අද අට ශ්‍රේණියේ සඳලිගේ පාසලේ ගුරු දෙගුරු රැස්වීම පවත්වන දවස. තමන්ගෙ ලොකු දුව උනු සඳලි ගැන පන්ති බාර ගුරුවරියත් එක්ක කතාබහ කරන්න සඳලිගේ අම්මාට ලොකු උනන්දුවක් තිබුනා. තමන් කියන කිසිම දෙයක් නාහන හිතුවක්කාර දියණිය පාඩම් වැඩට දක්වන අඩු උනන්දුව ගැන සඳලිගේ අම්මා හරිම කණගාටුවට පත්වුණා.
” ටීච , කොහොමද අපේ සඳලි දුව ඉස්කෝලේදි ?” සඳලිවත්ළඟ තියාගෙන සඳලිගෙ අම්මා කතාව පටන් ගත්තා.
“ආ.. සඳලි සාමාන්‍යයෙන් පන්තියේ උගන්වන වෙලාවට වැඩ ටික හොඳට කරනවා. හැබැයි ගුරුවරු නැති වෙලාවට හරිම කටකාරයි කියල මට ආරංචි උනා.. සඳලි මීට වඩා වැඩ කරන්න පුළුවන් දරුවෙක් හැබැයි.. මම හය වසරෙදිත් සඳලිට උගන්නල තියෙනවනෙ.. ගිය වාරෙට වඩා ගොඩක් විශයන් ව්ලට ලකුණු අඩුයි. ඉක්මනට දරුව හරි පාරට ගන්න නම් වෙනව..” ගුරුතුමිය දිහාත් සඳලි දිහාත් මාරුවෙන් මාරුවට බලන ගමන් සඳලිගේ අම්මා ගුරුතුමිය කියන දේ අහගෙන උන්නා.
” අනේ බලන්නකො ටීච, ඒක තමයි. මේ ළමයට මම කොච්චර පාඩම් කරන්න කිව්වත් අහන්නෙ නෑ. වෙලාවකට මම ගහනවත් එක්ක.ඒ උනාට ලැජ්ජත් නෑ. මෙයාගෙ නංගිත් දැන් හතරෙ නෙ ඉන්නෙ. එයත් එක්ක අගේට පාඩම් කරන්න පුළුවන්. මෙයා හින්දා පොඩි දුවත් නරක් වෙනවා. මේ ළමයත් හොඳට ශිෂ්‍යත්වෙ පාස් උනානෙ ටීච , වැඩ බැරුව නෙමෙයි. මම ඒ දවස් වල හැම දේටම පස්සෙන් හිටිය , පාඩම් කරන්න උනත්. දැන් ඉතින් එයා තනියම වැඩ කරගන්න ඕනනෙ. මම පොඩි එක්කෙනාව ඊලඟ අවුරුද්දේ ශිෂ්‍යත්වෙට ලෑස්ති කරන්න ඕනනෙ. මෙයාට කිව්වට තේරුම් ගන්නෙ නෑ ටීච” සඳලිගේ අම්මගෙන් ඒ පාර සඳලිට විරුද්ධව නඩු ගොඩාරියක්..
ගුරුතුමිය සඳලි දිහාවට හැරුනා. “පුතා, ඔයාට පුළුවන්ද මෙන්න මේ පොතේ නිර්මලා මැඩම්ට අත්සන් කරන්න බැරිඋන තැන් ටික අත්සන් කරන් එන්න ? යාලුවෙක් එක්කරගෙන ගිහින් එන්නකො..” සඳලි යාලුවත් එක්ක පිටත් වෙනකන් ඉඳලා ගුරුතුමිය සඳලිගේ අම්මාට කතා කරන්න ගත්තා.
” මෙහෙමනෙ සඳලිගේ අම්මේ, ඔයාට ලොකුයි කියල හිතුනට සඳලි කියන්නෙත් තාම පොඩි දරුවෙක්. වැඩිමල් දරුව උනාට තාම මෙයා ඉන්නෙ හිතල බලල වගකිමෙන් වැඩ කරන්න පුළුවන් වයසක නෙමෙයිනෙ.. මේ කාලෙ හරිම පරිස්සමින් එයත් එක්ක කතාබහ කරන්න ඕන.. මටත් ටිකක් තේරුනා සඳලි ඉගෙනිම ගැන අවදානය අඩු වීගෙන යනව කියල. ඒ උනාට වැඩ කරන්න බල කරල ගහන්න බනින්න නම් යන්න එපා. දරුවො ගොඩක් වෙලාවට ඕව තේරුම් ගන්නෙ ගෙදර අය එයාලට ආදරේ නෑ කියල..”
සඳලිගෙ අම්මා ගුරුතුමිය කියන දේ හොඳින් අහගෙන හිටියා..
” සඳලි ගෙදරදි සාමාන්‍යෙන් මොකද කරන්නෙ? “
” ටීච ඒ ගැන නම් කතා කරල වැඩක් නෑ. ඉස්කෝලේ ඇරිලා පන්ති ගිහින් ආව වෙලාවෙ ඉඳන් ටීවි බලන එක තමයි වැඩේ. මම නිතරම කියනවා ගෙදර වැඩ එහෙම ඉවර කරල ටීවි බලන්න කියල. ඒත් දැන්ම බෑ මහන්සියි කියල පස්සට දානවා. ඉතින් නිදාගන්න ළං වෙලා තමයි වැඩ කරන්න මතක් වෙන්නෙ. නිදිමතේ වැඩ ටික කරන්න ගත්තට පස්සෙ ආයෙ අමතර පොතක් පත්තරයක් කියවන්න වෙන්නෙ නෑ නිදිමතයි නෙ.. සමහර දවස් වලට එ ටික කරන්නෙත් නෑ කෙලින්ම ටීවි බලල නිදාගන්නවා. මම කොච්චර මේ ළමයට පොත් කියවන්න කිව්වත් අහන්නෙ නෑ ටීච. මම පුළුවන් තරම් මේ අයට නිදහසේ ඉන්න දෙනව කිසිම උදව්වක් වත් නොගෙන, ඉල්ලන ඕන දෙයක් අරන් දෙනව, මෙය දැනගන්න ඕනනෙ නේද හරියට ඉගෙනගන්න ..”
“සඳලිගෙ අම්මට මම කලින් කිව්ව නේද දුව පන්තියෙදි ටිකක් කටකාරයි කියල? මට ආරංචි උනු හැටියට සඳලි හරිම ආසාවෙන් යාලුවොත් එක්ක කියවන්නේ මේ දවස් වල රූපවාහිනියෙ ප්‍රසිද්ධ වෙලා තියෙන ටෙලිනාට්‍ය කීපයක් ගැන. එකක් නෙමෙයි පැය තුන හතරක් තිස්සේ තියෙන කතා ගොඩ්ක් ගැන. මට වෙන දරුවෙක් නාට්‍ය කීපයක නම් කියල කිව්වා ඒ කතා ඔක්කොම ගැන සඳලිට කට පාඩ වග. පන්තියේ කාට හරි දවසක කතාවක් බලන්න බැරි උනොත් සඳලි ගාවටලු එන්නෙ සිද්ද උනු දේ ගැන අහන්න.”
සඳලිගෙ අම්මට සඳලි ගැන පුදුම තරහක් ඇති උනා.
” අනේ ටීච මේ ළමය මෙහෙම කියල මම හිතුවෙ නෑ. මට උනත් දැන් එයා පස්සෙ හැම වෙලාවෙම යන්න බෑනෙ. මෙයා මෙහෙම උනාම පොඩි එක්කෙනත් ඔවට හුරු වෙයි. ටීචට පුළුවන්ද අපේ දුවට ටිකක් අවවාද කරල පාඩම් කරන්න කියන්න? “
” මෙහෙමයි.. ඔය වයසෙ දරුවන්ට පාඩම් කරන්න, පාඩම් කරන්න කියල කිව්වට විතරක් හරියන්නෙ නෑ. එයාලට පාඩම් කරන්න ඕන විදි ගැන තේරෙන්නෙ නෑ. මම දරුවන්ට පොදුවේ පාඩම් කරන්න පුළුවන් විදි ගැන පන්තියේදි කියල දෙන්නම්. ඒත් ඒ විදියට පාඩම් වැඩ වෙනවද කියල බලන එක කරන්න ඕන ගෙදර අය තමයි. දරුවො ගෙදර ගියාට පස්සෙ ගුරුවරු හැටියට අපිට එයාල ගැන බලන එක කරන්න බැරි දෙයක්නෙ.
මට හිතෙන හැටියට සඳලිගෙ ගෙදර පරිසරය උනත් ටිකක් වැඩිපුර වෙනස් උනොත් හොඳයි..”
ගුරුතුමිය කියද්දි සඳලිගෙ අම්මා තමන්ගෙ අවදානය වැඩියෙන් කතාවට යොමු කළා.
” දරුවො කියන්නෙ අත්දැකීම් ගොඩක් අඩු අයනෙ.. එයාලට ලැබෙන අත්දැකීම් තමයි එයාල එලියට පෙන්නන්නෙ. මට හිතෙනවා සඳලිගෙ ගෙදර අයත් ඔය කියන කතා ඔක්කොම බලනව ඇති කියලා. ගෙදර අයට කතා බලන්න එපා කියන එකත් සාර්ථක නෑ. ඒත් ටිකක් පාලනය කරන එක හොඳයි නේද ? “
ගුරුතුමිය එහෙම කියද්දි ” අපි රෑට කන වෙලාවට තමයි ටිකක් ටීවි එක දාන්නෙ ටීච, අපිත් වැඩ ඔක්කොම ඉවර වෙලා ටිකක් නිකන් ඉන්නෙ ඒ වෙලාවටනෙ..” කියල සඳලිගෙ අම්ම කිව්වා.
” ගොඩක් දරුවො ඔය නාට්‍ය වලට ඇබ්බැහි වෙන්න පටන් ගන්නෙ රෑට කෑම කන වෙලාවට. වැඩිහිටියෝත් ගොඩක් වෙලාවට කෑම කන ගමන් රූපවාහිනිය බලන්න පුරුදු වෙලා ඉන්නෙ. ඒක වැඩිහිටියන්ගේ පැත්තෙන් ඒක සාදාරන වෙන්න පුළුවන් , දවසම මහන්සි වෙලා නිදහසේ ඉන්නෙ ඒ වෙලාවට විතරනෙ. ඒත් ඒ වෙලාවට රූපවාහිනිය දාන්නෙ නැතිව ගෙදර අය කතා බහ කරන ගමන් රෑ කෑම ගන්න පුළුවන් නම් දරුවො උනත් තමන්ගෙ පවුලට තව ලැදි වෙනවා. ඒ වෙලාව එයාලට හිතට වද දෙන දේවල් බෙදාහදා ගන්න යොදාගන්න පුළුවන්..” සඳලිගෙ අම්මාට තමන්ගේ ගෙදර රාත්‍රී කාලය ගතවෙන විදියේ වැරැද්දක් ඇති බව පලමු වතාවට ටිකක් තේරෙන්න ගත්තා.
” තවත් දෙයක් තමයි කවදාවත් දරුවෙකුට නිකන්ම ආදරය නිසා විතරක් දේවල් ලබා දෙන්න එපා. දරුවෙකුට දෙයක් ඕනම නම් ඒක එයාගෙ මහන්සියෙන් උපයා ගන්න දෙන්න ඕන, ඒකත් අවශ්‍ය ප්‍රමාණයට විතරක් දෙන්න පරිස්සම් වෙන්න ඕන.. සඳලි ගැන ගත්තොත්, එයා නාට්‍ය බලන්න ඇබ්බැහි වෙලා ඉන්න නිසා ඒක පාලනය කරන්න ඕන උපක්‍රමශීලීවයි.
සඳලිව මුලින්ම දැනුවත් කරන්න එයාගෙ පාඩම් වැඩ අතපසු වෙන බව ඔයාල දන්න වග.. ඒ නිසා වැඩකටයුතු වෙන විදිය වෙනස් කරන්න වෙන බවත් හොඳින් කියල දෙන්න. එයාට තෝරාගන්න දෙන්න ඒ කතා වලින් එයා කැමතිම එක කතාවක් බලන එක. ඒත් ඒ කතාව බලන්න නම් එයා කරල ඉවර කරන්න ඕන පාඩම් වැඩකටයුතු ගැන එයාට ඉලක්ක දෙන්න. ඒක ගෙදර වැඩ උනත් වෙන්න පුළුවන්. එහෙම නැති දවසට පොඩි පොතක පිටු ප්‍රමාණයක් කියවන්න කියන්න පුළුවන්. එයා ආස දෙයක් තියෙනවා නම් ඒක ලබා ගන්න කරන්න ඕන වැඩක් එයාට දෙන්න. ඒ ක්‍රමයට ටික කාලයක් ගියාම හුරු වෙන්න සඳලිට පුළුවන් වේවි. ඒත්, වැඩිහිටියෝ ඒ ක්‍රමය වෙනස් නොකර දිගටම පවත්වා ගන්න මහන්සි ගන්න ඕන. දරුවො දෙන්නටම මේ ක්‍රමය පාවිච්චි කරනකොට ඔයාටත් ලේසියි. ඔයාට නිතර ඇහැ ගැටෙන තැනක ඉඳන් වැඩ කරන්න දරුවො පුරුදු කරගන්න එකෙන් ඔයාගෙ වැඩ කරගන්නත්, දරුවන්ට අවශ්‍ය වෙලාවට උදව් කරන්නත් ලේසි වෙන්නෙ ඔයාටමයි.. “
ගුරුතුමිය එහෙම කියද්දි සඳලිගෙ අම්මා ඒ වෙනස්කම් හැකි තරම් ඇති කරගන්න හිතා ගත්තා.
” වැදගත්ම කාරණාව තමයි පොඩි දරුවා නිසා සඳලිව මඟ ඇරෙන්න දෙන්න එපා. පොඩි කෙනාට අවදානය ඔන වගේමයි ලොකු දරුවටත්. දරුවෙක් කරන කියන හැමදේටම, හැම හැසිරීමකටම වැඩි ප්‍රමාණයක් බලපාන්නෙ තමන්ගෙ පවුල් පරිසරය. දරුවෙක්ව හරි මඟට ගන්න නම් හරි අවබෝධයෙන් පව්ල් පරිසරයත් හරියට හැඩගස්සගන්න වෙනවා..”
ඈතින් සඳලි එන බව සඳලිගෙ අම්මාට පෙනුනා. ” මම එහෙනම් ඒ විදියට ගෙදර ටිකක් වෙනස් කරගෙන බලන්නම්කො ටීච. අනේ බොහොම ස්තූතියි.. “
ගුරුතුමියගෙන් සමුගෙන සඳලියි අම්මයි ගෙදර යන්න යන්න පිටත් උනා..
උත්තරා සඳමාලි