යුක්‍රේන යුවතිය

0
4512
යුක්රේන යුවතිය

අමිත හෝටලයේ සඳලුතලය පිරිසිදු කරමින් ම සිංදුවක් උරුවන් බෑවා.අද වැඩ මුරය තරමක් ලේසි එකක්.ලංකාවෙ අංක එකේ හෝටලයක් වෙන මේ හෝටලයේ පිරිසුදු කිරීමේ කටයුතු වල අවුරුදු අටක් තිස්සේ ඉතාමත්ම විශ්වාසදායක සේවකයෙක් විදියට අමිත වැඩ කරනවා.කවදාවත් කිසිම චෝදනාවක් අමිත සම්බන්ධයෙන් ඇවිත් නැති නිසා විතරක් නෙවෙයි අමිත්ගේ වැඩ වල උසස් බව නිසාම ඉක්මනින්ම ඒ අංශයේ සුපවයිසර් කෙනෙක් ලෙසත්,ඊට පසු මැනේජර් කෙනෙක් ලෙසත් ඉහල වැටුප් ලබමින් රැකියාව කරන්න අමිත්ට වාසනාව ලැබෙනවා.නමුත් කොතරම් උසස් වීම් ලැබුවත් පහළ සේවකයෙකු නැති ඕනම මොහොතක ඒ රාජකාරිය කිසිම පැකිලීමකින් කරන පුරුද්ද නිසා හැමෝම අමිත්ට සැලකුවේ ඉතාමත්ම ගරු කටයුතු විදියට.ඉතින් අද එන්න හිටිය සේවකයා පැමිණ නැති නිසා කලකට පසු අමිත් පිරිසුදු කිරීමේ කටයුතුවල යෙදෙන්නේ.

සඳලුතලයට පහලින් මල් ගොමුවේ යුවතියකගේ ඉකි බිදීමක් අමිත්ට ඇසෙනවා.කලබලයෙන් එබී බලන ඔහු දකින්නේ වයස තිහක පමණ විදෙස් යුවතියක් දුරකතන ඇමතුමක් ගනිමින් හඬා වැටෙන බව.හෝටලයේ නැවතී සිටින සෑම විදේශිකයකුම ගැන දන්නා අමිත් ට මේ යුවතියගේ ශෝකයට හේතුව තේරුම් ගැනීමට අපහසුවක් වුණේ නැහැ.ඇය සියලුමදෙනා සමග ඉතාමත්ම මිත්‍රශීලි නිසා ඇයට කාගේත් ආදරය නිතැතින්ම හිමිවුණා.

ඇය පැමිණ සිටියේ යුක්‍රේනයේ සිට.හදිසියේ ඇවිලුන යුධ ගින්න නිසා ඇයගේ පවුලේ අය නගරයෙන් පිටවුණා පමණක් නෙවේ ඇය සරණාගතයෙකුද වී සිටියේ යාමට රටක් නැති නිසාවෙන්.ඇය පැමිණ සිටියේ බටහිර රටක පෙම්වතෙක් සමග වුනත්,ඔහුගේ නිවාඩුව අවසන් වූ නිසා ඔහුට සිය රටට යාමට සිදුවුණා.යුවතිය වෙනුවෙන් මසක් වැඩිපුර හෝටල් බිල ගෙවූ ඔහු සියරට බලා නික්ම ගියා.

විදේශිකයන් අසලට ගොස් ඔවුන් සමග පුද්ගලික කතා බහක යෙදෙන්නට අමිතට අවසරයක් නැහැ.ඔහුගේ විෂය පථය වෙන එකක් නිසා.නමුත් මේ මොහොතේ කතාකලයුතු කිසිවෙක් අමිතට මතක් වුණේ නැහැ.ඕන දෙයක් වුනාදෙන් කියා සිය කාර්‍යය නැවැත්වූ අමිත සෙමින් සෙමින් යුවතිය සිටින පෙදෙසට ඇවිද ගියේ තමා කරන්නේ නිවැරදි කාර්‍යයක් බව මනාව දැනගෙන.එහෙත් මනුස්සකම ක්‍රියාත්මක වෙමින් තිබුණා.

යුක්‍රේන යුවතිය ඉතාමත්ම හොඳින් ඉංග්‍රීසි කතා කල නිසා ඇයගේ ගැටලුව තේරුම් ගැනීම අමිතට ඉතාමත්ම පහසු වුණා.යුද්ධය නිසා ඇයගේ දෙමාපියන් නගරයෙන් පිටවී ගොස් තිබුන අතර තව දුරටත් ගුවන් යානා පහසුකම් තිබුණේ නැහැ.බටහිර පෙම්වතා ද කෙමෙන් කෙමෙන් ඇයගෙන් දුරස් වී තිබුණා.ඉතාමත්ම ඉහල පෙලේ හෝටලයක් වූ එහි තව දුරටත් රැඳී ඉන්නට තරම් වත් කමක් ඇය සතුවූවේ නැහැ.යා යුතු තැනක් හෝ ආදායම් මාර්ගයක් ද ඇයට නැහැ.එරට පිළිගත් රැකියාවක නිරත වූ ඇය දැන් අසරණියක්.

කිසිවක් නොකියා යුවතියට සවන් දුන් අමිත සිය නිවසේ ඉහල මාලය ඇයට නවාතැන් ලෙස ලබා දිය හැකි බවත් ඒ සඳහා දැනට කුලියක් අනවශ්‍ය බවත් පැවසුවා.පසු කලෙක ඇය කැමති නම් පමණක් ගෙවීමක් ඇයට කල හැකි අතර ඇයගේ වියදම් ඔහු දැරීමට එකඟවුණා.

අමිත සතුව,කුඩා,එහෙත් ඉතාමත්ම පිළිවෙලට සාදා නිමකල දෙමහල් නිවසක් තිබුණ අතර අවිවාහක ඔහු එහි තනිවම ජීවත්වුණා.ගමේ වාසය කල දෙමාපියන් නගරයේ වාසයට කෙසේවත් කැමති වුනේ නැහැ.පෙම්වතිය සහ ඔහු අතර විවාහය විවිධ අර්බුද නිසා දික් ගැස්සෙමින් තිබුණා.ඉතින් අමිතට අමුතුවෙන් මේ ගැන දැනුම් දිය යුතු කෙනෙක් හිටියේ නැහැ.සංචාරක වීසා දික් කරගැනීම ඇතුලු නෛතික කටයුතු පිළිබඳ හෝටල් කාර්‍ය මණ්ඩලයෙන් විමසා ඒ පිළිබඳ කටයුතු කරන ලෙසත් අමිත පැවසුවා.තවත් මසක පමණ වීසා කාලයක් ඇය සතුව තිබුන නිසා ඒ කටයුතු කලබලයක් නැතිව කරගත හැකි බව අමිතට තේරුණා.යුවතිය සිටියේ මහත් සතුටින්.ඇය ඔහුට මුවපුරා ස්තුති කරමින් හැඬුම නවත්වා කාමරයට දිව ගියා.

ඇය ඔනෙලා.ඔනෙලා අමිතගේ නිවසේ නවාතැන් ගෙන හරියටම දැන් සතියක්.නිවස එන්න එන්න ඇය අතින් හැඩ වෙමින් තිබුණා.සවස් කාලයේ පෙර නොපුරුදු මුත් ඉමිහිරි සංගීතයක් නිවස පුරා වාදනය වුණා.ජෝතිපාලගේ සිංදු වලට කණ හුරුවූ අමිතට මේ සියුම් සංගීතයට හුරු වීම තරමක් අපහසු වුණත් එහි සියුම් බවින් ඔහු වසඟ වුණා.ඔනෙලා ද අමිත ඇසූ මිල්ටන්,ජෝති ගී වල තේරුම් විමසමින් ඒවා රස විඳීමට අසීරු උත්සාහයක යෙදුණා.

ඇය ඇයගේ රටේ අභ්‍යන්තර ගෘහ අලංකරණ ශිල්පිනියක් බව පැවසූ ඇය ඉතාමත්ම අඩු වියදමකින් නිවස සුර පුරයක් බවට පත් කළා.වැඩ ඇරී ගෙදර එන අමිතට  තව දුරටත් නීරස ආහාර හෝ අපිලිවෙල නිවසක අපහසුව විඳින්නට සිදුවුණේ නැහැ.ඔනෙලා පැමිණ සතියක් වුනත් තවමත් තම දෙමාපියන්ට හෝ පෙම්වතිය අසුන්තාට හෝ ඒ ගැන කියන්නට තරම් සිතක් අමිතට ඇතිවී තිබුණේ නැහැ.අනිවාර්‍යයෙන්ම එය ගැටළුවක් වන අතර ඔනෙලාට වෙනත් අතක් බලා ගන්නා ලෙස කියන බව අමිත දැනගෙන හිටියා.

රුසියා යුක්‍රේන් යුද්ධය ඇවිලෙමින් තිබුණ අතර ඔනෙලා සිය මාතෘ භූමියෙන් පිටත අසරණව රැඳී හිටියා.දිනපතා එම තොරතුරු සොයමින්,ඒ ගැන පීඩා විඳිමින් සිටින ඔනෙලාට අමිත ගේ නිවස සුරපුරයක් වුණා.ඔනෙලාට සුදුසු ආහාර පාන සැකසීමට අවශ්‍ය බඩු ඇයගෙන් නොවිමසාම අමිත රැගෙන ආවා.හෝටල් රස්සාව නිසා ඒ ගැන අමුතුවෙන් දැනුවත් වීම අනවශ්‍ය වුවත්,චෙෆ් මිතුරන්ගේ පිහිට ලබා ගැනීමට අමිත අමතක කලේ නැහැ.කිසිදා අමුතුවෙන් කිසිදු දෙයක් නොඉල්ලූ ඔනෙලා අමිතට බරක් නොවීමට හැකි තරම් උත්සාහ කළා.

ඉතින් ඉක්මනින් ඔනෙලාගේ ප්‍රශ්නය විසඳෙන තෙක් මෙය ඔවුන්ගෙන්  රහසක් ලෙස තබා ගන්න ට පුලුවන් නම් සුදුසුයි.මාසයක් හෝ දෙකක් ඇතුලත ඇය සිය රටට හෝ වෙනත් රටකට යාමට උත්සාහ කරමින් සිටියේ.ඒ නිසා අමිත හිතුවේ එහෙම.ඒත් නොසිතුව මොහොතක මේ සියල්ලම ,අමිතගේ සන්සුන් ජීවිතයම වෙනස් වේයැයි අමිත සිතුවේ නැහැ.

මතු සම්බන්ධයි….

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here