“ඊට කලින් මම ඔයාට දෙයක් කියන්නංද?”
ආරණ්‍යා අසයි.මේඝ ඇය නොකැමතිම දෙයක් කළ බවක් සිහිව කෝපයට පත් වූ හන්දාම ඈ ඒ කතාව වහා ඇද ගන්නට සිතුවා ය.
“ඔයාගේ කැමැත්තක්.”
ආරණ්‍යාට කියන්නට සැරසෙන වැදගත් කතාව පරයා ඇය කියන්නට යන්නේ කුමක්දැයි මේඝට දැනගන්නට ඕනෑ විය.නමුත් ආරණ්‍යා අර ඇන්දේ රණ්ඩුවකට ය.ඈ අප්පච්චි සමඟ ගැටුම් ඇති නොකර ගන්නා දියණියකි.ජාලියගේ නිහඬ සිත ආරණ්‍යා තරම් මිහිපිට කිසිවෙකුත් අවබෝධ කරගෙන නැති බව මේකලා නිරන්තරයෙන්ම කියන කාරණාවකි.නමුත් ආරණ්‍යා සඳරැස් හෝ මෝක්ෂ ඈ සම්බන්ධයෙන් සිදු කරන සමහර දෑ ගැන මහා විශාල රණ්ඩු නිර්මාණය කර ගන්නී ය.
“ඔයාලා මට ආදරේ නම් මං කියන දේවල් ඔයාලට මතක තියන්න ඕන.”
ඈ එසේ කියමින් හඬද්දී ආරණ්‍යා තුරුලට ගන්නා මෝක්ෂ “අපට වෙන වැඩ නැද්ද” අසයි.”ඔය කෝලං කවදහරි අපේ මස්සිනාට කියපං” සඳරැස් වඩා සැර තර්ජනයක් කරයි.අනාගත දවසක ආරණ්‍යාගේ අත ගන්නා තරුණයා ගැන ආරණ්‍යාගේ අයියාත් මල්ලීත් ශෝක වීම නවතින්නේ විශාල කලකෝලාහලයකිනි.ගුටි කන කොල්ලන් දෙදෙනා තවත් ගුටි නොකෑම ගැන බිනරි ශෝක වද්දී ඔවුන්ට බැන වැදීම මේකලාගේ සිරිත ය.ආරණ්‍යා ඒ මොහොතවල් සිහි කරමින් මඳ වෙලාවක් සිටියා ය.
“ඔයා දන්නවද අයියා! මම කියල තියනව ඔයාට සහස් ගැන.”
ඈ එවැන්නක් පැවසූ බව මේඝට සිහි වූයේ ඒ මොහොතේ ය.එය අමතක වීම ගැන ඔහු පසුතැවිණ.බලහත්කාරයෙන් ආදරය ඉල්ලා සිටින සරසවි මිතුරා ගැන ආරණ්‍යා පැවසූ කතාව අමතක කිරීම එතරම් බරපතල වරදක් බව මේඝ සිතා තිබුණේම නැත.
“මං ආසම නැති වැඩක්..”
ආරණ්‍යා කියන්නේ නොමනාපයෙන් මුහුණ රත්පැහැ කරගනිමිනි.නමුත් ඒ රත්පැහැය දුටුවේ රාත්‍රියේ ඝන අන්ධකාරය පමණි.කළුවරට ඇස් ඇතැයි අම්මා කියන කතාව ආරණ්‍යා සිහි කළා ය.
“බොරුවට සැක කරන එකද?”
මේඝ අසයි.නැත, ආරණ්‍යා නොකැමතිම දේ ඈ කියන දේ වම් කනින් අසා දකුණු කනින් පිට කරන මිනිසුන්ට ය.
“මං හැමෝම එක්ක කතා කරන කෙනෙක් නෙවේ. ඒත් මං කතා කරන අය එක්ක නන්ස්ටොප් කියෝනව.මං කියන දේවල් ටක් ගාලා අමතක කරන අය මට කිට්ටු අය නෙවේ කියල මගේ ඔළුවට ටක් ගාල එනව.මං මෝක්ෂ අයියයි අපේ මල්ලායි එක්ක ගොඩක්ම රණ්ඩු වෙන්නෙ ඒකට.”
මේඝට ඒ චෝදනාවේ පවා සැනසුමක් දැනිණ.ඈ එසේ නම් ඔහුව සමීපතමයෙකු කරගෙන අවසන් ය.නමුත් ඔහු කියන්නට යන කතාව අසා ඈ ඒ සමීපතම බව පවත්වා ගනීවිදැයි ඔහුට දැනුණේ බියකි.
“මට ඇත්තටම අමතක වුණා ඒක.සොරි!”
ඔහු සමාව අයැදී ය.ඉනික්බිතිව කියන්නට ආ කතාව කියනවාදැයි නැවත වාරයක් සිතන්නට පටන් ගත්තේ ය.එහෙත් ආරණ්‍යා ඒ ගැන විමසුවා ය.ඇය ඒ ගැන අසද්දී ඔහුට ඒ ගැන කියන්නට බියක් ද ඉපදිණ.ඇය ඒ ගැන කෙසේ බාර ගනීවිදැයි ඔහුට ඇත්තේ සැකයකි.
“මං කියන්න යන කතාව අහලා අවුල් වෙන්න එපා හොඳද”
මේඝ එය කියන්නටත් පළමුව ආරණ්‍යාගේ හදවත වේගයෙන් ගැහෙන්නට විය.ඔහු කියන්නේ කුමක්දැයි ඇය අනුමාන කළා ය.ඇයට ඔහු ආදරය ප්‍රකාශ කරන්නට යනවාදැයි සැක සිතේ.නමුත් එය කෙනෙකු කලබලයට පත් කරන කාරණාවක්දැයි ඇයට සැක ය.
“මේකලා ආන්ටිගෙ ෆස්ට් ලව් එක ඔයාගේ තාත්තාද?”
මේඝ අසන ප්‍රශ්නය ආරණ්‍යාට සැහැල්ලු සිනා ඉපදී ය.එය එසේ වන්නට ඉඩ නැති බව ආරණ්‍යා දනියි.අම්මා නොදන්නා රිදුමක් සිර කරගෙන ඒ වේදනාව තනිව උසුලන බවක් ඇයට දැනුණු අවස්ථා අප්‍රමාණ ය.නමුත් ඒ කා වෙනුවෙන්දැයි ඇය අසා තිබුණේ නැත.
“ඒක ගැන අම්මා මට කියලා නෑ.ඇහුවොත්නම් කියයි.ඒත් මට කවදාවත්ම අහන්න හිතිලා නෑ.”
මේඝ සුසුමක් හෙළී ය.කලබලකාරී ගැහැනු ළමයින් දුටු විට තවමත් ළා මඳහසක් ඉහිරෙන තාත්තාගේ මුහුණ ඔහු සිහි කළේ ය.ඔහු ද හිඳින්නේ වේදනාවක් දරමිනි.
“මං එයාව දන්නව.මට එයා ගැන ඔයාට කියන්න හිතුණා.අපේ අම්මා ඔයා ගැන අහලා එච්චරටම කේන්ති ගත්තේ ඒකයි.”
ආරණ්‍යා තිගැස්සුණා ය.මල්ලීට මේඝ යැයි නම් නොතැබුවේ ඇයිදැයි අසද්දී “මේඝ කෙනෙක් කොහෙහරි ඉන්න නිසා “යැයි කියන්නේ අම්මා ය.ආරණ්‍යා කැළඹීමෙන් ද ඉවසීමෙන් ද මේඝට සවන් දුන්නේ ය.
“ඒ මගේ තාත්තා!”
අඳුර සහ රහස් මොනතරමට එකිනෙකට සම්බන්ධදැයි සිතමින් ආරණ්‍යා නොසැලී සිටියා ය.මේඝ සේනාධීර ගැන ඇසූ පමණින් ම අම්මා කලබල වූ අන්දම ඇයට සිහිව එයි.මහේන් සේනාධීර නම් කීර්තිමත් නීතිඥවරයා ගැන සමහර ප්‍රවෘත්ති අසද්දී අම්මා රූපවාහිනිය වහා නිවා දමන අන්දම ද ඇයට ඇසිල්ලකින් සිහි විණ.අම්මාට ඔහු මඟ හැරුණේ කොතැනකින් ද? ආරණ්‍යා සිතන්නට වූවා ය.නොනවත්වාම සිතන්නට වූවා ය.
“ඒක ඔයා හරියටම දන්නවද?”
ආරණ්‍යා එසේ ඇසුවේම හිත තදින් ගැහෙන හන්දා ය.අම්මාගේ අතීතය අතීතයක් බව සැබෑවකි.නමුත් ඒ අතීතය තමන්ගේ වර්තමානය හා යා වීම ගැටළුවක් බව ඇය දනියි.එහෙත් මේඝ හා මිත්‍රත්වයක් පවත්වාගෙන යන්නට ඇයට ඒ අතීතය ගැටළුවක් නොවේ.
නමුත් තමන්ට අවශ්‍ය මිත්‍රත්වයක් පමණක් ද?