“කොහෙද අපි මුණගැහෙන්නේ?”
මේඝ හමුවිය යුතු තැන ඇයට දැන්වූවේ ය.ආරණ්‍යාට තමන්ගේ ජීවිතය ඉතා වේගයෙන් වෙනස් වෙමින් පවතින බව දැනිණි.ඇය සෑම දෙයක්ම අම්මට පවසන දියණියකි.ආරණ්‍යා කියන්නේ මහා කේලම් මල්ලක් බවට මෝක්ෂ සහ සඳරැස් චෝදනා කරන තරමටම ඇය අම්මට සියල්ල පවසන දියණියක් වූවා ය.
“අම්මට මොකුත් හංගලා මොකටද?”
දෙසොහොයුරන් සමග තර්ක කරන්නට ඇය යොදා ගත්තේ ඒ වාක්‍යය ය.ඉතා අඩු ළකුණක පටන් බිඳී යන භාජනයක් දක්වා රහස් බොහෝ සුළු කාරණා බව ඇයට වැටහෙන්නේ දැන් ය.ගැහැනු දරුවෙකුගේ ජීවිතය තුළ ඊට වඩා රහස් තිබිය හැක.මෙතෙක් කාලයකට ආරණ්‍යා එවැනි රහස් නොරැක්කා ය.
“මේ තමයි මේ දවස්වල මගෙ ක්‍රෂ් එක..”
ජනප්‍රිය තරුණ නළුවෙකු,ක්‍රීඩකයෙකු හෝ ගායකයෙකු පෙන්වා ඇය කියද්දී “මොකාද ඒ මූසලයා” අසන්නේ අප්පච්චී ය.ඒ ඔහුගේ ඉරිසියාව ක මහත ය.ඒ තරුණයාගේ නාසයේ ඇදයක් හෝ සොයාගෙන ආරණ්‍යාට සරදම් කරන්නේ සඳරැස් ය.”මෝඩපාට කොල්ලෙක්.කමක් නෑ ඉතිං තමුසෙගෙ චොයිස් එකනෙ” ආරණ්‍යාගේ සෑම දෙයකටම සහයෝගය දෙන මෝක්ෂ එසේ කියයි.එහෙත් ඒ තරුණයා සැබෑ කඩවසම් කොලුවෙකු බවට ආරණ්‍යා හා එකඟ වූයේ අම්මා පමණකි.
දැන් ඇය රහස් රකින්නේ එහෙව් අම්මාගෙනි.ඒ රහස අම්මා දැනගත් පසුව ඇගේ හ දැයි ආරණ්‍යා සිතන්නට වූවා ය.එහෙත් අම්මා මේඝ සමග මිත්‍රත්වයට අවසර දී හමාර ය.
“මේ වයසට නැති රහස් කවදා රකින්නද?”
ආරණ්‍යා උදෑසන දිය නාන්නට පෙර කැඩපත අබියස මොහොතක් තාවර වූවා ය.ඇයට අම්මා මේ වයසේ සිටියදී ඇගේ රුව මවා ගන්නට හැකි විණ.ඇය ද මහේන් හමුවන්නට යන්නට අත්තම්මාට හොරා මෙසේ සැරසෙන්නට ඇත.ආරණ්‍යාට මතු වූයේ සිනාවකි.ඇයට ඈ ගැනම කෝල බවක් ද ආඩම්බරයක් ද දැනේ.තමන් වැඩිහිටි වෙමින් සිටින බවට ඇයට සැබෑවටම හැඟෙන්නේ දැන් ය.
“මෙයාගෙත් දැන් හරි කැටයං..”
වෙනදාටත් වඩා හැඩවැඩ වී අමතර පන්තියකට යන්නට සැරසී සිටි මල්ලීට එසේ කියන්නට ආරණ්‍යාට සිතුණේ ඇයට ඈ සම්බන්ධයෙන් අම්මාට සඟවන්නට ඕනෑ නිසා ය.සඳරැස්ගේ රහස සහමුලින්ම දැන සිටිය ද ආරණ්‍යාගේ කතාවේ රහස් ඕනෑතරමට බව දන්නා මේකලා උස් හඬින් හිනැහුණා ය.
“දෙන්නත් එක්ක මගේ වචන දාලා කොල්ලො කෙල්ලො රවට්ටන්නේ නැතුව කොල්ලො කෙල්ලො රවට්ටන්නේ නැතුව ඕන එකක්.”
ඇය ඒ සිනාව අතරින් ම පැවසුවා ය.මේකලා හදවතෙහි කිසිම ගැස්මක් නොමැතිව ආරණ්‍යාගේ තීරණය සැහැල්ලුවෙන් භාර ගන්නට සැරසෙන බව දැනගත් ජාලිය ටද ඇතිවූයේ සැනසීමකි.
“මම වගේ ඒ ආලවට්ටං පොඩ්ඩක්වත් තේරෙන් නැති මනුස්සයෙක් වුණොත් මහන්සිය අපරාදේ..”
ඔහු කියන්නේ රථය පණ ගන්වන අතර හිනැහෙමිනි.සඳරැස්ට ඔහුගේ සිත්ගත් යුවතිය සිහි වී ලා සිනාවක් මතුවෙද්දී ආරණ්‍යා කතා කරන්නට සිතුවා ය.
“මටනම් ඕන සාහිත්‍ය ගැන හොඳට කතා කරන්න පුලුවං කොල්ලෙක්..”
මේඝ සේනාධීර,ඔහු හොඳ සාහිත්‍ය රසයක් ඇති තරුණයෙකු බව ඇය දන්නී ය.ඒ දැනුමෙන් ඇගේ දෑස් දිලිසෙද්දී අම්මාත් අප්පච්චිත් අතර නිහඬ බැල්මක් හුවමාරු වූ බව ඈ දුටුවා ය.ආදරය වැඩි වශයෙන් ප්‍රකාශ නොකළ ද අප්පච්චි අම්මාගේ බැල්මෙන් ඈ කියවා ගන්නා බව ආරණ්‍යා දනියි.ඒ නිහඬ ආදරය ද අපූර්ව එකකි.සමහරවිට මහේන් සේනාධීර වැනි ප්‍රබල මිනිසෙකු ළඟ අම්මා මෙතරම් සැනසීමකින් ජීවත් නොවන්නට ද තිබිණ.
“සුදු මැණික!”
සඳරැස් රථයෙන් බැස ගිය පසු ආරණ්‍යාට අප්පච්චිගේ හඬ ඇසිණ.ඇය වහා අප්පච්චි දෙස බැලුවා ය.
“සමහර වෙලාවට පුතේ,ඉරේ රස්නෙට ඇස් නිලංකාර වෙනවා තමයි.ඒ තරම් එළියක් අත ළඟටම එනකොට අල්ලලා බලන්නත් හිතෙනවා තමයි.ඒ වුණාට හුඟාක් ප්‍රවේසමෙන්.පිච්චුණු අත්වල තුවාල සනීප වුණත් කැළැල් සනීප වෙන් නෑ.”
අප්පච්චි සාහිත්‍යමය කතා නොකියන තරම් ය.ඔහු කෙටි වාක්‍ය දෙකතුනකින් හිතේ ඇති දෑ පවසන්නෙකි.නමුත් දියණියක සම්බන්ධයෙන් තාත්තා කෙනෙකු නොකරන දෙයක් නැතැයි ආරණ්‍යාට සිතෙයි.
“මගේ අත් පිච්චුණොත් අප්පච්චි වගේ කෝමාරිකා පැලයක් මටත් හම්බ වෙයිද?”
ඇය ඊටත් වඩා යටි අරුතක් ඇති පැනයක් ජාලියට දී සමු ගත්තා ය.තමන් විවාහ ජීවිතය පුරා මේකලාට කෝමාරිකා සිසිලස තවරමින් පිළිස්සුම් තුවාලවලින් ඈ රැක ගත්තා නොවේදැයි ඔහුට සිතුණේ ඒ මොහොතේ ය. මේකලා ජීවිතය අත හරින තරමට පත් කළ තරුණයා වැඩුණු මිනිසෙකුව ඇත.ඔහුගේ පුතු තමන්ගේ දියණිය කෙරෙහි සිත් ඇතිව ය.මේ සම්බන්ධයට ඉඩ දිය යුතු නැති බවට ජාලියගේ සිත තුළ සිටින අප්පච්චි පෙරළි කරන්නට විය.තමන් හා විවාහ වද්දී බිඳී ගිය යුවතියකව සිටි මේකලා තවමත් ගොඩ නොනැගුණු ගැහැනියක බව ඔහු දනියි.මල් පෙත්තක බඳු දියණිය ද එවැනි වේදනාවකට උරුමකරුවෙකු විය යුතුදැයි ඔහු සිතන්නට විය.
ජාලිය දුරකථනයේ පැරණි ඇමතුම් පිරික්සන්නට විය.තාත්තා කෙනෙකු කියන්නේ කල් මරන්නට අවශ්‍ය කෙනෙකු නොවේ.