යුක්‍රේන යුවතිය – 7

0
2442
ukraine yuwathiya

මිත්සලා අමුතුම ලෝකයක අතරමන් වී සූට් කේසයෙන් තමා ගත යුත්තේ මොනවාද,නැද්ද යන්න කල්පනා කළා.ඇය කිසියම් දෙයක් ඉන් රැගෙන තමාට දුන්නේ නම් කෙතරම් පහසුද?මෙහි ඇති දෑ වලින් එකක් හෝ කිහිපයක් තෝරාගැනීම කෙතරම් අසීරුද?ඒ සමගම මිත්සලාගේ සිතට ආව අනෙක් ගැටළුව නම් තමන් ඔනෙලාට තෑගි ලෙස දෙන්නේ මොනවාද යන්න.ඇයට ගැළපෙන දෙයක් තමන් සතු නොවන බව මිත්සලා දන්නවා.මිත්සලාගේ අතරමං දෑස දකින ඔනෙලා කාරණය වටහාගෙන ඇයට උදව් කරනවා.දෙයක් දුන්නොත් මිසක් තෝරා ගැනීමට ඉඩ දීමෙන් ත්‍යාග ලාභියා අසරණ වන බව කෙටි ලාංකිකයන් සමග කලක ඇසුරින් ඇය තේරුම් ගෙන සිටියා.

“මෙන්න මේ පෑන,මේ ටොප් එක,මේ පර්ස් එක,මේ ශේඩ්ස්,ම්ම්ම්ම් මේ මාලෙ මේ ඔක්කොම ඔයාට.ආ,මේ හෑන්ඩ් බෑග් එකත්.”

“අනේ,තැන්ක්‍යූ ඔනෙලා”

“හරි එහෙනම් අද පාඩම් පටන් ගමු.”

සිනාසෙන ඔනෙලා තත්පර කිහිපයක ඇවෑමෙන් යලිත් බෑග දෙක නියමිත ස්ථානයේම තැන්පත් කරනවා.දෙදෙනාම එකිනෙකාගෙන් ඉගෙන ගැනීම සඳහා සිය අවධානය යොමු කරනවා.

තාත්තා සහ අම්මා පහල මාලයේ කලයුතු නිසි වැඩක් නොමැතිව කල් මරනවා.අමිතගේ අම්මාට නිකන් සිට කිසිම පුරුද්දක් නැති බැවින් ඇය කිසියම් ගෙතුමක නිරත වෙමින්ම පියා අමතනවා.

“මේ ඒයි,අපේ පුතාගෙ අර ඉස්සර යාළුවෙලා හිටිය කෙල්ල දැන් සද්දයක් නැහැ නේද?මමත් හැබැයි ඒ කෙල්ලට මනාපයක් නම් නැහැ.අපේ පුතා රැවටිලා හිටියට.සුදු නෝනා ගැන ආරංචි වෙලාවත්ද දන්නෙ නෑ ඒක නැවතුනේ.වෙනද නම් ඉදහිට හරි අපිටත් කතා කරනව නෙ.පුතාට නැතත්,නේද ?මම කල්පනා කලේ පුතාට ඉක්මනින් කටයුත්තක් හොයන්න ඕන කියලා”

“හ්ම්ම්ම්”

“ඒක නෙවේ,”

“ඔව්,මොකද්ද”

“ඔයාට හිතෙන්නෙ නැද්ද අපේ පුතයි,මේ සුදු නෝනයි අතර මොනයම්ම හෝ සම්බන්ධයක් තියෙනව කියල.”
“පිස්සුද මනුස්සයෝ,එහෙනම් පුතා මොකටද අපෙන් හන්ගන්නෙ”

“නෑ ඉතින්,ඕවා එක පාරම කියන්න පුළුවන් දේවල් නෙවෙනෙ අනේ”

“ලැජ්ජාවට අපෙන් හන්ගනවද දන්නෙ නැහැනෙ.මොකද යුද්දෙ නිසා යන්න බැරි නම් මෙහෙ එයි යැ.වෙන රටකට යන්න උවමනාවකුත් නැහැ වගේනෙ.අනික බලන්න කො ගේ ඔක්කොම එයාගෙ කරගෙන.එයා කරපු දේවල් වෙනස් කරනවටවත් පුතා කැමති නැහැ.අනික හැම සතියෙම ගේන බඩු මල්ල බලන්නකො.ලැජ්ජ නැද්ද අනේ ඔහොම නිකන් කකා ඉන්න.නේද?

“අනේ හාමිනේ අපිට මොකද?ඒ ළමයා අපිට අඩුපාඩුවක් කරනව කියලැයැ?අපිට බොහොම හොඳට සලකන්නෙ ඒ වගේම.”

“අපි එයාගෙ දෙමාපියොනෙ,අපිට නොසලකා කාට සලකන්නද?හරි කතාවක් නෙ ඔයා කියන්නෙ.මේ එහෙමයැ.කොහෙද රටකින් ආව නොදන්න ගෑනියක් නෙ.එයා මොකෝ පුතාට මොනව දීලද?මොනව හරි හොරයක් තියෙනව කියලා මට හිතෙනව දෙන්නගෙ.ඉන්නකො මම හෙමින් හොයල බලන්නම්කො ගානට.ඔහොම හොරයැ මම අල්ලල තීන්නෙ”

“අපෝ මම නොදන්න හොර ඇල්ලිල්ල,යසට තීන පවුල් කීපයක් නම් කැඩුණා ,ඔහේගෙ විකාර සැකය හින්දා.මම එකක් කියන්නම්,දැන්වත් පුතාට පාඩුවෙ ඉන්න දෙනව.”

“කැඩුණා නෙවෙයි,මම නිසා උන් බේරුණා.ඒ වැඩිහිටියො මට තාම පින් දෙනවා”

“අනේ හාමිනේ,ඔහේට පිස්සුද මන්දා,වැඩිහිටියො පින් දුන්නට ඒ ළමයින්ගෙන් අහල බලන්න.උන් ඔහේ එක්ක ඉන්නෙ නයි වෛරෙන්.ඒ නිසා මම අද මේ දැන් ඔහේට කියන්නෙ.මෙහෙ ඉන්න බැරි නම් තමන්ගෙ පාඩුවෙ අද හවසම ගමේ යමු.මම කොහොමත් හෙට අනිද්දා දිහාට යන්න ඉන්නෙ.මගෙ වැඩ ඔක්කොම පාඩුයි,මෙහෙට වෙලා ඉන්න නිසා”

“ඔහේ දැන්ම යන්න එපා.ඔහේගෙ අඩුපාඩු නිසා තමා මේවා මේ දුරදිග යන්නෙ.අපි කොහොමත් මේවා පිළිවෙලක් කරන්න ඕන කතා කරලා,වැඩිහිටියො විදියට.”

කතාව දිග්ගැස්සෙන්නට පෙර මිත්සලා පඩි පෙල බසින ආකාරය දකින දෙමහල්ලන් කතාව නතර කරගන්නවා.මිත්සලා අත පාර්සල් රැසක් තිබෙන අතර ඇය නැන්දා සහ මාමා ඉදිරියේ ඒවා තබන්නේ ශෝකයෙන්.තෑගි ලැබුවෙකුගේ ප්‍රීතිය ඇය වෙත නැහැ.අමිතගේ මව කුතුහලයෙන් මිත්සලා දෙස බලන්නේ මේ මොනවාද යන්න ඇස් වලින් අසමින්.

“සුදු නෝනා මට තැගි ගොඩක් දුන්නා”

“ඒකනෙ කෙල්ලෙ,ඕව නම් හරිම වටින පාටයි”

“ඔව්,ලොකු සූට් කේස් දෙකක් දිග ඇරලා මට කැමති දෙයක් ගන්න කිව්වා.”

“ශා,නංගිටයි,පහල ගෙදර කෙලීටයිත් එක්ක වැඩිපුර ටිකක් ගන්න තිබ්බෙ උඹට.”

“ලැජ්ජ නැද්ද නැන්දෙ,මම ගන්නෙ නැතුව ඉද්දි එයාම තෝරල දුන්නා”

“අනේ උඹේ පණ්ඩිතකම,දෙයක් නිකන් ලැබෙද්දිත් ගන්න පින නැහැ”

“මේක තෑග්ගක්නෙ නැන්දෙ,අපෝ නැන්දත් ඉතින්”

“හිටින් මම ඉල්ලගන්නම්කො උන් දෙන්නටත් මොනාහරි,සුදු නෝනගෙන්”

“පිස්සුද නැන්දෙ,එහෙම ඉල්ලන්න එපා.අයියටත් ලැජ්ජයිනෙ”

“මෙහෙ ඉන්න එකේ කිසිම මුදලක් නොගෙවා ඔය ටිකක් ඉල්ල ගත්තට මක්කා වෙනවද?උඹත් මේ ආව ටිකට අයියගෙ පඩත්තලකම් ඇඟට අරන් වගේ”

“නැන්දෙ,සුදු නෝනා…….”

මිත්සලාට කතාව නිම කරන්නට වන්නේ නැහැ.

ඒ සමගම අමිතගේ වාහනය නිවසට ඇතුල් වෙන්නේ අනවශ්‍ය ප්‍රශ්නයකින් මිත්සලාව ගලවාගනිමින් වගේම අමිතගේ අම්මාගෙ අවධානය සිය පුතු වෙතට යොමු කරමින්.ඇය කඩිමුඩියේ කුස්සියට දිව යන්නේ සුපුරුදු පරිදි ඇඟ පත සෝදාගෙන පැමිණෙන පුතුට උණු තේ එකක් සමග පිළිගන්වන කිසියම් කෑමක් ගැන සිහි කරමින්.

“අම්මා,අද තේ එපා.මම ඔනෙලා එක්ක එලියට යනව.මිත්සලාවත් අරන් යන්නම් පොඩ්ඩක් කොලඹ පෙන්වන්න.අපි එද්දි රෑ කෑම ගේනවා”

“ඒ මොකෝ අද විශේෂයක්”

“ඔනෙලා දවස් කීපයකින් ලංකාවෙන් යනවා.ඉතින් එයාට ඕන බඩු ටිකක් ගන්නයි යන්නෙ.”

“මමත් එන්නම් එහෙනම්.ගමේ යද්දි අහල පහල අයටයි,පොඩි උන්ටයි මොනවා හරි අරන් යන්න පුළුවන් නම් හොඳයි පුතේ”

මිත්සලා ව්‍යාකූල ලෙස අමිත දෙස බලන්නේ නැන්දා ආවොත් නම් වැඩේ සුන් වැනි මුහුණකින්.එය තේරුම් ගන්නා අමිත නිවුන ස්වරයකින් අම්මාට කතා කරනවා.

“මම අම්මව ඒවටම වෙනම දවසක අරන් යන්නම්.අද ඔනෙලාගෙ බඩු ටික ගන්න ගොඩක් ඇවිදින්න වෙයිනෙ.අම්මට මහන්සියි”

එකඟ නොවෙන මුත් අමනාපයෙන් හිස සලන ඇය ඉවතට යන්නේ පුතාගේ තීරණ වෙනස් නොවන ඒවා බව දන්නා නිසාවෙන්.

“නංගි,ඔනෙලාට කියන්න එහෙනම් විනාඩි විස්සකින් එන්න කියලා,ඔයත් ලෑස්ති වෙන්න.”

අමිත කාමරයට යන අතර මිත්සලා පණිවිඩය රැගෙන සතුටින් පඩිපෙළ නගිනවා. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here