බිඳීම.

“ඔයාගෙ තීරණයට ඉඩදෙන්න බෑ.”

අක්කා කේන්තියෙන් මූණ රතු කරගෙන එහෙම කියනකොට දෙව්මි අක්කා දිහා බලාගෙන හිටියේ වේදනාවෙන්.දරාගෙන ඉන්න බැරි වේදනාවක් අවසන් කරන්න හදනකොට අක්කා පවුලෙ නම්බුව ඉස්සරහට දාගෙන තමන්ට නීති පැනවීම ගැන දෙව්මි ට දැනුණේ දරාගන්න බැරි තරම් දුකක්.

“ධනුකගෙන් ගුටි කන්නේ මම අක්කා.එයා වෙන ගෑණු අයත් එක්ක නටන නැටුම් පේන්නේ මට.”

දෙව්මි ඉවසගන්නම බැරි තැන එහෙම කිව්වා.දෙව්මිගෙ අක්කා මල්මි හිනා වුණෙ නංගිට සමච්චලයට වගේ.

“පිරිමි එහෙම තමයි!”

මල්මි කියන්නේ මහා විශ්වාසයකින්.දෙව්මි අක්කා දිහා බලාගෙන හිටියෙ අදහන්න බැරි ගතියකින්.

“ඒක තමයි එයාලට පිරිමි කියන්නේ.”

ඊටත් පස්සේ මල්මි තමන් කියන දේට හේතු කියන්න පටන් ගත්තා.තමන්ගේම මිනිස්සු තමන්ට මෙහෙම කියන්නේ ඇයි කියලා දෙව්මි කල්පනා කරන්න පටන් ගත්තා.

ධනුකට දෙව්මි උයන කිසිම කෑමක් රහ නැති වීමේ ඉඳලා හැරුණත් වැරදි වෙන්න පටන් අරන් දැන් ටික කාලයක්.නිතර නිතර එන දුරකතන ඇමතුම් වලට හැංගිලා උත්තර දෙන්න පටන් ගත්ත ධනුක එළිපිටම ඒවට පිළිතුරු දෙනකොට දෙව්මිට තවත් ඉවසන්න අමාරු වුණා.

“ඔයා ටිකක් වෙනස් වෙන්න.”

මල්මි ආයෙමත් නංගිට කියනවා.හොඳ රහට උයලා දීලා බඩ හරහා පිරිමියාගේ හදවත දිනා ගන්න පුළුවන් කියලා මල්මි කියනකොට දෙව්මි අක්කා දිහා බැලුවේ මහා තරහකින්.

“ඔය අපේ අසේලටත් වෙන සම්බන්ධයක් තිබ්බා.පොඩි දුව ලැබුණු කාලේ.මම කොහොමහරි මායම් දාලා එයාව ආපහු හදාගත්තා.”

අක්කා ආඩම්බරයෙන් කියනකොට දෙව්මි කල්පනාවට වැටුණා.මිනිස්සු වැරදි කරනවා තමයි.ඒකට සමාව දෙන්න හැකි වීම විශේෂ ගුණයක්.නමුත් රැවටීම කියන සාධකය විවාහ ජීවිතයකට එතරම් ගැළපෙන දෙයක් නෙමෙයි.රැවටීම නැවත නොවෙනවා කියලා විශ්වාස කරන්න පුළුවන් වුණත් ගෘහස්ථ හිංසනය දිගින් දිගටම දරාගන්න පුළුවන්ද?

“ඔයා ඔය දාන්න හදන දික්කසාද නඩුව අයින් කරගන්න!”

අක්කාගේ අන්තිම නියෝගය ආවා.දෙව්මි ඒක නෑහුනා වගේ අහක බලා ගත්තා.නංගි සද්ද නැතුව ඉන්න තමන්ගෙ තීරණය වෙනස් නොකර බව තේරුම් ගත්තම මල්මි තවත් තදින් කේන්ති ගත්තා.

“ඒක අපේ පවුලට මොනතරම් ලැජ්ජාවයිද?”

මල්මි අහනවා.දෙව්මි අක්කාගේ ඉස්සරහට හිටගත්ත තමන්ට අහන්නම අවශ්‍ය ප්‍රශ්නය අහන්න හිතමින්.

“තමන්ගේ තාත්තා අම්මට ගහන වෙන ගෑනු අය ආස්සරේ කරන මනුස්සයෙක් කියලා දැනගත්තා මගේ පුතාට කොච්චර ලැජ්ජ හිතෙයිද? ඒ වගේ තාත්තා කෙනෙක් මගේ පුතාට අවශ්‍ය නෑ.කවදහරි එයා කසාදයක් බඳින දවසක වුණත් එයාගෙ තාත්තා නිසා ලැජ්ජා වෙන්න මම ඉඩ තියන්නේ නැහැ.”

තමන්ගෙ නංගි මොනතරම් මෝඩියක් ද කියලා හිතමින් මල්මි හඬ නඟා හිනා වෙන්න පටන් ගත්තා.ඊටත් පස්සේ මෝඩකම ගැන නංගිට කියලා දෙන්න එයා තීරණය කළා.

“මෝඩියේ! වෙනුල පුතා කියන්නේ පිරිමියෙක්. එයාට එහෙම ලැජ්ජාවක් වෙන්නේ නෑ.”

පිරිමි වුණත් ගැහැනු වුණත් ගෘහස්ථ හිංසනය දකිමින් දරුවෝ ඇති දැඩි වෙන්න අවශ්‍ය නැති බව දෙව්මි අක්කට පැහැදිලි කරා.ඒත් මල්මි කියන්නේ අම්මා තාත්තා ගහ බැන ගනිමින් හරි දරුවොත් එක්ක එකට ජීවත් විය යුතුම බවක්.

“දැන් ඔයා සතුටින්ද ඉන්නේ?”

දෙව්මිගේ කඩයිම් ප්‍රශ්නයට මල්මිට ආවේ හිනාවක්.අසේලට වෙන්න මොන මොන කල්පනා තිබුණත් ඒවා ඉෂ්ට කරගන්න තමන්ගෙන් ඉඩක් ලැබුණේ නැහැ.දික්කසාදයකට යන්න තමන් කීයටවත් සූදානම් නෑ කියලා දැනගත්තට පස්සේ අසේලට අකමැත්තෙන් හරි තමන් එක්ක ඉන්න සිද්ධ වුණා.

“මොකක්ද අක්කේ ඒකේ තියෙන දිනුම?”

අකමැත්තෙන් බලු පැටියෙක් වුනත් තමන් ළඟ රඳවා ගන්න අවශ්‍ය නැති බව හිතන දෙව්මි අහද්දි මල්මිට නම් තිබුණේ වෙන කතාවක්.

Friends drinking coffee and having a serious chat

“ඔය මොන ගෑනි අසේලගේ පස්සෙන් ආවත් මම එයාව නිදහස් කරන්නේ නැත්තං අසේලට සිද්ධ වෙනවා මාත් එක්ක ඉන්න.”

ඉතින් එතකොට සතුටක් තියනවද කියන ප්‍රශ්නය අක්කගෙන් අහන එකේ තේරුමක් නෑ කියලා දෙව්මි හිතුවා.වැරෙන් අල්ලා ගෙන ඉන්න ලණු පොට අතට මොනතරම් පීඩාකාරී වුණත් අක්කා ඒ ලණු පොට අතාරින්න අකමැති.ඒත් තමන් එහෙම විය යුතු නැහැ.ධනුක තමන්ව තරයේ ප්‍රතික්ෂේප කරනවා නම් තමන්ට හිංසා පීඩා කරනවා නම් ඔහුව බලෙන් රඳවා තියාගෙන ගන්න පුළුවන් සතුට මොකක්ද කියලා දෙව්මි ආයෙම ආයෙම හිතුවා.

“පිරිමි ඔහොම තමයි හිත වෙනස් වෙනවා.ඒ උනාට දික්කසාද වෙලා පවුලෙ නම්බුව නැති කරන්න ලෑස්ති වෙන්න නං එපා.කොහොම හරි ඉවසගෙන ඉන්න.”

මල්මි යන්න ගියේ ඒ බොහෝම වැදගත් උපදේශය නංගිට ලබා දීලා.ඒ උපදෙස කිසිම වැදගැම්මකට ඇති එකක් නොවන බව දන්නේ දෙව්මි.ආදරය ඇති බව සිතමින් ජීවත් වුණු කුල ගෙය තුළ කිසිම ආදරයක් හෝ බැඳීමක් නැති බව දැනෙන කොට එතනින් ගැලවී පළා යන්න බැරි තරමට තමන් දුර්වල නැති බව දෙව්මි දන්නවා.සමහර තීරණ ගතයුතු මොහොතෙම ගන්න ඕනෑ.ඒවා පරක්කු කිරීමෙන් සිද්ධවෙන්නේ ජීවිතය වගේම අනාගතයත් අනතුරේ දමා ගැනීමක් කියලා දෙව්මි කල්පනා කළා.මේ තීරණය නොගත්තොත් දරුවෝ ලැජ්ජාවට පත් වෙයි.ගෘහස්ථ හිංසනය සිද්ධ වෙන ගෙදරක ජීවත්වීම දරුවෙකුට එතරම් සුදුසු දෙයක් නෙමේ.අම්මා එක්ක තනියම ජීවත් වෙන්න පුතා පුරුදු වේවි.ප්‍රචණ්ඩත්වය නැති තැනක එයාගේ පුංචි මනස පිරිසිදුව සැහැල්ලුවෙන් තියේවි.දෙව්මි ට හිතුණෙම ඒ වගේ දේවල්.

“මම නඩුව ඉල්ලා අස්කර ගන්නේ නෑ අක්කේ.මම මේ තීරණයේ දිගටම ඉන්නවා.ඔයාට දික්කසාද වුණු නංගි කෙනෙක් ලැජ්ජාවක් වෙන්න පුළුවන්.හැබැයි ජීවිතේ නැති කරගත්තු නංගි කෙනෙක් ඔයාට සදාකාලික වේදනාවක් අරන් එයි.පිරිමි එහෙම වෙන්න පුළුවන්.ඒත් ගෑනුන්ටත් මෙහෙම වෙන්න පුළුවන්.”

අක්කට ඒ කෙටි පණිවිඩය ලියලා යවපු දෙව්මි දිග හුස්මක් ගත්තා.පිරිමි කොහොම වුණත් කමක් නැහැ.ගැහැනු කියන්නේ ධෛර්යවන්ත පිරිසකට.ලතැවීම් නැතුව ජීවිතය හයියෙන් අල්ලා ගන්න පිරිසකට.දෙව්මි හිතුවේ සැනසීමෙන්.

More Stories

Don't Miss


Latest Articles