ඕනෑම රෝගයකට ලක් වූ පුද්ගලයෙක් මානසිකව ඇද වැටිය යුතු නොවේ.එය රෝගයේ ව්‍යාප්තියට පවා හේතු වන්නකි.ලක්ෂි සිටියේ ද මානසික පීඩනයෙනි.මේ පුවත පිළි ගැනීමට පවා ඈ අකමැති වූවා ය.
“ඕක සනීප කරගන්න පුලුවන් අම්මා..”
මේඝ ඈ සනසන්නට උත්සාහ ගත්තේ ය.එහෙත් පිළිකාවක් කියන්නේ ඕනෑම කෙනෙකු තිගැස්වීමට ලක් කරන්නකි.ලක්ෂි හඬන්නටත් කම්පනයට ලක් වන්නටත් පටන් ගත්තා ය.
“ඔයා බය වුණොත් සේරම ඉවරයි.”
මහේන් කියන්නේ ඇය ශක්තිමත් කරන්නට ය.නමුත් ලක්ෂිට එවැනි ධෛර්යයක් ඔහුගෙන් උවමනා නොවී ය.තුරුලට ගෙන බිය නොවන්නැයි ඔහු කියන තුරු ඈ බලා හුන්නා ය.එහෙත් මහේන් එවැන්නක් නොපැවසී ය.
“මට තව වැඩි කාලයක් නෑ.”
පුතු ද සැමියා ද දෙස බලමින් ඈ එසේ කියද්දී මේඝ නිහඬවම ඇගේ හිස අත ගෑවේ ය.මරණය ඕනෑම කෙනෙකුට පොදු බවත් එය සමඟ සටන් කිරීම මනුෂ්‍ය ගතියක් විය යුතු බවත් කී මහේන් ලක්ෂිගේ බලාපොරොත්තු නැවතත් බිඳ දැමී ය.
“මං මැරෙන්න කලින් මට ඔයා සතුටින් ඉන්නවා බලන්න ඕන පුතා.”
ලක්ෂි එසේ කියද්දී ඇය දෙස තද බැල්මක් හෙළුවේ මහේන් ය.මේ ඇගේ මරණ මංචකය යැයි ඔහු නොඇදහී ය.පිළිකාවකින් පවා සුව වන්නට තරම් දැන් වෛද්‍ය විද්‍යාව දියුණු ය.මේ රෝගය මිය යන්නට හේතුව වුව ද ලක්ෂි ඇගේ ඉල්ලීම් දිනා ගන්නට රෝගය පාවිච්චි කරන්නේ නම් එය වළක්වන්නට මහේන්ට උවමනා ය.අම්මා කෙනෙකු කියන්නේ දරුවන් හැඟීම් වලින් අඩපණ කරන කෙනෙකු නොවන බව ඔහු විශ්වාස කළේ ය.
“මේකලා අසරණ කරන්න එපා මගෙ පුතේ.ඒ කෙල්ල විතරයි මගෙ සැනසීම.මගෙ කොලු පැටියා නැති වුණා.කෙලි පැටියාත් නැති කරගන්න බෑ.අනේ පුතේ කෙල්ලව අතාරින්න එපා.”
ඔහුගේ ප්‍රියතම ගුරුතුමිය ඔහු ඉදිරියේ හඬා වැටෙද්දී පවා තරුණ මහේන් ගලක් සේ නොසැලී හුන්නේ ය.රණ්ඩු දබර ඇති කරගන්නා කුඩා හේතුවකට පවා වැළපෙන පෙම්වතියක ළඟ මානසික සහනය බිඳුවක්වත් නැතැයි තීරණය කළ පසු ඔහු නවතන්නට ගුරුතුමියගේ කඳුළු සමත් නොවිණ.මහේන් සතුව හැඟීම් නැති බවත් ඔහු අරමුණු පමණක් ඇති මිනිසෙකු බවත් මේකලා තැනෙක ලියා තිබූ අන්දම මහේන්ට මතක ය.නම නොලීව ද ඇය ප්‍රථම ප්‍රේමය යැයි කියන්නේ තමන්ට ය.හැඟීම් නැති මහේන් ඒ හැම සටහනක්ම කියවා හැඬූ බව දන්නේ ඔහු පමණකි.
“ඔයාගේ ජීවිතේ තව දවසක් හරි දික් කරගන්න පුතා එයාගෙ මැරේජ් එක තීරණය කරන්න ඕන නෑ ලක්ෂි.”
මහේන් රෝහල් කාමරයෙන් නික්ම ගියේ එහෙම කියමිනි.මේඝ අම්මාගේ හිස පිරිමදිමින් නිහඬව සිටියේ ය.අම්මා නැවත නේහා ගැන කියන්නට ඉඩ තිබේ.නමුත් එය අසන්නට මේඝට සිතක් නැත.
“තාත්ති ඔයාට මේඝ කියල නම තිබ්බෙ මේකලාගෙ පොතකින් අරන් කියල මං දන්නෙ මෑතකදි.”
ලක්ෂි එසේ කියද්දී තමන් දන්නා සත්‍යය කියන්නට මේඝට සිතිණ.ඔහු අම්මා දෙස කරුණාව වෑහෙන දෑසකින් බැලී ය.
“අම්මි,තාත්ති ඒ නම ගත්තෙ පොතෙන් නෙවෙයි.තාත්තිගෙ හීන තිබ්බෙත් පුතෙක්ට මේඝ කියලා නම දාන්න.දුවෙක්ට ආරණ්‍යා කියලා නම දාන්න.ඒ හීන මේකලා ආන්ටිටත් තියෙන්න ඇති.එයා එයාගෙ පළවෙනි දරුවට මේඝ කියලා නම දැම්මා. තාත්තිත් මට ඒ නම දැම්මා.”
එතැනින් නොනැවතුණු ඔහු ලේඛකයෙකු තමන්ගේ පළමු පොත දරුවෙකුට සම බව ද පැවසී ය.ලක්ෂි මොහොතක් නිහඬ වත පිරී ය.ජීවිතය අවසානයකට පැමිණ තිබේ.හිත තුළ ඇති මහා සැකයක් විසඳා ගන්නට ඇයට උවමනා ය.
“මේකලාට ඒ දරුවන්ට අමතරව තව පුතෙක් ඉන්නව.මේකලා වැඩියෙන්ම කතා කරන්නෙත් ඒ ළමයා ගැන.මට ඇත්තටම බයයි ඒ ඔයාගෙ අයියෙක් කියල.”
මේඝ නිදහස් උස් සිනාවක් නැඟී ය.ආරණ්‍යාගේ මෝක්ෂ අයියා කියන්නේ මේකලා කුසින් නොවැදූ ඇගේ පුතු ය.මනුෂ්‍ය සම්බන්ධතා ඇයට ඕනෑ අන්දමට කියවා ගන්නා අම්මාට එවැනි සබඳතා වල ගැඹුර ගැන සාම්ප්‍රදායික වැටහීම් තිබෙන්නට පුලුවන.එහෙත් මේඝට අම්මාට කියන්නට වෙනත් කතාවක් විණ.
“අම්මා..මෝක්ෂ කියන්නේ මටත් බාල කොල්ලෙක්.තාත්තා අම්මට ආදරේද නැද්ද මං දන් නෑ.ඒත් එයා අවංක මනුස්සයෙක්.මෝක්ෂට අම්මෙකුත් තාත්තෙකුත් ඉන්නවා.ආරණ්‍යායි මායි මෝක්ෂ නිසා සහෝදරයො වෙන්නෙ නෑ අම්ම.”
එහෙත් මෝක්ෂගේ මුහුණෙන් මහේන්ට හැඩහුරුකම් සොයන්නට ලක්ෂිට පුලුවන.ඇය තමන්ගේ සැකය හදවතේ තබා ගත්තා ය.ඒ සැකයට කළ හැක්කක්ද නොවේ.
“මහේන්ව අයිති කරගත්තට එයා එක දවසක්වත් ඔයාගෙ වුණේ නෑ කියලා හිතෙන් නැද්ද?”
නීෂා එසේ ඇසූ දවසක් ලක්ෂිට සිහිව ඒ.මහේන් ඇගේ වූයේ නීතියෙන් පමණක් යැයි ලක්ෂි අනේක වාරයක් සිතා තිබේ.
“දැන් මිනිස්සු අවුරුදු පනස් ගණන් ගියාට කසාද බඳිනව.මං මේ ලෙඩෙන් මැරෙන්න පුලුවං.ආරණ්‍යාගෙයි මේඝගෙයි සම්බන්දෙට ඉඩ දෙන්න ඕන.ඒක එහෙම නොවුණොත් මං මැරුණම ආපහු මහේන් මේකලාගෙ වෙන්න බැරි නෑ.”
ලක්ෂිට හදිසි සිතුවිල්ලක් පහළ විණ.ඒ සිතුවිල්ල ගැන ඇයට බියක් දැනෙන්නට ද පටන් ගෙන තිබිණ.
“දරුවො එකතු වුණාට කමක් නෑ.ඒත් ඔයා එයාගෙ වෙන්න බෑ..”
අතීතය අලුත් ආකාරයකින් සිදු වීමේ ගැටළුවක් නොවේ.එහෙත් පැරණි බැඳීම් යළි අලුත් විය යුතු නොවේ.