රැස්වීම අවසන් වෙනකන් බලාගෙන හිටියේ නොඉවසිල්ලෙන්.දහයහමාරට නාලිනි උසාවියට එනවද අහන්න නීතිඥවරිය ආයෙමත් කෙටි පණිවිඩයක් එවලා තිබුණා.දික්කසාද නඩුව අද අවසන් කරගන්න පුලුවන් බව විශ්වාසයි.නීතිඥවරිය කියන්නේ එහෙමයි.දැඩි ගෘහස්ථ හිංසනයට ලක් වෙන්න තරම් තමන් අසරණ නැහැ කියලා හිතෙනකොට නාලිනි මහත්මිය සටනට බැස්සා.ලෝකෙට බොරු කිය කියා හංගා ගත්තු තුවාල කැළල් මැකෙමින් තියනවා.හදවතේ තුවාලත් සනීප වෙනවා.
“ගෑනු ළමයි පන්හයදාහක් ඉන්න ඉස්කෝලෙක ප්‍රින්සිපල් මැඩම් දික්කසාද ගෑනියෙක් කිව්වම රට්ටු හිනාවෙයි.”
අම්මා ඊයෙත් විස්සෝපෙන් නංගි එක්ක එහෙම කීව බව නාලිනී දන්නවා.රිදෙන තැන් මඟ හරින්න,තමන් වෙනුවෙන් නැගී සිටින්න දූලාට කියා දෙන විදුහල්පතිනියක් ගෘහස්ථ හිංසනයේ ගොදුරක් වෙලා මැරිලා ගියානම් තමයි රට්ටු හිනා වෙන්නේ කියලා නාලිනී මහත්මිය හිතන්න පටන් ගත්තා.
ප්‍රවීණා ටීචගේ අතේ එල්ලුණු සිනෙලිට ප්‍රශ්නයක්.අසේකා ටීච එක්ක කුටු කුටු ගාන කුමුදිටත් ප්‍රශ්නයක්.නොකියා හිටියාට ප්‍රින්සිපල් මැඩම් එක්ක කතා කරන්න අසේකාටත් ප්‍රශ්නයක් තියනවා.උදේ රැස්වීමට පස්සෙ ප්‍රින්සිපල් මැඩම්ගෙ කාර්යාලය ළඟ ඉන්න පිරිස දිහා නාලිනි බැලුවේ කරුණාවෙන්.
“මං එන්නම්..අපි කතා කරමු.”
හැමෝම ඉන්න ගැටළු හැම එකකටම විසඳුම් තියෙන බව විදුහල්පතිනිය හිතුවේ දික්කසාද නඩුවට යන්න මෝටර් රථයට නගින අතර.ලෝකයට බය නොවී සීමා බිඳින්න තමන් තීරණය කළා.ඒ සැනසීම පිරුණු මාවත තමන්ගෙන් පාර අහන හැම දියණියකටම කියා දෙන්න ඕනෑ.ඇය හිතුවේ අධිෂ්ඨානයකින්.